ප්‍රවර්ග
අංගුත්තර නිකාය

ගිරිමානන්‍ද සූත්‍රය

මේ සූත්‍රය අංගුත්තර නිකායේ-දසක නිපාත පාළි-සචිත්ත වග්ගය- ගිරිමානන්ද හාමුදුරුවන්ට තමන්ගේ අසනීපයට හේතුව හඳුනාගැනීම සඳහා බුදුන් වහන්සේ අනුශාසනා කල ඉගැන්වීම පිලිබඳ සූත්‍රය බව සිහි තබාගන්න.

මා විසින් මෙසේ අසන ලදී.

බුදුන් වහන්සේ එක කලෙක සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළසේක.

එකල්හි ගිරිමානන්ද ආයුෂ්මතුන් දැඩි සේ ගිලන් වී ඉතා දුකින් කල් ගෙවමින් සිටියේය. ඉක්බිති ආනන්ද හාමුදුරුවන් බුදුන් වහන්සේ ලඟට පැමිණ වැඳ නමස්කාර කර පසෙකින් වාඩිවුණේය. පසෙකින් වාඩි වුන ආනන්ද හාමුදුරුවන්, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියේය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගිරිමානන්ද ආයුෂ්මතුන් දැඩි සේ ගිලන් වී ඉතා දුකින් කල් ගෙවයි. උන්වහන්සේ ගැන අනුකම්පා කර උන්වහන්සේව බැලීමට යන්නේ නම් ඉතා යහපත්” යයි කියා.

“එහෙනම් ආනන්ද, ඔබ ගිරිමානන්ද වෙත ගොස් මේ දස ආකාර භාවනා ක්‍රම කියාදෙන්න. එවිට ගිරිමානන්ද මෙය අසා, අසනීපයට හේතුව අවබෝධ කරගත් පසු ඔහුගේ අසනීපයට හේතුව සංසිඳේවි.

කුමන දහයද?

1.අනිච්ච සඤ්ඤා – මේ ලොව කිසිවක් මෙන්ම තමන්ගේ කැමැත්ත ද, තමන්ගේ මුල් කැමැත්තට අනුව නොපවතින බව නුවණින් අවබෝධ කර ගැනීම.

2.අනත්ත සඤ්ඤා – තමා ඇතුළු මේ ලොව හට ගන්නා සෑම කෙනෙක්ම, සෑම දෙයක්ම වෙනස් වෙන, වැය වන, නැති වන ධර්ම තාවයට යටත් බව නුවණින් අවබෝධ කර ගැනීම.

3.අසුභ සඤ්ඤා – ‘මම’යයි හෝ ‘මගේ’ යයි සිතින් අල්ලා ගෙන සිටින ශරීරය, සෑම මොහොතකම පිරිසිදු කල යුතු, අපිරිසිදු බහිශ්‍රාවයන්ගෙන් ගැවසී ගත්, පිළිකුල් සහගත බවම ස්වභාවයම කරගත්, සතර මහා භූතයන්ගෙන් සමන්විත වන දෙයක් බව නුවණින් අවබෝධ කර ගැනීම.  

4.ආදීනව සඤ්ඤා – ‘මම’ හෝ ‘මගේ’ යයි සිතින් අල්ලා ගෙන සිටින ශරීරය, නොයෙකුත් කායික ලෙඩ රෝග වලට, දිරීම් වලට, හදිසි කැඩීම් බිදීම් වලට, ලක් වෙන ස්වභාවය ඇති සතර මහා භූතයන්ගෙන් සමන්විත වන බව නුවණින් අවබෝධ කර ගැනීම.

5.පහාන සඤ්ඤා – ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තමන් මේ කය සහ සිත උපාදානය කරගත් තණ්හා-දෘෂ්ඨි-මානයන්ගෙන්, වෙන් විය යුතු බව නුවණින් අවබෝධ කර ගැනීම.

6.විරාග සඤ්ඤා – නැවත ඉපදීමට හේතුවන සියලු කෙලෙස් දුරුකිරීම සඳහා, තණ්හාවේ නොඇලීම නිසා ඇතිවන ඒ උසස් සංසිඳීම ගැන නුවණින් මෙනෙහි කිරීම.

7.නිරොධ සඤ්ඤා – නැවත ඉපදීමට හේතුවන සියලු කෙලෙස් දුරුකිරීම සඳහා, තණ්හාව නිරුද්ධ කිරීම නිසා ඇතිවන ඒ උසස් සංසිඳීම ගැන නුවණින් මෙනෙහි කිරීම.

8.සබ්බලොකෙ අනභිරත සඤ්ඤා – තමා තුල හටගන්නා සියලු ලෝකයන් ගැන අවබෝධ කරගනිමින්, ඒ හටගැනීම් වලට ඇති හේතූන් වන

තණ්හා-දෘෂ්ඨි-මාන අනුසය වශයෙන් හෝ පවතින්නට ඉඩ නොදී දුරුකරමින්, නිදහස් වන අකාරය නුවණින් අවබෝධ කර ගැනීම.

9.සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡ සඤ්ඤා – ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තම කය හා සිත අවිද්‍යාවෙන් උපාදානය කරගනිමින්, ගොඩනගා ගත්තාවූ කැමති-අකමැති, හොඳ-නරක, උස්-පහත්, යන සියළු මානයන් හා අදහස් ගැන කලකිරිය යුතු බව, පිළිකුල් කර යුතු බව, එවැනි වූ පහත් ආකල්ප වලින් මිදිය යුතු බව, අනාගතයේදී ඒවා ඇතිවීමට ඇති හේතු දුරු කළයුතු බව, නුවණින් අවබෝධ කර ගැනීම.

10.ආනාපානසති – තමාගේ යයි සිතා සිටි, කය සහ සිත පිලිබඳ ඉහත ලබාගත් නිවැරදි අවබෝධය ගැන මෙනෙහි කරමින්, ආශ්වාස-ප්‍රශ්වාසයේ හටගැනීම්-නිරුද්ධ වීම් හා නුවණින් ගලපා බලමින් සිත එකඟ කරගනිමින්, මේ කය හෝ සිත “මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ” යන්න නුවණින් අවබෝධ කර ගැනීම.

මොකද්ද, ආනන්ද අනිච්ච සංඥා කියන්නේ?

භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් නිදහසේ මෙසේ නුවණින් බලමින් මෙනෙහි කරනවා.

රූප –  මගේ හෝ අන් අයගේ රූප මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව,

වේදනා– මගේ දැකීම්-ඇසීම්-දැනීම්-විඳීම්-සිහිවීම්- මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව.

සංඥා-මගේ හැඳිනීම් මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව.

සංකාර– මම කැමති-අකමැති, හොඳ-නරක, උස්-පහත්, යනුවෙන් ගොඩ නගා ගන්නා අදහස් හෝ සිතිවිලි මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව.

විඥ්ඥාන– මම ඒ ගොඩ නගා ගත් අදහස් හෝ සිතිවිලි වලින් විශේෂයෙන් උපාදානය කරගත් අදහස් හෝ සිතිවිලි පවා මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව.

පඤ්ච උපාදානස්කන්ධ-

මෙසේ ‘මේ මමය-මගේය-මගේ ආත්මය’ යයි කියා මම උපාදානය කර සිටින රූප-වේදනා-සංඥා-සංකාර-විඥ්ඥාන යන ස්කන්ධයන් පහට ඇති උපාදානයම මගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතෙන බව නුවණින් අවබෝධ කරමින් වාසය කිරීම.

මේ තමයි ආනන්ද අනිච්ච සංඥා කියන්නේ.

මොකද්ද, ආනන්ද අනත්ත සංඥා කියන්නේ?

භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් නිදහසේ මෙසේ නුවණින් බලමින් මෙනෙහි කරනවා.

තමන්ගේ ඇස සොයන රූප ද, ඇසට රූප පෙනෙන ආකාරයද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ ඇස මෙන්ම ඇසට පෙනෙන රූප ද හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ කණ සොයන ශබ්ද ද, කණට ශබ්ද ඇසෙන ආකාරයද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ කණ මෙන්ම තමන්ට ඇසුණු ශබ්ද ද හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ නාසය සොයන ගන්ධ ද, නාසයට ගන්ධ දැනෙන ආකාරයද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ නාසය මෙන්ම තමන්ට දැනුනු ගන්ධ ද හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ දිව සොයන රස ද, දිවට රස දැනෙන ආකාරයද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ දිව මෙන්ම තමන්ට දැනුනු රස ද හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ කය සොයන පහස ද, කයට පහස දැනෙන ආකාරයද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ කය මෙන්ම තමන්ට දැනුනු පහස ද හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ සිත සොයන මතක ද, සිතට මතකයන් සිහිවෙන ආකාරය ද, හටගත්තා සේම වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

තමන්ගේ සිත මෙන්ම තමන්ට ඇතිවුනු මතකයන් ද හටගත්තා සේම, වෙනස් වෙමින්-වැය වෙමින්-දිරමින්-ක්ෂය වෙමින්-නැති වීමට පත්වෙන බව.

මේ ආකාරයට තමා තුල හා පිටස්තර සය ආයතනයන් ස්ථිර නොවන, ස්ථිරව නොපවතින, ඇතිවීම්-නැතිවීම් ස්වභාවය කොටගත්, සතර මහා භූතයන්ගෙන් සමන්විත කොටස් පමණක්ම බව නුවණින් අවබෝධ කරමින් වාසය කිරීම.

මේ තමයි ආනන්ද අනත්ත සංඥා කියන්නේ.

මොකද්ද ආනන්ද අසුභ සංඥා කියන්නේ?

ආනන්ද, භික්ෂුවක් තමන්ගේ හිස් මුදුනේ කෙස් සිට පාදාන්තය දක්වා ඇති නොයෙක් ආකාරයේ කොටස් ඇති අසුචියෙන් පිරුණු, නිතරම අපිරිසුදු වන සමෙන් වසා සිටින මේ කය ගැන නුවණින් විමසමින් මෙනෙහි කරනවා.

මේ තමන්ගේ කයේ විද්‍යාමාන වෙන කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, පෙනහල්ල, ප්ලීහාව, පපු මාංශ, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශයේ නොපැසුණු ආහාර, අසූචි, පිත, සෙම, පිරුණු ලේ, දහදිය, මේද තෙල, බලය පවත්වන කඳුළු, කෙල, සොටු, හැරව, මුත්‍ර, දෙස නුවණින් බලමින් නුවණින් විමසමින් නුවණින් මෙනෙහි කරනවා.

මේ තමයි ආනන්ද අසුභ සංඥා කියන්නේ.

කුමක්ද ආනන්ද ආදීනව සංඥා කියන්නේ?

භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් නිදහසේ මෙසේ නුවණින් බලමින් නුවණින් මෙනෙහි කරනවා.

මේ කය බොහෝ දුක් සහිත විපත්ති සහිත එකක්. මේ මගේ කය විවිධ ලෙඩ රෝග හට ගන්නා එකක්. පෙනීම් අබාධ, ඇසෙන ආබාධ, නාසයේ රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, කණේ අබාධ, මුඛයේ ආබාධ, දත් වල ආබාධ, තොල් වල ආබාධ, කැස්ස, හතිය, පීනස, දාහය, උන රෝග, බඩේ අමාරු, සිහි මුර්ජා වීම, අතීසාරය, රිදීම්, කොලරා රෝගය, කුෂ්ඨ, ගඩු රෝග, ඇදුම රෝග, ක්ෂය රෝග, අපස්මාරය, දද, කැසීම් රෝග, නිය අග රෝග, විශේෂ කුෂ්ඨ රෝග, ලේ වල රෝග, පිතේ රෝග, දියවැඩියා, අංශ භාග රෝගය, බිබිලි හට ගැනීම්, මල මුත්‍ර මාර්ගයන්හි ඇතිවන ගෙඩි හෝ තුවාල, පිත් කෝපයෙන් හටගන්නා රෝග, සෙම් කෝපයෙන් හටගන්නා රෝග, වාත කෝපයෙන් හටගන්නා රෝග, රෝගයන් නිසා හටගන්නා රෝග, ඉර්තුන්ගේ වෙනස් වීම් නිසා හට ගන්නා රෝග, නොයෙකුත් ලෙඩට බොන බෙහෙත් නිසා ඇතිවන විසවීම් නිසා ඇතිවන රෝග පීඩා, උපක්‍රමයන් නිසා ඇතිවන ආබාධ, පෙර අකුසල් නිසා ඇතිවන රෝග පීඩා, සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මල මුත්‍ර පිටකිරීම් හේතුකොට ඇතිවන රෝග පීඩා, වැනි බොහෝ රෝග පීඩා වලට ගොදුරු වන එකක් බව නුවණින් සිහි කිරීම.

මේ තමයි ආනන්ද ආදීනව සංඥාව කියන්නේ.

කුමක්ද ආනන්ද පහාන සංඥා කියන්නේ?

ආනන්ද, භික්ෂුවක් තමන් තුල ඉපදුනු කාම සිතිවිලි නොඉවසනවා, බැහැර කරනවා, දුරු කරනවා, අවසන් කරනවා, නැවත ඇති නොවීමට වග බලාගන්නවා.

තමන් තුල ඉපදුනු නපුරු ක්‍රෝධ සිතිවිලි නොඉවසනවා, බැහැර කරනවා, දුරු කරනවා, අවසන් කරනවා, නැවත ඇති නොවීමට වග බලාගන්නවා.

තමන් තුල ඉපදුනු හිංසා සහගත සිතිවිලි නොඉවසනවා, බැහැර කරනවා, දුරු කරනවා, අවසන් කරනවා, නැවත ඇති නොවීමට වග බලාගන්නවා.

උපන් නූපන් සියලු පාප සහ අකුසල් සිතිවිලි නොඉවසනවා, බැහැර කරනවා, දුරු කරනවා, අවසන් කරනවා, නැවත ඇති නොවීමට වග බලාගන්නවා.

මේ තමයි ආනන්ද පහාන සංඥාව කියන්නේ.

කුමක්ද ආනන්ද විරාග සංඥා කියන්නේ?

භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් නිදහසේ මෙසේ නුවණින් බලමින් මෙනෙහි කරනවා.

‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන තණ්හා-දෘෂ්ඨි-මානයන්ද, නැවත ඉපදීමට හේතුවන සියලු කෙලෙස්ද, දුරුකිරීම සඳහා තණ්හාවේ නොඇලීම නිසා ඇතිවන ඒ උසස් සංසිඳීම ගැන, නුවණින් මෙනෙහි කිරීමයි.

මේ තමයි ආනන්ද විරාග සංඥාව කියන්නේ.

කුමක්ද ආනන්ද නිරෝධ සංඥා කියන්නේ?

භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් නිදහසේ මෙසේ නුවණින් බලමින් මෙනෙහි කරනවා.

‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන තණ්හා-දෘෂ්ඨි-මානයන්ද, නැවත ඉපදීමට හේතුවන සියලු කෙලෙස්ද, දුරුකිරීම සඳහා තණ්හාව නිරුද්ධ කිරීම නිසා ඇතිවන ඒ උසස් සංසිඳීම ගැන, නුවණින් මෙනෙහි කිරීමයි.

මේ තමයි ආනන්ද නිරෝධ සංඥාව කියන්නේ.

කුමක්ද ආනන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා කියන්නේ?

පින්වත් ආනන්ද, මේ භික්ෂුව ඉපදීම-වයසට යාම-නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වීම, ආදී කොට ඇති සියලු දුක් රැසට හේතූන් වන, කාම තණ්හා-භව තණ්හා-විභව තණ්හා නිසා, තමා තුල හටගන්නා සියලු ලෝකයන් කෙරෙන් වෙන්වී, අනුසය වශයෙන් හෝ ඒ තණ්හාවන්ට පවතින්නට ඉඩ නොදී, නිදහස් වීම ගැන, නුවණින් මෙනෙහි කිරීමයි.

මේ තමයි ආනන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥාව කියන්නේ.

කුමක්ද ආනන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ?

පින්වත් ආනන්ද, මේ භික්ෂුව මෙතෙක් කාලයක් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි හඳුනාගෙන උපාදානය කරගෙන සිටි තමාගේ හෝ අන් අයගේ ශරීර හෝ සිත් හෝ තමාගේ කැමැත්තට අනුව නොපැවතුනු බව හා ඒ උපාදානය කරගෙන සිටි කැමැත්තවත් තමාගේ කැමැත්තට අනුව ස්ථිරව නොපැවතුනු බව අවබෝධ කරගැනීමෙන් පසු, තමා මෙතරම් කාලයක් කැමති-අකමැති, හොඳ-නරක, උස්-පහත්, යනුවෙන් ගොඩ නගා ගත්තාවූ සියලු අදහස් හා සිතිවිලි ගැන කලකිරිය යුතු බව, ඒ ගැන පිළිකුල් කලයුතු බව, ඉන් මිදිය යුතු බව, නුවණින් අවබෝධ කර ගැනීමයි.

මේ තමයි ආනන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ.

කුමක්ද ආනන්ද, ආනාපානසති කියන්නේ?

පින්වත් ආනන්ද, භික්ෂුව වන අරණකට හෝ ගසක් මුලකට හෝ කලබලකාරී බවින් මිදුණු හිස් තැනකට හෝ ගොස් කය ඍජුව තබාගෙන, පළඟක් සේ එරමිනියා ගොතාගෙන, යහපත් අධිෂ්ඨානයක් පෙරදැරිව සිහිය පිහිටවාගෙන, තමන්ගේ හුස්ම දෙස සිහිය යොමු කරමින් ඒ දෙස නුවණින් දකිමින්, නුවණින් බලමින්, නුවණින් මෙනෙහි කරනවා,
මේ භික්ෂුව ක්‍රම ක්‍රමයෙන් හුස්ම ගැනීම පිටකිරීමේ ක්‍රියාවලිය දෙස සිහිය එළඹවාගෙන, එහි ස්වභාවය නුවණින් දකිමින්, නුවණින් බලමින්, නුවණින් මෙනෙහි කරනවා.
මෙසේ ටික වෙලාවක් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන මේ භික්ෂුව එහි යථා ස්වභාවය නුවණින් දකින්නට පටන් ගන්නවා.
හුස්ම ගන්නවා: හුස්ම පිටකරනවා.
දීර්ඝ හුස්මක් ගන්නා විට ‘දීර්ඝ හුස්මක් ගන්නා බව’ විශේෂයෙන් දැනගන්නවා.
දීර්ඝ හුස්මක් පිට කරන විට ‘දීර්ඝ හුස්මක් පිට කරන බව’ විශේෂයෙන් දැනගන්නවා.
කෙටි හුස්මක් ගන්නා විට ‘කෙටි හුස්මක් ගන්නා බව’ විශේෂයෙන් දැනගන්නවා.
කෙටි හුස්මක් පිට කරනා විට ‘කෙටි හුස්මක් පිටකරනා බව’ විශේෂයෙන් දැනගන්නවා.

මෙසේ ටික වෙලාවක් නිරීක්ෂණය කරන ආර්ය ශ්‍රාවකයාට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය උපයෝගී කරගෙන තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක්ද කල හැකියි. ඒ කෙසේද යත්,
තමා විසින් උවමනාවෙන් හුස්ම ගැනීම හෝ දීර්ඝ හුස්මක් ගත් විට කෙටි හුස්මක් පිටකර හෝ කෙටි හුස්මක් ගත් විට දීර්ඝ හුස්මක් පිටකර හෝ තමාට කැමති ආකාරයකින් හුස්ම ගැනීම සිදුකරමිනි.

මෙසේ මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දෙස සිහියෙන් නුවණින් දකින කෙනා අවබෝධ කරගන්නවා, මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ තමාගේ කිසිදු බලපෑමකින් හෝ හැසිරවීමකින් නොවන බව. එය තමාගේ කැමැත්තට අනුව සිදු නොකළ හැකි බව තවදුරටත් අවබෝධ වෙනවා.

එය තව දුරටත් නුවණින් අවබෝධ කර ගන්නා මේ ආර්ය ශ්‍රාවකයා, මේ කය ‘මම’ නම්, මේ කය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් උපකාරීවෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලියවත්, මගේ පාලනයකින් සිදු කල නොහැක්කේ ඇයි දැයි, තමාගෙන් නුවණින් විමසනවා.

මේ කය ‘මම’ නම්, මේ කය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් උපකාරීවෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලියවත්’ මගේ කැමැත්තට අනුව සිදු කල නොහැක්කේ ඇයි දැයි, තමාගෙන්ම නුවණින් විමසනවා.

එසේම මේ කයේ ස්වභාවය නුවණින් ගලපා බලනවා. මේ කය බොහෝ ලෙඩ දුක්, රෝග පීඩා, විපත්ති සහිත එකක් බවත්, මගේ කැමැත්තට අනුව නොපවතින බවත්, නුවණින් මෙනෙහි කරනවා.

කෙනෙකු මැරුණු පසු මේ කය පොලවට දිරා යන බව හෝ අළු පරිසරයට එකතු වන බව නුවණින් මෙනෙහි කරනවා. එසේ එකතු වීමට නම් මේ කයද සෑදී තිබෙන්නේ මේ අවට පරිසරයේ තිබෙන අනිකුත් වස්තුන් සෑදී ඇති ස්වභාවික කොටස් වලින්ම විය යුතු බව නුවණින් විමසමින්, නුවණින් ගලපා බලමින්, නුවණින් අවබෝධ කරගන්නවා.

මේ පරිසරයේ තිබෙන වස්තූන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර මහා භූතයන්ගෙන් සෑදී ඇතුවාක් සේ, මේ මගේ ශරීරයද සතර මහා භූතයන්ගෙන් සෑදී ඇති බව නුවණින් වටහා ගන්නවා. මේ ශරීරයේ ඝන කොටස් පඨවි ධාතුව ලෙසත්, ද්‍රව කොටස් ආපෝ ධාතුව ලෙසත්, වායු කොටස් වායෝ ධාතුව ලෙසත්, උෂ්ණ කොටස් තේජෝ ධාතුව ලෙසත්, නුවණින් හඳුනාගන්නවා. එසේ නම් මේ කය ‘මම’ ලෙස හෝ ‘මගේ’ ලෙස හෝ ‘මගේ ආත්මය’ ලෙස මෙතෙක් කාලයක් උපාදානය කරගෙන සිටීම පිළිබඳව කලකිරෙනවා.

මෙසේ සිහිය එළඹවාගෙන නුවණින් දකිමින්, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කරමින්, නුවණින් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා මේ කය මම නොවන බවත්, මගේ නොවෙන බවත්, මගේ ආත්මය නොවෙන බවත්, ප්‍රත්‍යක්ෂව අවබෝධයෙන් පිලිගන්නවා.

මේ අනුව තවදුරටත් මේ කයට ඇති ඇලීම් බැදීම් වලින් මිදෙනවා.

දැන් මේ මුළු කයේම යථා ස්වභාවය අවබෝධ කරගනිමින් හුස්ම ගැනීමේ ක්‍රියා වලියේ හික්මෙනවා.

දැන් මේ මුළු කයේම යථා ස්වභාවය අවබෝධ කරගනිමින් හුස්ම පිටකිරීමේ ක්‍රියා වලියේ හික්මෙනවා.

ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි හඳුනාගෙන දැඩිව ගත් සිතිවිලි හඳුනා ගනිමින් ආශ්වාසයේ හික්මෙනවා.
ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි හඳුනාගෙන දැඩිව ගත් සිතිවිලි හඳුනා ගනිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් මෙතෙක් කාලයක් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි, දුරු කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
ඇස-කණ-නාසය-දිව-ශරීරය යන මුළු කයම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් මෙතෙක් කාලයක් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි, දුරු කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සතුට-සැහැල්ලුව අත්විඳිමින් ආශ්වාසයේ හික්මෙනවා.
සතුට-සැහැල්ලුව අත්විඳිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සුවය අත්විඳිමින් ආශ්වාසයේ හික්මෙනවා.
සුවය අත්විඳිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සිත, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි හඳුනා ගනිමින් ආශ්වාසයේ හික්මෙනවා.
සිත, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි හඳුනා ගනිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සිත, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් මෙතෙක් කාලයක් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි, දුරු කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
සිත, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගනිමින් මෙතෙක් කාලයක් එක්රැස් කල දැඩිව ගත් සිතිවිලි, දුරු කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සිතේ ස්වභාවය හඳුනාගනිමින් ආශ්වාසයේ හික්මෙනවා.
සිතේ ස්වභාවය හඳුනාගනිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

සිත ඉතා සතුටින් සැහැල්ලුවෙන් ආශ්වාසයේ හික්මෙනවා.
සිත ඉතා සතුටින් සැහැල්ලුවෙන් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.
සිත එකඟ කරගනිමින් ආශ්වාසයේ හික්මෙනවා.
සිත එකඟ කරගනිමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන අදහසෙන් සිත මුදවා නිදහස් කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන අදහසෙන් සිත මුදවා නිදහස් කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

අනිච්ච බව මෙනෙහි කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
අනිච්ච බව මෙනෙහි කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

රාගයෙන් තොර බව මෙනෙහි කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
රාගයෙන් තොර බව මෙනෙහි කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

කෙලෙස් බරින් තොර බව මෙනෙහි කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
කෙලෙස් බරින් තොර බව මෙනෙහි කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙනවා.

තණ්හා-දෘෂ්ඨි-මාන බැහැර කල බව මෙනෙහි කරමින් ආශ්වාසයේ හික්මෙනවා.
තණ්හා-දෘෂ්ඨි-මාන බැහැර කල බව මෙනෙහි කරමින් ප්‍රාශ්වාසයේ හික්මෙන්වා.

මේ තමයි ආනන්ද ආනාපාන සති කියන්නේ.

එහෙනම් ආනන්ද ඔබ ගිරිමානන්ද වෙත ගොස් මේ දස ආකාර භාවනා ක්‍රම කියාදෙන්න. ගිරිමානන්ද මෙය අසා ඔහුගේ අසනීපයට හේතුව අවබෝධ කරගත් පසු, ඔහුගේ අසනීපයට හේතුව සංසිඳේවි”.

ඉක්බිති ආනන්ද හාමුදුරුවන්, භාග්‍යවතුන් වහන්සේ වෙතින් ඉගෙනගත් දස සංඥා, ගිරිමානන්ද ආයුෂ්මතුන් හමුවී දන්වා සිටියේය.
ගිරිමානන්ද ස්ථවිරයන් දස සංඥා අසා දැනගෙන, තමන්ගේ රෝගයට හේතුව අවබෝධ කරගත්තේය. රෝගය සංසිඳී, ගිරිමානන්ද ස්ථවිරයන් සත්‍ය වශයෙන්ම නැගී සිටියේය.