මේ සූත්‍රය සංයුත්ත නිකායේ- සගාථවග්ග පාළි-සක්ක සංයුත්තය-පඨම වග්ගය- බුද්ධ-ධම්ම-සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ පෙන්වා දෙමින් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසන ලදී.
භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලයක
දිනක් භික්ෂූන්ට “මහණෙනි” යයි ඇමතූ සේක.
“යහපති” යි , භික්ෂූන් පිළිවදන් දුන්හ.
“මහණෙනි, පෙර එක කාලයක දෙවියන් සහ අසුරයන් යුද්ධයකට
එකතු වී සිටි අවස්ථාවක ශක්‍ර දේවේන්ද්‍රයන්, තව්තිසා දෙවිවරුන් අමතා මෙසේ පැවසුවේය.
‘මේ යුද්ධයේදී ඔබලාට යම් කිසි බයක්, හෝ තැතිගැනීමක් හෝ ලොමු දැහැගැන්වීමක් හෝ දැනුනහොත්, එවැනි වූ වේලාවට මගේ කොඩිය දෙස බලන්න, මගේ කොඩිය දෙස බැලුවොත්, ඔබලාට ඇතිවූ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි.
ඉදින් මගේ කොඩිය දෙස ඔබ නොබලන්නේ නම් හෝ නොදකින්නේ නම්, ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස බලන්න. එසේ ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස බැලීමෙන්, ඔබලාට ඇතිවූ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි.
ඉදින් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස නොබලන්නේ නම් හෝ නොදකින්නේ නම්, වරුණ දෙවියන්ගේ කොඩිය දෙස බලන්න.
එසේ වරුණ දෙවියන්ගේ කොඩිය දෙස බැලීමෙන්, ඔබලාට ඇතිවූ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි.
ඉදින් වරුණ දෙවියන්ගේ කොඩිය දෙස නොබලන්නේ නම්
හෝ නොදකින්නේ නම්, ඊසාන දෙවියන්ගේ කොඩිය දෙස බලන්න.
එසේ ඊසාන දෙවියන්ගේ කොඩිය දෙස බැලීමෙන්, ඔබලාට ඇතිවූ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි’ යයි කියා”.
“මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ කොඩිය දෙස බැලුවත්,
ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස බැලුවත්, වරුණ දෙවියන්ගේ
කොඩිය දෙස බැලුවත්, ඊසාන දෙවියන්ගේ කොඩිය දෙස බැලුවත්,
යම් කිසිවකුට ඇතිවූ බයක්, තැතිගැනීමක්, ලොමු දැහැගැන්වීමක්,
නැතිකරලීමට නම් ඒ කියන හැකියාවක්, ඒවාට ඇත්තේ නැහැ.
එයට හේතුව කුමක්ද?
මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයන් රාගය දුරුකර නැහැ, ද්වේශය දුරුකර නැහැ,
මෝහය දුරුකර නැහැ. ඒ නිසාම ඒ අයත්, බිය සුළු, තැති ගන්නා, කම්පා වෙන, පලා යන අයයි”.
“එහෙයින් මම ඔබලාට මෙසේ කියන්නෙමි. ඉතින් ඔබලා වනයක හෝ ගසක් මුල හෝ හිස් ප්‍රදේශයක ඉන්න අවස්ථාවක ඔබලාට යම් බයක් තැතිගැනීමක්, ලොමු දැහැගැන්වීමක්, හටගත හොත්, මා විසින් වඩවාගත් ගුණ සිහි කරන්න.
- ඒ භාග්‍යවත් තෙම රාග, ද්වේෂ, මෝහාදී සියලු කෙලෙස් ඉතිරියක් නැතුව මුළුමනින්ම දුරුකළ නිසා අරහං නම් ගුණයෙන්ද,
- චතුරාර්ය සත්‍ය ධර්මය, තමන් විසින්ම දැන ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තමන් වහන්සේ සසර දුකෙන් මිදුනා සේම, අන් සත්වයන්හටද ඒ අවබෝධයට මග පෙන්වමින්, සසර දුකෙන් අත්මිදීමට පිහිටවෙන නිසා සම්මා සම්බුද්ධ නම් ගුණයෙන්ද,
- අෂ්ඨ විද්‍යා පසළොස්චරණ ධර්මයන් අනුවම සිත කය වචනය හික්මවමින් හැසිරෙන නිසා විජ්ජාචරණ සම්පන්න නම් ගුණයෙන්ද,
- ඒ යහපත් හැසිරීමට අනුව නැවත උපතක් ඇති නොවෙන උතුම් වූ ගතියෙන් යුතු වන නිසා සුගත නම් ගුණයෙන්ද,
- ඇස කන නාසය දිව කය මනස යන ආයතනයන් තුලින් හටගන්නා සියලු ලෝකයන් පිළිබඳ ඇතිකරගත් මනා අවබෝධය අනුව තමා තුල ඒ ලෝකයන් හට ගැනීම නැවත්වීමට හැකිවූ නිසා ලෝකවිදූ නම් ගුණයෙන්ද,
- සියලු දෙවි මිනිසුන් අතර හෝ ලෞකික ලෝකය තුල තමන්ට වඩා උසස් හෝ සම කිරීමට තරම් වෙනත් කෙනෙක් නොමැති වීමට තරම්උ තුම්ම තත්වයට පත්වූ නිසා අනුත්තර නම් ගුණයෙන්ද,
- කිසිදු ලෞකික අවි ආයුධයක් හෝ බය ගැන්වීමක් හෝ තර්ජනයක්හෝ නොමැතිව මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන්ම පමණක් මිනිසුන් දමනය කරන නිසා පුරිසදම්ම සාරති නම් ගුණයෙන්ද,
- සියලු දෙවි මිනිසුන්ට යහපත් ලෞකික හා ලෝකෝත්තර ජීවිත ගතකරන මාර්ගය ගැන අවබෝධයට මග පෙන්වන නිසා, සත්ථා දේව මනුස්සානං බුද්ධෝ නම් ගුණයෙන්ද,
- පෙර පින් සහ කුසල් බලයෙන් ලැබූ කීර්තිමත්, සමුර්ධිමත් බව නිසා භගවා නම් ගුණයෙන්ද,
යන මේ මගේ ගුණ සිහි කිරීමෙන් මහණෙනි, ඔබලාගේ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි”.
“මාව සිහි නොකරන්නේ නම් ධර්මයේ ගුණ සිහි කරන්න.
- භාග්‍යවතුන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන,
සියලු දෙවි මිනිසුන්හට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මනාව පරිපූර්ණ ලෙස දේශනා කර ඇති නිසා ස්වාක්ඛාත නම් ගුණයෙන්ද, - ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සිහිය එළඹවාගෙන අවබෝධයෙන් අනුගමනය කරන විට, ඒ මොහොතේ සිටම ප්‍රතිඵල අත්විඳිය හැකි වන නිසා සාන්දෘෂ්ඨික නම් ගුණයෙන්ද,
- කාල නියමයකට හෝ වයස නියමයකට අනුකූල නොවී, ඕනෑම කාලයකදී මෙන්ම සිහි කල්පනාව ඇති ඕනෑම වයසකදී අවබෝධ කරගැනීමට හැකි වන නිසා අකාලික නම් ගුණයෙන්ද,
- ප්‍රායෝගිකව අත් හදා බැලීමෙන් අවබෝධ කරගත යුතු බව නිසා ඒහි පස්සික නම් ගුණයෙන්ද,
- තමාටම ගලපා බලා අවබෝධ කරගත යුතු නිසා ඔපනෛක නම් ගුණයෙන්ද,
- තමාට ගලපා බලමින් තමා පිලිබඳව සොයමින් ‘මම’ යයි කියා හඳුන්වාගන්නේ කවරෙක්ද යන්න තමන්ගේම නුවණින් දැනගත යුතු, ප්‍රඥාවන්තයින් විසින් අවබෝධකරගත යුතු, ධර්මයක් වන නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නම් ගුණයෙන්ද,
යන මේ ධර්මයේ ගුණ සිහි කිරීමෙන් මහණෙනි, ඔබලාගේ භය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි”.
“ධර්මයේ ගුණ සිහි නොකරන්නේ නම් සංඝයාගේ ගුණ සිහිකරන්න.
- තමන්ට අර්ථවත් සුවය ලබාගැනීම පිණිස යහපත් අරමුණකින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිලිපන්නා වූ නිසා සුපටිපන්න නම් ගුණයෙන්ද,
- ලෞකික අරමුණු වලින් බැහැරව ඍජු අධිෂ්ඨානයක් ඇතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිලිපන්නා වූ නිසා උජුපටිපන්න නම් ගුණයෙන්ද,
- දුක, දුක හටගන්නා හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳ නුවණ ඇතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිලිපන්නා වූ නිසා ඤායපටිපන්න නම් ගුණයෙන්ද,
- රාග-ද්වේශ-මෝහාදී කෙලෙස් ප්‍රහාණය පිණිසම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිලිපන්නා වූ නිසා සාමීචිපටිපන්න නම් ගුණයෙන්ද,
සමන්විත ඒ ආර්ය පුද්ගලයන් අට දෙනාගෙන් යුක්ත, එනම් සතර ඵලයන්ට අයත් පුද්ගලයන් සතර යුගල වන, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය,
- භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය දෙවි මිනිසුන්ට පෙන්වා දෙන නිසා, සිවුපසයෙන් පිදුම් ලැබීමට සුදුසු වන ‘ආහුණ්‍යෙය’ නම් ගුණයෙන්ද,
- ආශිර්වාදයෙන් සෙත් පැතීමෙන් සත්වයාට සෙත සැලසිය හැකි තරම් මහත් වූ ආනුභාවයකින් යුතු වීම නිසා, සිවුපසයෙන් පිදුම් ලැබීමට සුදුසු වන ‘පාහුණ්‍යෙය’ නම් ගුණයෙන්ද,
- සත්වයාගේ මෙලොව පරලොව සුභසිද්ධිය උදෙසා පින් රැස්කරගැනීමටත්, ඒ ඔවුන්ගේ මලගිය ඤාතීන් ගේ අභිවුර්ධිය උදෙසා සිදුකරන පූජා පිළිගැනීමටත්, තරම් ආනුභාවයෙන් යුතු වීම නිසා, සිවුපසයෙන් පිදුම් ලැබීමට සුදුසු වන ‘දක්ඛිණ්‍යෙය’ නම් ගුණයෙන්ද,
- සිත කය වචනය සංවර කරගනිමින් බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කරමින් ඇතිකරගන්නාවූ ආනුභාව සම්පන්න බව නිසා වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන ‘අංජලිකරණීය’ නම් ගුණයෙන්ද,
- උතුම් වන මේ සංඝරත්නයට තරම් වැඳුම් පිදුම් කරමින් පින් රැස්කරගත හැකි වෙනත් කිසිදු පුජණීය වස්තුවක් සත්වයාට මෙලොව නැති නිසා ‘අනුත්තරං පුඤ්ඤං ඛෙත්තං ලෝකස්ස’ යන ගුණයෙන්ද,
පිරිපුන් මේ සංඝයාගේ ගුණ සිහි කිරීමෙන් මහණෙනි, ඔබලාගේ බය, තැතිගැනීම, ලොමු දැහැගැන්වීම, පහවෙලා යාවි”.
“එයට හේතුව කුමක්ද?
මහණෙනි, සියලු කෙලෙස් දුරු කල තථාගතයන් වහන්සේ, රාග ද්වේශ මෝහ දුරු කළ , බිය දුරු කළ , තැතිගැන්ම දුරු කළ , කම්පා නොවෙන, පලා නොයන, කෙනෙක් වීම හේතුවෙනි”.
මෙසේ පැහැදිලි කල භාග්‍යවතුන් වහන්සේ, ඉක්බිතිව සියල්ලන්ටම
මෙසේ වදාළ සේක.
“මහණෙනි, කැලයක හෝ ගසක් මුල හෝ හිස් ප්‍රදේශයක හෝ වාසය කරන ඔබලා හට, තමන් විසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ලෝකයාට දේශනා කල බුදුන්ගේ ගුණ සිහි කරන විට බයක් ඇති නොවන්නේය.
ලෝකයාට ශ්‍රේෂ්ඨ වන බුදුන් සිහිකරන්නේ නැත්නම්,
සසරින් නිදහස් වීමේ මග මනාසේ පෙන්වා දේශනා කල ධර්මය සිහිකරන්න.
සසරින් නිදහස් වීමේ මග මනාසේ පෙන්වා දේශනා කල ධර්මය
සිහි කරන්නේ නැත්නම්, ගෞරවයෙන් වැඳුම් පිදුම් සිදුකරමින්, කෙනෙකුට පින් වපුරා රැස් කර ගැනීමට, ඊට වඩා ලොව වෙනත් කිසිදු පූජනීය වස්තුවක් නැති තරම් උතුම් වන සංඝ රත්නය සිහිකරන්න.
මහණෙනි, මෙසේ බුදුන්, දහම්, සඟුන් සිහිකරන ඔබලාට,
බයක්, තැතිගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති නොම වන්නේය”.
භාග්‍යවතුන් වහන්සේ “විජ්ජාචරණ සම්පන්නො” යන ගුණයෙන් හඳුන්වන්නේ සර්වඥතා ඥාණයන් අනුවම හික්මෙමින් සංවර වීම නිසයි. ඒ සර්වඥතා ඥාණය යනු බුදු කෙනෙකුටම සුවිශේෂී වන ඥාණයන් අටකි. ඒ ඥාණයන් අනුව පසළොස් ආකාරයේ හික්මීමක් ඇති කරගත් නිසා, අෂ්ඨ විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුතු ගුණයට, විජ්ජා චරණ සම්පන්නො යයි කියනු ලැබේ.
| අෂ්ඨ විද්‍යා (ඥාන අට) | |
| විදර්ශනා ඥානය | නාම රූප ධර්මයන්ගේ අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය දැකීමේ නුවණ |
| මනෝමය ඉර්ධි ඥානය | නොයෙක් රූපාදිය මැවීමේ මානසික බලය |
| ඉර්ධි විධ ඥානය | අහසින් යාම කිමිදීම ආදී ප්‍රාතිහාර්ය මානසික බලය |
| දිව්‍යශ්‍රොත ඥානය | දිව්‍ය, බ්‍රහ්ම ලෝක ආදී දුර ශබ්ද ඇසීමේ මානසික බලය |
| පරචිත්ත විජානන ඥානය | අන් අයගේ සිත් කියවීමේ නුවණ |
| පුර්වේනිවාසානුස්මෘති ඥානය | පෙර භවයන් දැනගැනීමේ නුවණ |
| දිව්‍යචක්ෂුරාභී ඥාන | කර්මානු රූප ව සත්වයන් ඒ ඒ භවයන් තුලින් චුතවන සහ නැවත උපදිනා භවයන් දැනගන්නා නුවණ |
| ආශ්‍රවක්ෂය කර ඥානය | ආශ්‍රවයන් ක්ෂය කරන ආකාරය දැනගන්නා නුවණ |
| පසළොස්චරණ ධර්ම | |
| ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය | උපසම්පදා ශීලයට අයත් ශික්ෂාවන් |
| ඉන්ද්‍රිය සංවර ශීලය | ඇස කණ නාසය දිව ශරීරය මනස, යන ඉන්ද්‍රියයන් සංවරව වාසය කිරීම |
| භෝජනයේ මාත්රාඥතාව | ආහාරයේ පමණ දැන වැළඳීම |
| ජාගරියානු යෝගය | නිදිවැරීමේ සමත්බව |
| ශ්‍රද්ධාව | පෙර බුද්ධශාසන වලට ඇති ගෞරවපූර්වක විශ්වාසය |
| හිරිය | පව කෙරෙහි පිළිකුල් බව |
| ඔත්තප්ප | පවට භය ඇති බව |
| බහුශ්‍රැත බව | ඇසූ පිරූ බවින් පිරිපුන් බව |
| වීර්යය | නොසැලෙන අධිෂ්ඨාන ශීලි උත්සාහය |
| ස්මෘතිය | උසස් මතක තබාගත හැකි ශක්තිය |
| ප්‍රඥාව | නුවණින් මෙනෙහි කිරීමට ඇති උසස් හැකියාව |
| ප්‍රථම ධ්‍යානය | කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇතිව වාසය කිරීම |
| ද්විතීය ධ්‍යානය | විතර්ක විචාරයන් සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රසන්නවූ එකඟ වූ සිත් ඇතිව, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇතිව වාසය කිරීම |
| තෘතිය ධ්‍යානය | සිහි නුවණ මනාව ඇතිව කායික සුවයෙන්ද යුක්ත වූ, උපෙක්ෂා සිත් ඇතිව මනා සිහියෙන් යුතුව වාසය කිරීම |
| චතුර්ථ ධ්‍යානය | සැපයේද නොඇලී දුක් සමගද නොගැටී, පෙර හටගත් සොම්නස් සහ දොම්නස්ද අතහැර, සැපදුක් දෙඅන්තයේම නොඇලී, ඉතා පිරිසිදු සිහියෙන් උපේක්ෂා සහගත සිත් ඇතිව වාසය කිරීම |