මේ සූත්‍රය ඛුද්දක නිකායේ-උදාන පාලි-බෝධි වග්ගයෙහි එන බාහිය සූත්‍රයේ, බුදුන් වහන්සේ බාහිය දාරුචිරිට ඉගැන්වූ ඉතා කෙටි එහෙත් ඉතා වටිනා ධර්ම අනුශාසනා කරුණු කොටස පමණක් බව සිහි තබාගන්න.
“එසේ නම් බාහිය, ඔබ මෙසේ ශික්ෂණය විය යුතුයි.
දුටු දේ දැකීමට පමණක් සීමා කරන්න,
ඇසූ දේ ඇසීමට පමණක් සීමා කරන්න,
දැනුණු දේ දැනීමට පමණක් සීමා කරන්න,
දැනගත් දේ දැනගැනීමට පමණක් සීමා කරන්න”.
“බාහිය, ඒ ආකාරයෙන් ඔබ ඉන්ද්‍රියයන් සංවර කර ගනිමින් හික්මෙමින්,
දුටු දේ දැකීමට පමණක් සීමා කරමින් ඔබේ ඇස සංවර කරගන්න,
ඇසූ දේ ඇසීමට පමණක් සීමා කරමින් ඔබේ කණ සංවර කරගන්න,
දැනුණු දේ දැනීමට පමණක් සීමා කරමින් ඔබේ නාසය-දිව-කය- සංවර කරගන්න,
දැනගත් දේ දැනගැනීමට පමණක් සීමා කරමින් ඔබේ සිත සංවර කරගන්න”,
“එවිට බාහිය, ඒ තණ්හාව නමැති හේතුව ඔබ තුල හටගන්නේ නැත.
ඒ තණ්හාව නමැති හේතුව ඔබ තුල නැති කළ, ඔබ ඒ රූපය උපාදානය කරගන්නේ නැත.
එකල්හි ඒ හේතුවෙන් බාහිය, ඔබ දුක හෝ සැප හෝ, විඳීම් යන අන්ත දෙකෙහිම
නො උපදින්නේය, එසේ ඔබ එතන නැති කළ, පරලොව ද ඉපදීමට කෙනෙක් නැත.
මේ ආකාරයට ඔබගේ දුක් කෙලවර වන්නේය”.
“යම් තැනක පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්ථිර ලෙස පිහිටන්නේ නැත්නම්,
එතන සූර්යයාගේ බැබලීමක් නැති නිසා දවල් කාලයට අල්ප වූ ආලෝකයක්වත් ඇති වන්නේ නැහැ,
එතන චන්ද්‍රයාගේ බැබලීමක් නැති නිසා රාත්‍රී කාලයේ අන්ධකාරයක් ඇති බව දැනෙන්නෙත් නැහැ.
මේ නිසා ඒ තැන දවල් කාලයත්, රාත්‍රී කාලයත් අතර කිසිදු වෙනසක් ඇත්තේ නැහැ.
යම් කලෙක මම යන හැඟීම නැති කර ගෙන, ඒ උසස් හික්මීම ඇතිකරගත් රහතන් වහන්සේද ‘මමය-මගේය-මගේ ආත්මය’ ලෙස කිසිවකට උපාදානය නොවීම හේතුවෙන්, රූපය හා අරූපයෙන් ද, දුක හෝ සැප හෝ විඳීමෙන් ද, මිදී නිදහස් වේ”.
| විස්තර කර දැක්වීම |
|---|
| ඔබගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මනස යන ආයතනයන්ට ස්පර්ශ වන අරමුණු නිසා ඇතිවන වේදනා, ඔබ උපාදානය කර නොගන්නවා නම්, එයින් එන සංඥාව ඔබව උපදවන්නේ නැත. ඒ නිසා ඔබ කියා කෙනෙක් සිටින බව ඔබට නොදැනෙයි. තමන්ට තමා කියා දැනීමක් ඇතිවන්නේම ඇස, කණ, දිව, නාසය, ශරීරයෙන් සහ මනසින් එන අරමුණු උපාදානය කරගන්නා නිසාම බව මෙසේ නුවණින් මෙනෙහි කරන්නාට වැටහෙනු ඇත. මේ උපාදානය නොමැති නිසා වේදනාව එතනම නිරුද්ධ වෙනවා. එවිට භවයක් ඇතිවීමට ඇති හේතුව නිරුද්ධ වීමෙන් භව නිරෝධය සිද්ධ වෙනවා. ඒ නිසාම ජාතිය හෙවත් හට ගැනීම නිරුද්ධ වෙනවා. මේ සඳහා ඔබ කළ යුත්තේ ඔබ තුල ඇති තණ්හාව මුලුමනින්ම දුරුකිරීමයි. සතිපට්ඨාන සූත්‍රයේ උගන්වා ඇති නිවැරදි අනුපිලිවෙලට අනුව පිලිපදින්න. |