ප්‍රවර්ග
ඛුද්දක නිකාය

බොධි සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-උදාන පාලි- බොධි වග්ගයෙහි එන පඨම බොධි- දුතිය බොධි- තතිය බොධි යන සූත්‍ර තුනෙහිම එකතුවකින් සකස් කරන ලද, බුදුන් වහන්සේ මුලින්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් ආකාරය උදාන වාක්‍යද සහිතව ප්‍රකාශ කල ආකාරය දැක්වෙන සූත්‍රය බව සිහි තබාගන්න.

මා විසින් මෙසේ අසන ලදී.
භාග්‍යවතුන් වහන්සේ සම්බෝධිය සාක්ෂාත් කර ගත් පළමු කාලයේ උරුවෙල නේරංජනා ගඟ අසබඩ බෝධි මූලයේ වැඩ වාසය කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දින හතක් විමුක්ති සුවය විඳිමින් එක ඉරියව්වෙන්ම වාඩිවී ගත කළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දිනය ගෙවී යන දිනයේ රාත්‍රියේ, ඒකාග්‍ර කරගත් සිත ඇතිව එතෙක් එළඹ සිටි ධ්‍යානයෙන් නැගී සිට, රාත්‍රියේ ප්‍රථම කොටසේදී, පටිච්ච සමුප්පාදය හෙවත් තණ්හාවෙන් බැඳීම නිසා සිතේ හටගැනීම ඇතිවන ආකාරය මනාසේ පිලිවෙලින් නුවණින් මෙනෙහි කල සේක.

මෙසේ “මේ මමය” යයි යන සිත ඇති කළ, ඔහුගේ හට ගැන්ම ඇතිවේ.

ඒ කෙසේද යත්-
යථා ස්වභාවය නොදැනීම හේතුකොට “මමය-මගේය-මගේ ආත්මය” යන මානයෙන් මැනුම් සිතිවිලි සකස්වේ.
ඒ සකස් කරගන්නා “මමය-මගේය-මගේ ආත්මය” යන සිතිවිලි හේතුකොට ගෙන විශේෂයෙන් අල්ලාගත් “මමය-මගේය” යන සිත සකස් වේ.
ඒ “මමය-මගේය” යන සිත හේතුකොට ගෙන ඊට අදාළ රූපය සකස් වේ.
ඒ රූපය හේතුකොට ගෙන ඒ රූපයට අදාළ ආයතන හය ඇතිවේ.
ඒ ආයතන හය ඇති නිසා බාහිර රූප හෝ අධ්‍යාත්මික රූප සමග සම්බන්ධය ඇතිවීම හෙවත් පස්සය ඇතිවේ.
ඒ රූප හමුවීම හේතුකොට ගෙන දැකීම්-ඇසීම්-දැනීම්-විඳීම්-සිහිවීම් ඇතිවේ.
ඒ දැකීම්-ඇසීම්-දැනීම්-විඳීම්-සිහිවීම් නිසා තණ්හාව ඉස්මතු වේ.
ඒ තණ්හාව නිසා පෙර විශේෂයෙන් අල්ලාගත් සිතිවිලිවලට අනුව, බාහිර රූප හෝ අධ්‍යාත්මික රූප කෙරේ “මමය-මගේය-මගේ ආත්මය” යන තණ්හා-දෘෂ්ඨි-මාන අනුව උපාදානය කරගනිමින් බැඳීම් ඇතිවේ.
ඒ ඇලීම්-ගැටීම් හේතුකොට ගෙන ඇතිවන බැඳීම් නිසා හටගන්නා ලබාගැනීම-පත්වීම-ඉවත්කිරීම-ඉවත්වීම-ගැලවීම යනාදී භව නම් සිත් ඇතිවේ.
ඒ ඇතිවන භව නම් සිත් හේතුකොට ගෙන උපත හටගනී.
ඒ උපත හේතුකොට ගෙන වයසට යාම-ලෙඩ වීම-මරණය-සෝක කිරීම්-විලාප දීම්-කායික දුක්-මානසික දුක්-අසහන-දොම්නස්-බලවත් සිත්තැවුල්- ව්‍යසනයන්ගෙන් ගැලවීමට වෙහෙස වීම්, වැනි අනේක විධ දුක් රැසම ඇතිවෙයි.
මේ ආකාරයට තමයි ඔහුගේ සියලු දුක් රැස හට ගැනීම සිදුවන්නේ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් නුවණින් දැන, අවබෝධ කල දේ ප්‍රීති වාක්‍යකින් පැවසූ සේක.


“යම් කලෙක නුවණ ඇත්තා, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව කෙලෙස් හට ගන්නා ක්ෂණයේදීම, ඒවායින් මිදීම සඳහා නැවත නැවත නුවණින් මෙනෙහි කර බලමින්, ඒකාන්තයෙන්ම ඒ කෙලෙස් වලින් මිදෙනවා.
ඉක්බිති ඔහු සියල්ල දෙස සැකයෙන් බලමින් තව තවත් නුවණින් විමසිලිමත් වෙනවා.
ඉන්ද්‍රියයන් සංවරයට පැමිණ වූ ඔහු,
ඔහුගේ පැවතීමට හේතුව විශේෂයෙන් නුවණින් අවබෝධ කරගන්නවා”.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ මධ්‍යම කොටසේදී, පටිච්ච සමුප්පාදය නිරුද්ධ වන ආකාරය හෙවත් තණ්හාව නිරුද්ධ කිරීම නිසා සිතේ හටගැනීම නිරුද්ධ වෙන ආකාරය මනාසේ පිලිවෙලින් නුවණින් මෙනෙහි කළ සේක.

මෙසේ “මේ මමය” යයි සිත නැතිකළ, තණ්හා-දෘෂ්ඨි-මාන පැවතීමට හේතුවක් නැති නිසා ඔහුගේ නිරුද්ධ වීම ඇතිවේ.

ඒ කෙසේද යත්-
යථා ස්වභාවය අවබෝධ කරගත් මොහොතේ සිට “මමය-මගේය-මගේ ආත්මය” යයි යන මානයෙන් මැනුම් සිතිවිලි සකස් වීම නිරුද්ධ වේ.
ඒ “මමය-මගේය-මගේ ආත්මය” යන මානයෙන් මැනුම් සිතිවිලි සැකසීම නිරුද්ධ වීම නිසා “මමය-මගේය” ලෙස උපාදානය කරගැනීමට හේතුවන සිත සකස් වීම නිරුද්ධ වේ.
ඒ “මමය-මගේය” ලෙස උපාදානය කරගැනීමට හේතුවන සිත නිරුද්ධ වීම නිසා ඊට අදාළ රූපය සකස් වීම නිරුද්ධ වේ.
ඒ රූපය නිරුද්ධ වීම නිසා ඒ රූපයට අදාළ ආයතන හය සකස් වීම නිරුද්ධ වේ.
ඒ ආයතන හය නිරුද්ධ වීම නිසා බාහිර රූප හෝ අධ්‍යාත්මික රූප හා සම්බන්ධය නිරුද්ධ වීම හෙවත් පස්සය නිරුද්ධ වේ.
ඒ රූප හමුවීම නිරුද්ධ වීම නිසා දැකීම්-ඇසීම්-දැනීම්-විඳීම්-සිහිවීම් නිරුද්ධ වේ.
ඒ දැකීම්-ඇසීම්-දැනීම්-විඳීම්-සිහිවීම් නිරුද්ධ වීම නිසා තණ්හාව නිරුද්ධ වේ.
ඒ තණ්හාව නිරුද්ධ වීම නිසා පෙර විශේෂයෙන් අල්ලාගත් සිතිවිලිවලට අනුව බාහිර රූප හෝ අධ්‍යාත්මික රූප කෙරේ “මමය-මගේය-මගේ ආත්මය” යන තණ්හා-දෘෂ්ඨි-මාන අනුව ඇතිවන බැඳීම් හටගැනීම නිරුද්ධ වේ.
ඒ බැඳීම් නිරුද්ධ වී ඇති නිසා ඇලීම්-ගැටීම් හේතුකොට ගෙන හටගන්නා ලබාගැනීම-පත්වීම-ඉවත්කිරීම-ඉවත්වීම-ගැලවීම යනාදී භව නම් සිත් නිරුද්ධ වේ.
ඒ භව නම් සිත් නිරුද්ධ වීම නිසා උපත නිරුද්ධ වේ.
ඒ උපත නිරුද්ධ වීම නිසා වයසට යාම-ලෙඩ වීම-මරණය-සෝක කිරීම්-විලාප දීම්-කායික දුක්-මානසික දුක්-අසහන-දොම්නස්-බලවත් සිත්තැවුල්-ව්‍යසනයන්ගෙන් ගැලවීමට වෙහෙස වීම්, වැනි අනෙක විධ දුක් රැසම නිරුද්ධ වේ.
මේ ආකාරයට ඔහුගේ සියලු දුක් රැසම නිරුද්ධ වේ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ නුවණින් දැන, අවබෝධ කල දේ ප්‍රීති වාක්‍යකින් පැවසූ සේක.

“යම් කලෙක නුවණ ඇත්තා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව කෙලෙස් හට ගන්නා ක්ෂණයේදීම ඒවායින් මිදීම සඳහා නැවත නැවත නුවණින් මෙනෙහි කර බලමින්, ඒකාන්තයෙන්ම ඒ කෙලෙස් වලින් මිදෙනවා.
ඉක්බිති ඔහු සියල්ල දෙස සැකයෙන් බලමින් තව තවත් නුවණින් විමසිලිමත් වෙනවා.
ඉන්ද්‍රියයන් සංවරයට පැමිණ වූ ඔහු කෙලෙස් හට ගැනීමට ඇති
හේතූන්, ක්‍රම ක්‍රමයෙන් නිරුද්ධ කරමින් විඳීමෙන් මිදෙනවා”.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ අවසාන කොටසේදී, පටිච්ච සමුප්පාදය ඇතිවන ආකාරය හා නිරුද්ධවන ආකාරය මනාසේ පිලිවෙලින් නුවණින් මෙනෙහි කල සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ නුවණින් දැන, අවබෝධ කල දේ ප්‍රීති වාක්‍යකින් පැවසූ සේක.

“යම් කලෙක නුවණ ඇත්තා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව කෙලෙස් හට ගන්නා ක්ෂණයේදීම ඒවායින් මිදීම සඳහා නැවත නැවත නුවණින් මෙනෙහි කර බලමින්, ඒකාන්තයෙන්ම ඒ කෙලෙස් වලින් මිදෙනවා.
ඉක්බිති ඔහු සියල්ල දෙස සැකයෙන් බලමින් තව තවත් නුවණින් විමසිලිමත් වෙනවා.
ඉන්ද්‍රියයන් සංවරයට පැමිණ, රාග ද්වෙශාදී කෙලෙස් මාර ගින්න නිවා දමා නිරෝධය වූ ඔහු, අහස ආලෝකමත් කරන සූර්යයා මෙන් බබලනවා”.