මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-උරග වග්ගය- චතුරාර්ය සත්‍ය අවබෝධය කරගැනීම සඳහා එළඹුණු පැවිදි දිවියක ඇති වටිනාකම පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.
රාග-ද්වේශ-මෝහ යන කෙලෙස්, බිය උපදවනවා
ගෘහ ජීවිතය, කෙලෙස් උපදවනවා
ගෘහ ජිවිතයෙන් වෙන්වීම ඒකාන්තයෙන්ම බුදුන් දැකීමේ මාර්ගයයි.
මුර්ජාව සිටි කාමාදී කෙලෙස්, රෝපණය වීමට ඉඩ නොදී,
ඉපදීමට ඇති කෙලෙස් හටගැනීමට ඉඩ නොදී,
ශ්‍රේෂ්ඨ මුනිඳුන් අනුව හැසිරී, සන්සුන්වූ ගිහි ගෙයින් නික්මුණ ඔහු
මහා අනර්ඝ වූ නිවණ දුටුවේය.
නුවණින් කල්පනා කර තණ්හාව නමැති හේතු බීජය ප්‍රහාණය කර,
ඔහු තුල කෙලෙස් ඉපදීමට ඉඩ නොදී,
ඔහු තුල ඇති ඉපදීම අවසන් කිරීමේ නුවණ නිසා,
ඇලීම්-බැඳීම් උපදවන කාම-ව්‍යාපාද-විහිංසා විතර්ක දුරුකරයි.
සියලු සත්ව වාසස්ථාන නුවණින් අවබෝධ කොට,
ඒ කිසිවක් කෙරෙහි ඇලීමට නොපතා,
ඉදින්, ඔහුගේ දුරු කල තෘෂ්ණා ඇති බව හා කෑදර නැති බව,
ඔහු තුල කිසිවක් රැස් කිරීමකින් තොරව කෙලවර කරන්නේය.
තණ්හා-දෘෂ්ඨි-මාන යන සියල්ල මැඩ පැවැත්වූ,
චතුරාර්ය සත්‍ය පිළිබඳව මනාව දැන අවබෝධ කරගත්තාවූ,
ප්‍රඥාවන්තයා,
සියලු ලෞකික ඇලීම්-බැදීම් වලින් මිදුනේය.
‘මමය-මගේය-මගේ ආත්මය’ යන
සියලු තෘෂ්ණාවෙන් මිදී නිදහස් වූ බව ප්‍රකාශ කරන
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
ප්‍රඥා බලයෙන් යුතු ශීල ප්‍රතිපදාවෙන් හික්මුණු,
මනා සිහියෙන් යුතු සමාධි මත් කරගත් සිත ඇති, ධ්‍යානයෙහි ඇලුනාවූ,
සමුහයෙන් වෙන්වූ, රළු නැති, කෙලෙස් වලින් තොරවූ,
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
අප්‍රමාදීව තනිව හැසිරෙන නුවණැත්තා,
නින්දා ප්‍රශංසා යන දෙකෙහිදීම කම්පාවට පත් නොවන්නේය.
සිංහයෙකුගේ ගෙරවීම් ශබ්දයකටවත් තැති නොගන්නේය.
කාමය නැමැති වායු සුලියක වත් නො පැටලෙන්නේය.
ජලයේ නොතැරවෙමින් සිටින නෙළුම සේ,
රාග-ද්වේශ-මෝහාදී ක්ලේශයන්ගෙන් සංසිඳුනු බව
දැන අවබෝධයට පත්වුනා වූ
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
දියට බැසීමට වාරුවක් සේ භේදයකින් තොරව
ඕනෑම කෙනෙකුට පිහිටවන ලෙස ඉවුරේ සිටවූ යම් කණුවක් සේ,
‘මමය, අනුන්ය’ යන භේදයකින් තොරව, තමන් කරන සියලු ක්‍රියාවන්හි බලපෑම තමාව උපමා කරගනිමින් නුවණින් විමසමින්,
යහපත් ප්‍රතිපල දායක ක්‍රියාම පමණක් සිදුකිරීම නිසා,
රාගයෙන් තොරවී මනාසේ තැන්පත් වූ ඉන්ද්‍රියයන් ඇතිකරගත්තාවූ
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
යම් ඒ තැන්පත් වූ සිත් ඇති ඒ ඔහු තුල
ඒකාන්තයෙන්ම තැති ගැනීම බල නොපවත්වයි,
ඔහු, පාප ක්‍රියා ගැන කලකිරෙයි,
යහපත අයහපත ගැන විමසමින් යහපතේම වාසය කරන
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
දැනුවත්ව කිසිදු පාපයක් නොකරන
බාල වුවද, වැඩිමහල් වුවද, නුවණැති ඒ සංසිඳුණු තැනැත්තා,
කිසිවකින් කිපීම හෝ කිසිවෙකුට හිංසා කිරීමට නොපෙලෙඹෙන,
නුවණ ඇති පණ්ඩිතයෙක් බව දත යුතුය.
යම් කලෙක මුලින් මැදින් හෝ ඉතිරි වූ දෙයකින් හෝ
අනුන් දුන් බත් පිඬකින් යැපෙන,
ගැරහීම, ස්තුති කිරීම හෝ වහල් වීම නොකරන,
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
අඥානයන්ගේ හැසිරීම වන
රතියෙන් හා මෛථුනයෙන් වෙන්වී හැසිරෙන,
යෞවනයේ ඇති ලෞකික කිසි තැනැක්හි නොබැඳෙන,
මදයෙන්, ප්‍රමාදයෙන්, ඇලීමෙන් මුළුමනින් මිදුණු,
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
ලෝකයේ පරමාර්ථ දර්ශනය දැන අවබෝධ කරගෙන,
සංසාර සාගරයේ ක්ලේශ ඕඝයන් තරණය කර,
රාග-ද්වේශ-මෝහා දී කෙලෙස් දුරුකර එගොඩ වූ,
බැඳීම් සිඳ දමා තෘෂ්ණා-දෘෂ්ඨි-මාන යන ආශ්‍රවයන් දුරු කල,
ඒ නුවණැත්තා පණ්ඩිතයෙක් බව දත යුතුය.
අඹුදරුවන් පෝෂණය කරන, පර පණ නසන, නොහික්මුණු සේ දිවි ගෙවන
ගිහි ජීවිතයත්, මමත්වය නැති මනා පැවතුම් ඇති නිතරම අවිහිංසාවාදී ව පරපණ ආරක්ෂා කරන පැවිදි ජීවිතයත්,
එකිනෙකට බොහෝ දුරස් වන, අසමාන වන, වෙනස් දිවිපැවැතුම් දෙකකි.
අහසෙහි පියාඹන අලංකාර නිල් පාට ගෙලක් සහිත
මොණරාගේ ශක්තිය-වේගය,
කිසි කලෙක හංසයාගේ
ශක්තියට-වේගයට සමාන කරන්න හැකිවන්නේ නැහැ.
එසේ ම කිසිකලෙක ගිහියා, කාය චිත්ත විවේකයෙන් භාවනාවේ යෙදී වනයේ වාසය කරන පණ්ඩිත වූ භික්ෂුවගේ සමාධිය ලබන්නේ නැහැ.