මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-උපරිපණ්ණාසපාළි-විභඬග වග්ගය- චතුරාර්ය සත්‍යය එකින් එක බෙදා දක්වමින් සරල ආකාරයෙන් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම්වූ ස්ථානයේ වැඩ වාසය කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි”, කියා ආමන්ත්‍රණය කළ සේක. ‘පින්වතුන් වහන්ස’යයි, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අරහත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම්වූ ස්ථානයේ ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් හෝ නොපැවැත්විය හැකි කිසිවෙකට සම කළ නොහැකි තරම් උතුම් වන “ධර්මයේ ආඥාව” පවත්වන ලදී.
එනම්, චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි.
කවරක්ද ඒ සතර?
- දුක්ඛ නම් පලමු ආර්ය සත්‍යය ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි.
- දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යය ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි.
- දුක්ඛ නිරෝධ නම් ආර්ය සත්‍යය ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි.
- දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්ය සත්‍යය ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි”.
“මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම් වූ ස්ථානයේ, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් හෝ නොපැවැත්විය හැකි කිසිවෙකට සම කළ නොහැකි තරම් උතුම් වන ධර්මයේ ආඥාව පවත්වන ලදී.
එනම්, මේ සතර ආර්ය සත්‍යයන්ගේ ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි” යනුවෙන්.
“මහණෙනි, ශාරිපුත්‍ර මොග්ගල්ලානයන් විශ්වාස කරව්. මහණෙනි, ශාරිපුත්‍ර මොග්ගල්ලානයන් ආශ්‍රය කරව්. පණ්ඩිත වූ ඒ භික්ෂූහු යහපතෙහි හැසිරෙන බ්‍රහ්ම චරියාවේ හැසිරෙන භික්ෂූන්ට බොහෝ උපකාර වන්නේය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරිපුත්‍ර තෙමේ එමෙනි.
උපන්න පසු පෝෂණය කරන්නා වූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ, භික්ෂූන් සෝවාන් ඵලයෙහි හික්මවීමට දක්ෂ වන්නේය. මොග්ගල්ලාන තෙමේ, ඉහළ ඵලයන්හි හික්මවීමට දක්ෂ වන්නේය. මහණෙනි, ශාරිපුත්‍ර තෙම චතුරාර්ය සත්‍යයන් විස්තර කර කියා දීමට, දේශනා කිරීමට, නුවණ පිහිටුවීමට, අවබෝධය පිහිටුවීමට, ධර්මය විවරණය කිරීමට, කොටස් බෙදමින් විස්තර කිරීමට, අපැහැදිලි තැන් පැහැදිලි කර විස්තර කිරීමට සමර්ථවේ”යයි, භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කලකින්, භික්ෂූන්ට “ඇවැත් මහණෙනි” යයි ආමන්ත්‍රණය කළ සේක. ‘ඇවැත්නි’, කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය.
“ඇවැත්නි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම් වූ ස්ථානයේ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් හෝ නොපැවැත්විය හැකි කිසිවෙකට සම කළ නොහැකි තරම් උතුම් වන ධර්මචක්‍රය පවත්වන ලදී.
එනම්, මේ චතුරාර්ය සත්‍යයන්ගේ ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි”.
“කවරක්ද ඒ සතර?”
“දුක්ඛ නම් ආර්ය සත්‍යය ගැන ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි,
දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යය ගැන ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි,
දුක්ඛ නිරෝධ නම් ආර්ය සත්‍යය ගැන ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි,
දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා නම් ආර්ය සත්‍යය ගැන ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි”.
“ඇවැත්නි, දුක්ඛ ආර්ය සත්‍යය නම් කවරේද?
ඉපදීම දුකකි, වයසට යාම හෙවත් වැය වීම හෙවත් දිරීම ද දුකකි, ලෙඩ වීමද දුකකි, මරණයද දුකකි, අප්‍රියයන් හා එක්වීම දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, කැමති යමක් නොලැබේද එයද දුකකි. කෙටියෙන්ම කිව්වොත්, පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය”.
- “ඇවැත්නි ඉපදීම නම් කවරක්ද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්- හටගැනීමක්- පිළිසිඳීමක්- පහළවීමක්, ඒ ඒ සත්ව නිකායට අයත් රූප-වේදනා- සංඥා-සංකාර-විඥ්ඥාන යන ස්කන්ධයන්ගේ පහළවීමක්, ඒ ඒ සත්ව නිකායට අදාල ඇස-කණ-නාසය-දිව-කය-මනස යන ආයතනයන් ලැබීමක් වේද, ඇවැත්නි, මෙය ජාති හෙවත් ඉපදීම යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, ජරාව නම් කවරක්ද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් වයස ගෙවී දිරා යාමක්, දත් වැටුනු දිරාගිය- හිසකෙස් පැසුනු-සම රැලි වැටුනු-ආයුෂ පිරිහිණු- ඉන්ද්‍රියයන්ගේ ගෙවීයාමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, මරණය නම් කවරේද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙන් යම් චුතවීමක්, වෙන්වෙන බවක්- බිඳීමක්- අතුරුදන්වීමක්- මියයාමක්, ඒ ඒ සත්ව නිකායට අදාල කාලය අවසන් කිරීමක්, ශරීරය අතහැර දමා තබා නික්මීමක්, ජීවිත ඉන්ද්‍රිය සිඳී යාමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද?
ඇවැත්නි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේදී සිදුකරන සෝ සුසුම් හෙලීම්, සිත තුල තැවීම්-කෙලවරක් නැති ශෝක කිරීම් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, පරිදේව නම් කවරේද?
ඇවැත්නි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේදී සිදුකරන දුක් කියමින් හැඬීම්, විලාප නගා හැඬීම්, තැවිතැවී හැඬීමක්, තැවිතැවී විලාප නගා හැඬීමක්, වේද- ඇවැත්නි, මේ පරිදේව යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, දුක නම් කවරේද?
ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නා වූ රෝගයක් හෝ අසනීපයක්, කයට අපහසු වීඳීමක්- අසනීපයක් හෝ රෝගයක් නිසා කයට දැනෙන අපහසුවක් වැනි අකමැති වේදනාවක් වේද, ඇවැත්නි, මේ දුක යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි, දොම්නස නම් කවරේද?
ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක්, සිතට අසතුටක්, මතකයට නැගුනු අරමුණක් නිසා හටගත් දුකක් අසහනයක් වේද, ඇවැත්නි, මෙය දොම්නස යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි උපායාස නම් කවරේද?
ඇවැත්නි, අනේක විධ ව්‍යසනයන් උරුමකරගෙන ඉපදෙන සත්වයා නානාප්‍රකාර දුක් ස්වභාවයන්ට මුහුණ දීමේදී ඇතිවන පීඩාකාරී බවක්, දැඩි වෙහෙසකාරී බවක්, පීඩාකාරී බව නිසා ඇතිවන තැවීමක්, දැඩි වෙහෙසකාරීකම නිසාම ඇතිවන තැවීමක්, ඒවායින් මිදීමට ගන්නා උත්සාහ නිසා ඇතිවන දැඩිවූ පීඩාවක්, වේද ඇවැත්නි, මෙය උපායාස යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කැමතිවූ යමක් නොලබා දුක් වේ යනු කවරේද?
ඇවැත්නි, ඉපදීමට හේතු සකස්කරගත් නිසාම ඉපදුනු සත්වයන්ට, මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්!’, ‘ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම්! යහපතැයි’ කියායි.
මේ වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ නිසා කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමති වූ යමක් නොලැබීමේ දුක නම් වේ”.
- “ඇවැත්නි, ඉපදීමට හේතු සකස්කරගත් නිසාම ඉපදුනු සත්වයන්, දිරීම වයසට යාම ඉන්ද්‍රියයන් ගෙවී අක්‍රිය වීම අවලස්සන වීම ස්වභාවය කොට ඇති වුවත්, එබඳු සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි දිරීම–වයසට යාම–ඉන්ද්‍රියයන් ගෙවී අක්‍රිය වීම– අවලස්සන වීම–ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්!’, ‘ඒකාන්තයෙන් අපට වයසට යෑම නොපැමිණෙන්නේ නම්! යහපතැයි’ කියායි”.
මේ වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ නිසා කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම් වේ”.
- “ඇවැත්නි, ඉපදීමට හේතු සකස්කරගත් නිසාම ඉපදුනු සත්වයන්, ලෙඩ වීම නොයෙකුත් රෝගයන්ට ගොදුරු වීම නොයෙකුත් ආබාධයන්ගෙන් පෙලීම නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවීම ස්වභාවය කොට ඇති වුවත් එබඳු සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි ලෙඩ වීම–නොයෙකුත් රෝගයන්ට ගොදුරු වීම–නොයෙකුත් ආබාධයන්ගෙන් පෙලීම–නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණපාන්න සිදුවීම–ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්!’, ‘ඒකාන්තයෙන් අපට ලෙඩ දුක් ව්‍යසන නොපැමිණෙන්නේ නම්! යහපතැයි’ කියායි.
මේ වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ නිසා කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම් වේ”.
- “ඇවැත්නි, ඉපදීමට හේතු සකස්කරගත් නිසාම ඉපදුනු සත්වයන්, මරණයට මුහුණපාන්න සිදුවීම ස්වභාවය කොට ඇති වුවත් එබඳු සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි මරණය ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්!’, ‘ඒකාන්තයෙන් අපට මරණය නොපැමිණෙන්නේ නම්! යහපතැයි’ කියායි.
මේ වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ නිසා කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම් වේ”.
- “ඇවැත්නි, ඉපදීමට හේතු සකස්කරගත් නිසාම ඉපදුනු සත්වයන්, දුකෙන් පෙලීම වැලපීම කායික-මානසික දුක් වලින් පෙලීම කරදර උවදුරු විපත් වලින් ගැලවී ජීවත් වීම සඳහා ගන්නා දැඩි උත්සාහය නිසා වෙහෙසවීමට සිදුවීම ස්වභාවය කොට ඇති වුවත්, එබඳු සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අනේ, අපි දුකෙන් පෙලීම– වැලපීම–කායික මානසික දුක් වලින් පෙලීම–කරදර උවදුරු විපත් වලින් ගැලවී ජීවත් වීම සඳහා ගන්නා දැඩි උත්සාහය නිසා වෙහෙසවීමට සිදුවීම– ස්වභාවය කොට ඇත්තාහු නොවන්නෙමු නම්!’, ‘ඒකාන්තයෙන් අපට දුකෙන් පෙලීම–වැලපීම–කායික මානසික දුක් වලින් පෙලීම–කරදර උවදුරු විපත් වලින් ගැලවී ජීවත් වීම සඳහා ගන්නා දැඩි උත්සාහය නිසා වෙහෙසවීමට සිදුවීම– නොපැමිණෙන්නේ නම්! යහපතැයි’ කියායි.
මේ වනාහි කැමැත්ත අනුව හෝ ප්‍රාර්ථනාව අනුව සිදු වන දෙයක් නොවන නිසා, සත්වයාට මේ නිසා කැමති දේ නොලැබීමේ දුකින් පෙලීමට සිදුවේ. මෙය කැමතිවූ යමක් නොලැබීමේ දුක නම්වේ”.
“ඇවැත්නි, කෙටියෙන්ම කිව්වොත් පඤ්ච උපාදාන ස්කන්ධයෝම දුකක් කියන්නෙ කුමක්ද?
ඒ කවරේද?
එනම්,
- වෙනස් වන ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් රූපයට තණ්හාවෙන් උපාදානය වීම- රූපයට උපාදානය වීම
- වෙනස් වන ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් ඒ ඒ අවස්ථාව අනුව පෙනෙන-ඇහෙන-දැනෙන-හැඟෙන දැනීම් වලට තණ්හාවෙන් උපාදානය වීම- වේදනාවට උපාදානය වීම
- වෙනස් වන ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් ඒ ඒ අවස්ථාව අනුව ඇතිවන හැඳිනීමට තණ්හාවෙන් උපාදානය වීම- සංඥාවට උපාදානය වීම
- වෙනස් වන ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් ඒ ඒ අවස්ථාවේ ඇතිවන විඳීමට අනුව මෝහය නිසා සිතේ සකස්කරගන්නා අදහස් වලට තණ්හාවෙන් උපාදානය වීම- සංකාරවලට උපාදානය වීම
- වෙනස් වන ස්වභාවය ගැන අනවබෝධයෙන් හෙවත් අවිද්‍යාවෙන් විශේෂයෙන් රැස්කරගත් සිතේ සකස්කරගන්නා අදහස් වලට උපාදානය වීම – විඥ්ඥානයට උපාදානය වීම යන මේවාය.
ඇවැත්නි, මේ සියල්ල සත්වයාට ගෙන දෙන්නේ දුකක්මයි. ඒ නිසයි කෙටියෙන් කිව්වොත් පඤ්ච ස්කන්ධයට උපාදානය වීම දුකක්ය කියා කියන්නේ..
ඇවැත්නි, මේ දුක්ඛ ආර්ය සත්‍යයයි කියනු ලැබේ”.
“ඇවැත්නි, දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යය කවරේද?
නැවත ඉපදීමක් ඇතිකරන, ඒ ඒ තැන කාමයන් කෙරෙහි සතුටින් ඇලෙන යම් ඒ ඇතිවන තණ්හාවයි.
ඒ කවරේද?
- කාම තණ්හාව -ඇස කණ නාසය දිව ශරීරය මනස පිනවීමට ඇති තණ්හාව
- භව තණ්හාව – තණ්හාවෙන් උපාදානය කරගත් කාම වස්තූන් අයිති කරගැනීමට හෝ ඒ ඒ කාමභෝගී අවස්ථාවන්ට පත්වීමට ඇති තණ්හාව
- විභව තණ්හාව – රාග ද්වේෂ මෝහයෙන් දුරු නොවී බාහිර කාම ලෝකයෙන් වෙන්වී පැවතීමට ඇති තණ්හාව
ඇවැත්නි, මේ දුක්ඛසමුදය ආර්ය සත්‍යයයි කියනු ලැබේ”.
“ඇවැත්නි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කවරේද?
ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන සියලු තණ්හාවන්ම ඉතිරිවීමක් නැතිව දුරලීමෙන් ඇතිවන යම් නිරෝධයක්, සංසිඳීමක්, අතහැරීමක්, මිදීමක්, බැඳීම් වලින් මිදී නිදහස් වීමක්, ඇළුම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියනු ලැබේ”.
“ඇවැත්නි, දුක්ඛ නිරෝධය පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය කවරේද?
- මේ නම් ආර්ය අෂ්ඨාඞගික මාර්ගයයි.
ඒ කවරේද?
සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි”
- “ඇවැත්නි කුමක්ද සම්මා දිට්ඨි?
දුක පිළිබඳ නුවණ,
දුක හටගැනීමට හේතු පිළිබඳ නුවණ,
දුක නැති කිරීම පිළිබඳ නුවණ,
දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නුවණ,
තමන් විසින්ම නුවණින් අවබෝධ කරගැනීමයි.
ඇවැත්නි මෙය සම්මා දිට්ඨිය යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා සංකප්ප?
ඇලීම්-බැඳීම් වලින් මිදීමේ අරමුණ හෝ අධිෂ්ඨානය,
ගැටීම්-ආඝාත නපුරු අදහස් වලින් මිදීමේ අරමුණ හෝ අධිෂ්ඨානය, කිසිවෙකුට හිංසා පීඩා නොකර සිටීමේ අරමුණ හෝ අධිෂ්ඨානය,
තමන් තුල ඇති කරගැනීමයි.
ඇවැත්නි මෙය සම්මා සංකප්ප යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා වාචා?
බොරු නොකියා සිටීම,
කේලාම් නොකියා සිටීම,
පරුෂ වචන නොකියා සිටීම,
හිස් වචන නොකියා සිටීම,
සඳහා තම වචනය සංවර කර ගැනීමයි.
ඇවැත්නි මෙය සම්මා වාචා යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා කම්මන්ත?
සතුන් මැරීමෙන් වැළකීම,
සොරකම් කිරීමෙන් වැළකීම,
කාම වස්තූන් වැරදි ආකාරයට පරිහරණය කිරීමෙන් වැළකීම,
සඳහා තම කය සංවර කර ගැනීමයි.
ඇවැත්නි මෙය සම්මා කම්මන්ත යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා ආජීව?
වැරදි සහගත ජීවන රටාවෙන් සහ වැරදි සහගත ජීවනෝපාය මාර්ගයෙන් වැළකී,
නිවැරදි සහගත ජීවන රටාවකින් සහ නිවැරදි සහගත ජීවනෝපාය මාර්ගයෙන් දිවි ගෙවීමයි.
ඇවැත්නි මෙය සම්මා ආජීව යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා වායාම?
- භික්ෂුව මෙතෙක් තමන් අතින් සිදු නොවූ වැරදි, පව්, අකුසල් ඉදිරියේදීත් සිදු නොවන්නට දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම
- මෙතෙක් තමා අතින් සිදුවූ වැරදි, පව්, අකුසල් වලින් දුරු වී, ඉදිරියේදීත් ඒවා සිදු නොවන්නටද දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන, ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම
- මෙතෙක් තමා විසින් ඇතිකර ගැනීමට නොහැකි වූ කුසල් ඉදිරියේදී ඇතිකර ගැනීමට දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන, ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම
- මෙතෙක් තමා විසින් ඇතිකර ගනු ලැබුවාවූ කුසල්, නැවතීම පිණිස-මුලා නොවීම පිණිස-බොහෝ සෙයින් සිත වඩවා ගැනීම පිණිස-මහත් බවට පත්වීම පිණිස-භාවනාව පරිපූර්ණය කිරීම පිණිස-යොදා ගෙන, දැඩි උවමනාවෙන් සිතේ බලවත් සේ කැමැත්ත උපදවාගෙන ඒ අනුව සිත පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීම
ඇවැත්නි මෙය සම්මා වායාම යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා සතිය?
- භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවා ගනිමින් කයේ යථා ස්වභාවය දෙස නුවණින් දකිමින් නුවණින් විමසා අවබෝධ කරගනිමින් වාසය කිරීම
- භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවා ගනිමින් දකින- අසන- දැනෙන- හැඟෙන- වේදනා වල යථා ස්වභාවය දෙස නුවණින් දකිමින් නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
- භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවාගනිමින් සිතේ යථා ස්වභාවය නුවණින් දකිමින් නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
- භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව දැඩි ලෝභය හා දෝමනස්සය දුරුකිරීම සඳහා සිහිය පිහිටුවාගනිමින් තමන් තුල පවතින ස්වභාවයේ යථා ස්වභාවය දෙස නුවණින් දකිමින් නුවණින් විමසමින් අවබෝධ කරගනිමින් වාසය කිරීම
ඇවැත්නි මෙය සම්මා සතිය යයි කියනු ලැබේ”.
- “ඇවැත්නි කුමක්ද සම්මා සමාධිය?
- මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පලවෙනි ධ්‍යානයට පැමිණ වාසය කිරීම
- විතර්ක විචාරයන් සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රසන්නවූ එකඟ වූ සිත් ඇතිව, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කිරීම
- සිහි නුවණ මනාව ඇතිව කායික සුවයෙන්ද යුක්ත වූ, සැප විහරණය ඇත්තේ යයි කියන යම් ධ්‍යානයක් ගැන ආර්යයෝ වර්ණනා කරත්ද, ඒ තුන්වන ධ්‍යානයේ උපෙක්ෂා සිත් ඇතිව මනා සිහියෙන් යුතුව වාසය කිරීම
- ඒ කී සැපයේද නොඇලී දුක් සමගද නොගැටී, පෙර හටගත් සොම්නස් සහ දොම්නස්ද අතහැර, සැපදුක් දෙඅන්තයේම නොඇලී, ඉතා පිරිසිදු සිහියෙන් උපේක්ෂා සහගත සිත් ඇතිව සතරවන ධ්‍යානයට සමවැදී වාසය කිරීම
ඇවැත්නි, මෙය සම්මා සමාධිය යයි කියනු ලැබේ”.
“ඇවැත්නි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ ඇති මිගදාය නම් වූ ස්ථානයේ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව අන් කිසිවෙකු විසිනුත් හෝ නොපැවැත්විය හැකි කිසිවෙකට සම කළ නොහැකි තරම් උතුම් වන “ධර්මයේ ආඥාව” පවත්වන ලදී.
එනම්, මේ චතුරාර්ය සත්‍යයන්ගේ ප්‍රකාශ කිරීමයි, දේශනා කිරීමයි, පැනවීමයි, පිහිටුවීමයි, විවරණය කිරීමයි, කොටස් වලට බෙදමින් විග්‍රහ කිරීමයි, පැහැදිලි කිරීමයි”.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය. සතුටු සිත් ඇත්තා වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ වචනය සතුටින් පිළිගත්තාහුය.