ප්‍රවර්ග
ඛුද්දක නිකාය

ආමගන්ධ සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-චූළ වග්ගය- බුදුන් වහන්සේගෙන් මස් මාංස ආහාර වැළඳීම පිලිබඳ අසනු ලැබූ ප්‍රශ්නයට, කාශ්‍යප බුදුන් දවස සිදුවූ සිද්ධියක් පෙන්වා දුන් සූත්‍රය බව සිහි තබා ගන්න.

“ඔබලා වැනි පැවිද්දන් පරිභෝජනය සඳහා, යහපතින් ලබාගන්නා ධාන්‍ය වර්ග, කොළ, මුල්, ගෙඩි යනාදී දේ පමණක්,
මානයකින් තොරව සිහියෙන් වලඳනවා. කැමති අකමැති දේ නිසා අසත්‍යය වචන ප්‍රකාශ කරන්නේ නැහැ.

මෙහි කාශ්‍යපයන් මානයකින් තොරව ගසක් මුල නැමී වාඩි වී සඟවන්නේත් නැතිව, අන්‍යයන් විසින් මනාව පිරිසිදුව, රසවත්ව සකස් කර දෙන ලද ඒ පිලී ආහාර වලඳනවා.

මා වැනි බ්‍රාහ්මණයෙකු විසින් මෙසේ ඔබට පිලී ගඳ ආහාර කැප නැහැ කියද්දීත්, මේ ගස මුල වාඩිවී, සඟවන්නේත් නැතුව මනාසේ පිළියෙළ කල ඝොෂ්ට කුක්කුට පක්ෂියාගේ මාංස වලඳන කාශ්‍යපයන් ගෙන් මේ විචාරන්නේ, ඒ පිලී ආහාර ඔබට කැප වූයේ කෙසේදැයි දැනගැනීමටයි”.

කාෂ්‍යප බුදුරජාණන් වහන්සේ:
ප්‍රාණ වදය-හිංසා කිරීම්-සිඳීම්-හිර කිරීම්-සොරකම-කපටි බව-රැවටිල්ල යන පහත් ක්‍රියා මෙන්ම අනුන්ට අයත් ගැහැණු හෝ පිරිමි සමග අනියම් සම්බන්ධකම් ඇතිකරගැනීමට ආශා කරන ආකල්ප යන වැරදි පිලිවෙත් තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

කාමයන්හි ඇලී රස තෘෂ්ණාවේ ගිජුවන නොහික්මුණු ජනයාගේ අපිරිසිදු පහත් ස්වභාවයද, පුනරුප්පත්තිය හා කර්මවිපාක නොපිලිගන්නා මිත්‍යා දෘෂ්ටියද, කොතරම් පැහැදිලි කරත් අවබෝධ කරවීමට නොහැකි වන විෂම නපුරු අදහස් ඇති රළු බවද, යන වැරදි පිලිවෙත් තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

ඉදිරිපිටදී ගුණ කියා පිටුපා ගියපසු නුගුණ කියන නපුරු රළු ගතියද, මිත්‍රද්‍රෝහී වීමද, අධික මානය නිසා කරුණාවන්ත නොවීමද,
සිල්වතුන්ට දන් දීම් ආදියෙන් උපස්ථාන නොකිරීමද, යන වැරදි පිලිවෙත් තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

සිතේ තද ගතිය නිසා කෝපය සහිත බව සහ සිහියෙන් තොර බව ඇති වීමද, නැති හිතවත් කම් ඇති සේ පෙන්වීම-තමන් ළඟ නැති හොඳ ගුණ ඇති සේ පෙන්වීම-ඊර්ෂ්‍යා කාරී වීම-නිතර දෙඩවීම යන මේ පහත් ගති ද, මාන්නය හා අති මාන්නය ද, අසත් පුරුෂ ආශ්‍රය ද, යන වැරදි පිලිවෙත් තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

දුස්ශීල බව නිසා පාපී ක්‍රියා කරමින් ණය වීමට සිදුවීමද, එසේ විපතට පත්වීම නිසා ඒ අධම මිනිසුන් කරන කේලාම් කීම්- වංචාකාරී ලෙස කරන කපටි වෙළඳාම් යන ඒ අපරාධ තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

තම ජීවිතය හික්මවා නොගැනීම නිසා අන්‍යන්ට පීඩා වන අයුරින් ඔවුන් ඉදිරියේ නොසන්සුන්ව හැසිරීම,
දුසිල්වත්, නපුරු, දඩබ්බර බව සහ අන්‍යයන්ට ගරු නොකිරීම, වැනි වැරදි පිලිවෙත් තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

විරුද්ධවාදීන් නැසීමට දැඩි කැමති ඇති බවද, පරලොවෙහිදීත් තමා වෙනස් නොවෙනවා යයි ඇති අවිද්‍යාවද, කම්පා වෙමින් ගතකිරීමට සිදුවන නිරයට වැටීමට හේතුවන ලෝභ-ද්වේෂ සිතිවිලි වලින් යුක්ත වීමද, තමයි පිලී ගඳ වන්නේ, එහෙම නැතුව මාංශ ආහාර නෙවි.

මත්ස මාංශ අනුභවයෙන් වැලකීම්, වස්ත්‍ර රහිතව නග්නව සිටීම්, හිසකෙස් මුඩු කිරීම්, හිස් වැසුම් පැළඳීම්, දියේ බැස සිටීම්, අඳුන් දිවි සමෙන් කල රළු ඇඳුම් දැරීම්, යාග හෝම ගිනි පිදීම්, යන බොහෝ තැවීම් සිදුකරමින් කරන තපස් ක්‍රියා, සත්වයාට මරණයෙන් ගැලවෙන්න උපකාර වෙන්නේ නැහැ.
ප්‍ර‍ඥාව අනුව ඇතිකරගන්නා යම් ඒ මිදීම නිසා පිරිසිදු වන මනුෂ්‍යයා එතර වන බවට කිසිදු සැකයක් නැහැ.

ඉන්ද්‍රියයන්ට අරමුණු වන රූප නිසා හටගන්නා කෙලෙස් වල ආශ්වාදයත්- ආදීනවයත් අවබෝධකරගෙන තම ඉන්ද්‍රියයන් සංවර කරගනිමින් හැසිරෙන, මෘදු ගතිගුණ ඇති, ඍජු අරමුණක් ඇති, ධර්මයට අනුව වාසය කරමින්, ඇලීම් බැඳීම් දුරු කර සියලු දුක් වලින් මිදෙන, ඒ ප්‍රඥාවන්තයා තමන් අසන දකින දේ කෙරෙහි නොඇලේ.

එසේ නම්, අවබෝධයෙන් පරතෙරට යාම සඳහා අතීත වර්තමාන අනාගත බුදුවරු නැවත නැවත දේශනා කරන මේ ධර්මය දැන අවබෝධ කරගන්න.
අවබෝධ කරගැනීමට අපහසු දේ අවබෝධ කල, තෘෂ්ණා-දෘෂ්ටින් ආශ්‍රය නොකළ, පිලී ගඳ ඇති කරන දේ දුරු කල, ඒ බුදු රජ විසින් විසිතුරු වූ ඒ ධර්ම පද වැල ප්‍රකාශ කල සේක.

තමන් තුල පවතින පිලී ගඳ ඇති තණ්හා-දෘෂ්ඨි-මාන නැති කර, සියලු දුක් දුරු කරන, බුදු රජුන් විසින් මනාසේ දේශනා කල එම ධර්ම පද අසා ඒ පහත් සිත් ඇත්තා, තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කර, එතනදීම පැවිදි බවට පත්වීමට කැමති වුනේය.