ප්‍රවර්ග
ඛුද්දක නිකාය

කසීභාරද්වාජ සූත්‍රය

ඛුද්දක නිකායේ-සුත්ත නිපාත පාළි-උරග වග්ගය-කසීභාරද්වාජ සූත්‍රයේ, බුදුන් වහන්සේ සහ භාරද්වාජ බමුණා අතර සිදුවූ සංවාද කොටස පමණක් බව සිහි තබා ගන්න.

භාරද්වාජ

  1. ගොවිතැන් කරනවා කිව්වත්, ඒ කෘෂි උපකරණ නම් දකින්න ලැබෙන්නේ නැහැ.
    කෘෂි උපකරණ පෙනෙන්න නැති නිසා තමයි,
    මේ විචාරන්නේ ඔබේ ගොවිතැන ගැන දැනගැනීමට.

බුදුන් වහන්සේ

  1. මගේ ප්‍රඥාව නමැති නගුල සහ වියගස භාවිතා කරමින්, සී සා සකස් කරගන්නා මම කියන කුඹුරේ, ශ්‍රද්ධාව නමැති බීජය සිටුවා, මගේ බ්‍රහ්මචරිය ශීලය නමැති වැසිවතුරෙන් ඒ ගොයමට ජලය සපයනවා. ඒ නගුලිස් දණ්ඩ අතින් පාලනය කරමින් නිවැරදි දිශාව ඔස්සේ නගුල හසුරවන්නා සේ, පවට ඇති ලැජ්ජාව, මා යායුතු නිවැරදි දිශාව දෙස මාව යොමු කරනවා. විය දණ්ඩත්, ගවයනුත් ලනුව මගින් එකට බැඳ තබන්නා සේ, මගේ වීර්යයත් ප්‍රඥාවත් දෙක එකට බැඳ තැබීම සිත මගින් සිදු කෙරෙනවා. ඒ ගොනුන් දෙදෙනා මෙහෙයවීමට කෙවිට පාවිච්චි කරන්නා සේ, මගේ එකඟ කරගත් සිහිය මගේ අධිෂ්ඨානය කරා මාව මෙහෙයවනවා.
  2. කය සංවර කරගනිමින්, වචනය සංවර කරගනිමින්, කුසට අවශ්‍ය තරමට පමණක් ආහාර ගනිමින් හික්මෙමින්, සංසාරයෙන් මිදී නිදහස් වීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම තමයි, මගේ ගොවිතැන් කිරීම වන්නේ.
  3. නගුලෙහි බැඳ සිටින ශක්තිමත් වෘෂභයන් සේ මා තුල ඇතිකරගත් දැඩි වීර්යයත්-ඉවසීමත්, මා හට කෙලෙස් වලින් මිදීම සඳහා උපකාරී වෙනවා. දැඩි වීර්යයෙන්, ඉවසීමෙන් නොනවතිමින් ගොස් ශෝක නොකර සිටිය හැකි ‘නිවණ’ නැමැති උතුම් තැනට මම එළඹුනා.
  4. වී අස්වැන්න හෙවත් මේ අමුර්ත ඵලය වන නිවණ ලබාගැනීමට සමර්ථ වීම සඳහා මම කල ගොවිතැනට භාවිතා කල මගේ කෘෂි උපකරණ අට තමයි, බ්‍රහ්මචරිය ශීලය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, පවට ඇති ලැජ්ජාව, සිත, සිහිය, වීර්යය සහ ඉවසීම.

මේ උපකරණ භාවිතා කර ගොවිතැන් කර නෙලාගත් අස්වැන්න වන සාක්ෂාත් කරගත් චතුරාර්ය සත්‍යය අවබෝධය හෙවත් නිවණ, මාව සියලු දුකින් නිදහස් කරා.

මෙම සංවාදය ඇතිකරගත් භාරද්වාජ බමුණාට මාර්ග ඵල අවබෝධ කරගැනීමට තරම් කුසල් ඇති බව දිවසින් දුටු බුදුරජාණන්  වහන්සේ, ඔහු සීසාමින් සිටි කුඹුරට වැඩියේ පිණ්ඩපාතය ලබා ගැනීමට බව අඟවමිනි. බුදුන් වහන්සේ දුටු භාරද්වාජ, කෝපයෙන් උන්වහන්සේට බැන වැදුනේ “ඔය තරම් හොඳට ඇඟ පත තියාගෙනත් ඇයි හිඟා කන්නේ, මේ මම වගේ ඇඟ පත වෙහෙසල, ගොවිතැන කරලා, සීසෑම් කරලා, තමන්ට බැරිද කෑම වේල හොයා ගන්න” යයි, අසමින්.

එවිට බුදුන් වහන්සේ පවසනවා, මමත් ගොවිතැන් කරනවා යනුවෙන්. ඒ අවස්ථාවේ තමයි භාරද්වාජ අහන්නේ “මට නම් පෙන්නේ නැහැ, ඔබ ගොවිතැන් කරන බවක්. මට නම් පෙන්නේ නැහැ, ඔබ ළඟ කෘෂි උපකරණ තියන බවක්” යනුවෙන්.

එතැන් සිට මේ ඉහත දැක්වෙන සංවාදය ඇතිවෙනවා. බුදුන් වහන්සේ, ගොවිතැන ආශ්‍රය කර ගනිමින් මේ පෙන්වා දුන් ගැඹුරු ධර්ම කරුණ වටහා ගැනීමට තරම්, මේ භාරද්වාජ ප්‍රඥාවන්ත වෙනවා.

මේ නිසා ඔහු බුදුන් වහන්සේට වහාම දානය පූජා කරනවා. ඒ අවස්ථාවේදී තමයි, බුදුන් වහන්සේ මේ පහත දැක්වෙන දේශනාව සිදුකරන්නේ. 
  1. ලාභ ලැබීමේ අරමුණෙන්, ධර්මය පවසා, ලබා ගන්න ආහාර මට කැප නැහැ, ප්‍රඥාවන්තයා ඒ ධර්මය ඒ ආකාරයට සලකන්නේ නැහැ.
    විපතට වැටෙන්න නොදී රක්නා චෛතසිකය ඇති බුදු වරු, ලාබ සත්කාර ලැබීම සඳහා ධර්මය දේශනා කිරීම දුරු කළ, යහපත් උසස් පැවතුම් ඇති අයයි.
  2. කාම ලෝකයේ සියල්ල අතහැර සියලු කෙලෙස් දුරු කර, පසුතැවිලි සංසිඳවා හුදකලාව වාසය කරන මේ බුදුවරු මෙන්ම රහතන් වහන්සේලාද, පින් වපුරාගත හැකි කෙත් බඳු වන්නේ,
    ඒ උතුම් සිල්වතුන්ට පුජාකරන ආහාර පාන සහ ඇප උපස්ථාන වලින්, දායකයාට රැස් කරගත හැකි පුණ්‍ය සම්භාරය අප්‍රමාණ වන නිසාය.