ප්‍රවර්ග
ඛුද්දක නිකාය

තිරොකුට්ට සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- දුකෙන් පෙළෙමින් කම්පා වෙමින්, දුකම වාසස්ථානය කරගත්තාවූ තැනැත්තා ගැන සිදුකල බුද්ධ දේශනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

මනුෂ්‍ය උප්පත්තියක් ලබා සිටි ඒ ඔහුගේ මරණයෙන් පසු, ඒ මනුෂ්‍ය ජීවිතයේදී සිදුකරන ලද අකුසල්, පවුකම් හේතුකොට ගෙන, දුකින් කම්පා වෙන, දුකින් ශෝක කරන, දුකින් පෙලෙන, දුකම වාසස්ථානය කරගත්තා වූ ප්‍රේත භවයක උප්පත්තිය ලද ඒ මල ගිය තැනැත්තා හෝ තැනැත්තිය, ඔහුගේ පෙරභවයේ නිවසට එන මං හන්දි වලද, හතරමං හන්දිවලද, ගෙදර දොරකඩ ලඟද ඇවිත් ඉන්නවා. තමන්ගේ ගෙදරට අවුත් උළුවහු ළඟ ඉන්නවා.

ඔහුගේ නෑයන්ට කෑමට බීමට ආහාරපානා දී බොහෝ දේ තිබුනත්,
ඒ ඔහු විසින් අතීතයේ සිදුකරන ලද අයහපත් කර්ම නිසා, ඒ නෑයන්ට ඔහු සිහිකර පින් දහම් කරන්න හිතෙන්නේ නැහැ.

යම් ඤාතියෙක්, එවැනි වූ මල ගිය කෙනෙක් සිහිපත් කර අනුකම්පාවෙන්
පිරිසිදු වූ සිතින් ප්‍රනීත ආහාර පාන, ඒ සුදුසු වූ (සිල්වත් වූ) කෙනෙකුට දන් දීම් සිදුකරන විට,

ඒ සිල්වත් උතුමන්ලා, මෙසේ ඒ පින් අනුමෝදන් කරනවා,
“මේ තොපගේ ඤාතීනට යහපතක් වේවා, ඒ ඤාතීන් සැපවත් ඇත්තෝ වෙත්වා” යනුවෙන්.
ඒ මලගිය ඤාතීන් ද එතනට පැමිණ එක්රැස් වී, ජීවත්ව ඉන්නා නෑයන් විසින් සිල්වත් උතුමන්ලාහට පූජා කල බොහෝ ආහාර පාන, මනාසේ සතුටු සිතින් අනුමෝදන් වෙනවා.

ඒ මලගිය ඤාතියා හෝ මලගිය ඤාතීන් එතනට පැමිණ එක්රැස් වී, ඒ පූජා කල බොහෝ ආහාර පාන, මනාසේ සතුටු සිතින් අනුමෝදන් වී මහත් ලාභයක් ලබනවා සේම,
“අපේ ඤාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරමු” යයි,
කළගුණ සැලකීමක් ලෙස අනුකම්පාවෙන් දානය පිරිනමන ඒ දායකයාටත්, ඒ කරන ක්‍රියාව නිෂ්ඵල වෙන්නේ නැහැ.

ඒ ප්‍රේත ලෝකයේ සී සෑම-ගව පාලනය-වෙළඳාම-රන් රිදී මිල මුදල් ගනු දෙනු, වැනි යැපීමට අවශ්‍ය දේ උපයාගැනීමට කිසිදු ක්‍රමයක් ඇත්තේ නැහැ.
එසේ ඒ ප්‍රේත අවස්ථාවෙහි සිටින තැනැත්තා හෝ තැනැත්තියගේ ජීවත්ව සිටින නෑ මිත්‍රයන් විසින්, ඒ මියගිය තැනැත්තා හෝ තැනැත්තිය සිහිකර, සිල්වත් ඇත්තෙකුට පිරිනමන දානයකින් තමයි, ඒ ප්‍රේතයා යැපෙන්නේ.

වර්ෂා ජලය අහසේ සිට පොලවට පතිත වීමෙන් වියලි වී ගිය පොලව තෙත් වී, ප්‍රාණවත් වෙන්නේ යම් සේද, ජීවත්ව සිටින අය විසින් තම මිය ගිය අය සිහිකර සිල්වත් ඇත්තන් වෙනුවෙන් සිදුකරන ආහාර පාන දන්දීම නිසා තමයි, කිසිවක් කර කියාගත නොහැකි ප්‍රේත අවස්ථාවේ සිටින මල ගිය අයට යැපීමට අවශ්‍ය දේ ලැබෙන්නේ.

යම් සේ නොයෙක් දෙසින් ගලා එන කුඩා අතු ගංගා වලින්-දිය පහර වලින්-ගංගා වලින් එන ජලය, මහා සාගරය පුරවන්නා සේ, මෙසේ වරින් වර ජීවත් වී සිටින අය විසින් කල ගුණ සලකා, මල ගිය ඥාතීන් සිහිපත් කර සිදුකරනු ලබන ආහාර පානා දී දේ දන් දීම් නිසා තමයි, ඒ ප්‍රේත අවස්ථාවේ සිටින මල ගිය කෙනාට මහත් උපකාර සැලසෙන්නේ.

“මට මෙසේ පිහිට වුනේය”, “මට මෙසේ උපකාර කළේය” යනුවෙන් ඒ මලගිය අයගේ මනුස්ස ලෝකයේ සිටින ඤාති හිතවතුන්, මිතුරන්
ඔහු වෙනුවෙන් ආහාර පානාදිය දන්දීම කල යුතුයි.

හඬමින්, ශෝක කරමින්, කෑ ගසා වැලපෙමින්, ඥාතීන් සිදුකරන නිෂ්ඵල ක්‍රියාවලින් දුක් සහිත අවස්ථාවේ සිටින මලගිය ඤාතියාට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

ඒ මියගිය අය සිහිකර මනාසේ දාන වස්තූන් සකසා, ශීල සංවරයෙහි පිහිටියා වූ සංඝයාට පිරිනමන දානය හේතුකර ගෙන, ඒ මියගිය ඤාතියාට බොහෝ කාලයකට හිත සුව පිණිස යහපත සැලසෙනවා.

මියගිය අය සිහිකර තමන්ගේ සිත පහදවාගෙන භික්ෂූන් වෙනුවෙන් සකසා පිරිනමන දානාදී පින්කම් වල ආනුභාවයෙන් ඔබලා විසින්ද රැස් කරගන්නා වූ පින, මහත් ඵල මහා ආනිශංස වෙනවා.