ප්‍රවර්ග
ඛුද්දක නිකාය

නාලක සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-මහා වග්ගය- අසිත තවුසා සිදුහත් කුමරු දැකීමට ගිය සිද්ධියත්, ඔහුගේ බෑණා වන නාලක තවුසා බුදුන් වහන්සේ හමුවීමට ගොස් ධර්මය අසා දැනගැනීම ගැනත් සඳහන් සූත්‍රය බව සිහි තබාගන්න.

දිනක් මධ්‍යහන විවේකයෙන් ඉන්නා අසිත ඉර්ෂිවරයාට, දිව්‍ය ලෝක වලට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු පිරිසිදු අලංකාර වස්ත්‍ර වලින් සැරසුණු, තව්තිසා වැසි දෙවියන් සමූහයක්, විසිතුරු නානා වර්ණ වස්ත්‍ර අතැතිව ස්තුති ප්‍රශස්ත්‍ර ගයමින් ඉතා සතුටු වෙන අයුරු දිවැසින් දකින්නට ලැබුණා.

ඉන්පසු “ඇයි මේ සමුර්ධිමත් දේව සමූහය, මේ තරම් ප්‍රීතියකින් ඔද වැඩී සතුටින් පිනායමින්, සිතේ හටගත් අසාමාන්‍ය උද්දාමයකින්, මේ විසිතුරු වස්ත්‍ර වනමින් සතුටු වන්නේ?” යයි සිතන්නට වුනා.

සුර අසුර යුද්ධයේදී අසුරන් පරදවා දෙවියන් ජය ලැබූ, එවැනි වූ ඉෂ්ඨාර්ත අවස්ථාවේදී පවා, මොවුන් මෙතරම් සතුටක් විඳිනු නොඇසුවෙමි.
එකල එලෙස එසේ වීත්, අද මේ තරම් ලොමු දැහැගැන්වෙන තරම් සතුටින් ඉපිලෙනු පෙනෙන්නේ කුමන ආශ්චර්යයක් සිදු වීම නිසා දැයි, විපිළිසර වීමට පටන්ගත්තා.

“මහමෙර මුදුනේ වාසය කරන ඔබලා මේ තරම් මනරම් ලෙස ගයමින්ද, වයමින්ද, අත්පුඩි ගසමින්ද, නටමින්ද, සිටීමට තරම් හේතුව ඔබලාගෙන් මම මේ විමසන්නේ, මගේ හිතේ මේ ඇති වී තිබෙන කුතුහලය වහා විසඳා ගන්නටයි” යනුවෙන් ඔහු දෙවියන්ගෙන් ඇසුවා.

“කිසිවෙක් හා සමකල නොහැකි උත්තම රත්නයක් වන බෝධිසත්ව තෙමේ ලෝකයාට හිතසුව පිණිස මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඒ දක්ෂ වූ හෙතෙම, ලුම්බිණි ජනපදයේ ශාක්‍යයන්ගේ ග්‍රාමයේ ඉතා සතුටින් උපන්නා”.

“සියලු සත්වයන්ටම වඩා උතුම් වූද, ශ්‍රේෂ්ඨ වූද, අති උතුම් ඒ මිනිසා, සියලු ලෝකය ගැන අවබෝධකරගෙන ලෝකයෙන් මිදෙන්නේය.
සිංහයන්ගේ භූමියක සිටින බලවත් සිංහයෙක් සිංහ නාදය කරන්නා සේ, ඒ උත්තමයා ඉතා පවිත්‍ර වූ ආඥා බලය පතුරවන්නේය”.

එකෙනෙහිම ඒ ඇසුණු දේත් සමග ඉතා ඉක්මණින් හෙතෙම, අමාවක දින සුද්ධෝදන රජුගේ මාලිගාවට එළඹියේය.
අසුන් ගත් අසිත ඉර්ෂිවරයා ශාක්‍ය රජුට මෙසේ කීවේය. “කුමාරයා කොහිද? මම දකින්න කැමතියි” කියා.

ඉක්බිතිව, දක්ෂ රන්කරුවෙක් විසින් ශුද්ධ කර හොඳින් ගිනියම් කර වූ උදුනක් සේ මනා පැහැයෙන් බැබලෙන මනස්කාන්ත රූප සෝභාවෙන් යුතු, අලංකාර හිස් වැසුමක් පළඳවා හුන්, ඒ උතුම් පුත් කුමරා ශාක්‍ය රජු විසින් අසිත තාපසයාට පෙන්නුවා.

ගිනි පලිඟුවක් සේ බැබලෙන, පිරිසිදු වූ අහසේ පෑයූ චන්ද්‍රයා සේ බබලන, සරත් ඉර්තුවේ වලාකුළු නැති අහසේ පෑයූ සූර්යයා සේ බබලන, මනස්කාන්ත රූ සෝභාවෙන් යුතු කුමරා දැක, මේ අසිත තව්සාට විශාල සතුටක් හට ගත්තා, මහත්වූ නිර්මල ප්‍රීතියක් හදවතේ ඇතිවුනා.

නොයෙක් පැතිරුණු දහසක් දේව මණ්ඩල කුඩ සේසත් චාමර දරාගෙන, නා නා වර්ණ වස්ත්‍ර වලින් සැරසී ගෙන අහසෙහි සිට, අලංකාර වර්ණයන් ගෙන් වර්ණවත් වූ මිට ඇති, සෙමෙර වලිග සෙමෙන් සෙමෙන් සොලවමින්, කුමරුන්හට සතුට ප්‍රකාශ කළා. ඒ සෙලවෙන කොඩි හා චාමර අතින් අල්ලාගෙන සිටින අය නොපෙනෙන තරමටම කොඩි, සේසත්, චාමර, අහස පුරා පිරී තිබුනා.

මේ ජටාවක් පැලඳී කළු ශ්‍රියාමත් ඉසිවරයා, විශාල රන් කාසියක් සේ පෙනෙන ශක්‍ර දෙවේන්ද්‍රයාගේ ආසනයත්, ඉහලින් සුදු පැහැති කොඩි දරා ගෙන සිටින දෙවියනුත්, දැක ඔද වැඩි ගිය ප්‍රීතියකින් ඒ ශක්‍ර දෙවිඳුන් ඇතුළු දෙවියන්ට සතුට ප්‍රකාශ කළා.

ශාක්‍ය වංශොත්තමයා පිළිගැනීමෙන් අනතුරුව, ලක්ෂණ ශාස්ත්‍රයේ පරතෙරට ගිය අසිත තවුසාහට ජයග්‍රාහී හැඟීමක් ඇතිවුනා.
පහන් වූ සිත් ඇතිව වචනයෙන් ඔහු මෙසේ මහත් කොට ශබ්ද නගා පැවසුවා, “දෙපා සත්වයන් හික්මවමින් උසස් තත්වයට පත්කරන, කිසිවෙකුට සම කල නොහැකි ශ්‍රේෂ්ඨයෙක්”යනුවෙන්.

ඉක්බිතිව, තම මනුෂ්‍ය ජීවිතයේ ඉතිරි වී ඇති කාලය ඉතා කෙටි බවත්, තමා මේ උත්තම පුරුෂයා මුණගැසීමට අසමර්ථ වන බවත් සිහිවී, අමනාපයෙන් කඳුළු වගුරන්න පටන් ගත්තා.
සුද්ධෝදන ශාක්‍යයා, ඉසිවරයාගේ ඇඬීම, කියවීම දැක “ඉදින් කුමාරයාට අනතුරක් නැහැ නේද” යයි ඇසුවා.

සුද්ධෝදන ශාක්‍යයා තමාගේ, ශෝක කිරීම දුටු බව දැනගත් ඉසිවරයා, “මම කුමාරයාට අහිතක් නපුරක් ඇතැයි නොකියමි”.
“සුළඟකින් වත් අන්තරායක් වන්නේ නැහැ, සුළුකොට තැකිය නොහැකි උසස් නුවණක් ඇති කෙනෙක්”

“සර්වඥතා ඥානය ලබා, නිර්වාණය ලබාගැනීමෙන් අග්‍ර බවට පත්වෙනවා. පරම විසුද්ධියට පත්වෙන ධර්මයේ ආඥා බලය පතුරනවා. බොහෝ ජනයාගේ හිත සුව පිණිස අනුකම්පාවෙන්, මේ අවබෝධ කරගත් ධර්මය නොසිඳ පවත්වාගෙන යනවා. බ්‍රහ්ම චරියාව සිදුකල යුතු ආකාරය විස්තර කරනවා”

“මගේ ආයුෂ තව වැඩි කාලයක් ඉතිරි වෙලා නැහැ, මම මේ කාලය අතර කලුරිය කරනවා. මට ඔහුගේ මේ විශේෂ වූ වටිනා ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. එහෙයින් මට මම ගැන දැනෙන්නේ, විනාශයක් විසින් මාව මැඩ ගන්නා බවත්, මම විපතට පත් වූ තැනැත්තෙක් බවත්, විදියට” යයි අසිත තව්සා ඉතා කණගාටුවෙන් කීවා.

ඒ බ්‍රහ්මචර්යාව ඇත්තා වූ හෙතෙම, ශාක්‍ය වංශිකයන්ට මහත් සතුටක් උපද්දවා, ඇතුළු නුවර රජ ගෙයින් බැහැර වුණා.
එසේ පිටවූ ඔහු, ඔහුගේ සොහොයුරාගේ පුතා ගැන සිහිවී, ඔහු ගැන අනුකම්පාවෙන් ‘ඔහුව මේ අනාගතයේ පහල වීමට සිටින මහෝත්තමයාගේ ධර්ම විනයෙහි හික්මවීමට සැලැස්ස විය යුතු’ යයි සිතා ඒ බෑනා හමුවීමට ගියා.

එසේ ගොස් ඔහුගේ බෑනා වන, නාලක නම් පුරුෂයා මුණගැසී මෙසේ පැවසුවා “සම්බෝධිය නොහොත් සත්‍ය අවබෝධය තම නුවණින්ම අවබෝධ කරගෙන, ඒ මාර්ග සත්‍යය ලෝක සත්වයාට පෙන්නා දෙන්නා වූ බුදුවරයෙක් පහල වී ඇතැයි යන්න කවදා හෝ කාගෙන් හෝ ඇහෙන තෙක් විමසිල්ලෙන් සිට, එකල්හි එහි ගොස් හොඳින් විමසා අසා දැනගෙන යහපත් බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්න” යනුවෙන්.

මෙතෙක් රැස් කරගත් කුසල සම්භාරය හේතුකොට ගෙන, ඒ නාලක තෙමේ තම යහපත වෙනුවෙන් කරනු ලැබූ ඒ අනුශාසනාව පිළිගෙන, අනාගත කාලයේදී ඒ උතුම් නිර්මල ධර්මයේ අවබෝධය ලබා ගැනීමේ අරමුණෙන්, එතැන් සිට බුදු වරයා දැකීම පිණිස, රැකගත් ඉඳුරන් ඇති තපස් ජීවිතයක් ගතකරමින් වාසය කළේය.

‘බුදුවරයා පහල වී ආඥා බලය පැවැත්වුවා’ යයි, යන ජනයාගේ වචන අසා නාලක තව්සා බුදුන් දැකීමට ගියේය.
ශ්‍රේෂ්ඨ උසස් හික්මීමක් ඇති, උතුම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ දැක ඇතිවූ අප්‍රමාණ චිත්ත ප්‍රසාදය නිසා, මෙතෙක් වෙලා කිසිවක් නොවිමසා සිටි නාලක තවුසා, අසිත තාපස නම් වූ තම මාමාගේ අවවාදයේ පිලිපදිමින්, භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරුවේය.

“අසිත නම් වූ ඒ තාපසයාගෙන් ඔබ ගැන මා අසා දැනගත්, ඒ සත්‍ය වූ වචනයේ ආකාරයටම, සියලු ධර්මයේම පරතෙරට ගිය ගෞතමයෙනි, මම ඔබගෙන් මෙසේ විමසා දැන ගනු කැමැත්තෙමි”.

“ගිහිගෙයින් නික්ම බ්‍රහ්ම චරියාවට එළඹුණු, ලැබෙන ආහාරය පිණිස පිණ්ඩපාතයේ හැසිරෙන, පැවිද්දෙක් විසින් ඇති කර ගත යුතු උසස් හික්මීමක් සඳහා අතිශයින් වැඩිය යුතු උතුම් පියවර කුමක්දැයි, මම ඔබගෙන් විචාරමි”.

බුදුරජාණන් වහන්සේ:

“පැවිද්දෙක් හෝ ආර්ය පුද්ගලයෙක් විසින් දැනගතයුතු, කර්කෂ උත්පත්තිය ඒකාන්තයෙන් වලක්වන ඒ උතුම් හික්මීම, දුෂ්කර-ඉවසිය නොහැකි එකක් යයි, මම ප්‍රකාශ නොකරමි.

ගමේ තමන්ට නින්දා කරන, ගරු සැලකිලි කරන, හැමෝටම එක සමාන අයුරින් සලකන්න. සිත දූෂණය වීමෙන් ආරක්ෂා කර ගන්න.
‘මමය’ යන මාන්නයෙන් තොරව සංසුන්ව හැසිරෙන්න.

ලොකු කුඩා පරිත්‍යාග ලැබෙන විට ගින්දරකට උපමා කර හැසිරෙන්න.
පැවිද්දා ස්ත්‍රිය කෙරෙහි ආසාවක් ඇති වන විටම, ඒ ආසාව වලකා නිවාරණය කරගන්න.

මෛථුනයෙන් වැලකෙමින්, තමන්ට එකඟ වන හෝ කාමයෙහි ගිජු නොවූ හෝ කෙලෙස් බරිත වූ හෝ කෙලෙස් ප්‍රහීණ කල හෝ අන් ප්‍රාණීන් කෙරෙහි ඇති කාමය දුරු කරන්න.

“මම හිංසා විඳීමට කැමති නැහැ, කටුක නපුරු විඳීම් වලට කැමති නැහැ, මට හෝ මගේ කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් හිමි වෙනවට මම කැමති නැහැ” යනුවෙන් ඔබ සිතන්නේ නම්,
එසේ ඒ ආකාරයෙන්ම අන් අය වෙතද උපමා කොට, හිංසා පීඩා කිරීමෙන් වලකින්න, ප්‍රාණ ඝාතයෙන් වලකින්න.

කෙලෙස් සහිත සසරේ ඇලුණු සත්වයන් තුල ඇති යම් ආශාවක්, ලෝභයක්, තමා වෙත ඇත්නම් ඒවා බැහැර කිරීම, නිරයෙන් එතෙර වීමට අවශ්‍ය නුවණැත්තෙක් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපදාවයි.

පමණට වඩා ආහාර වලින් උදරය පුරවා නොගැනීමත්, ප්‍ර‍මාණය දැන ආහාර ගැනීමත්, ලද දෙයකින් සතුටු වන සුළු වීමත්, කෑමට ලොල් නැති වීමත්, ආශාව අනුව කෑම නොසෙවීමත්, කැමති වීම් ඇතිවෙන හැමකල්හිම ඒවා දුරු කිරීමත්, යන ඒ පිළිවෙත්, තෘෂ්ණාව මුළුමනින් සංසිඳ වූ නිවණට පත්කිරීම සිදුකරවයි.

පිඬු පිණිස ගමෙහි හැසිරෙන ඒ පැවිද්දා, වන කෙළවර ඇති ගස් මුලක් වෙත පැමිණ ආසනයක් සකස් කර හිඳ ගන්නවා.

වන කෙළවර ගසක් මුලක හිඳ ඒ භාවනාවේ යෙදෙන ප්‍රඥා වන්තයා, තමාව හික්මවා ගැනීම සඳහා මහත් සතුටින් තමන් ගැන පරීක්ෂා කරමින් නැවත නැවත නුවණින් සිතා බලමින් වාසය කරනවා.

එතැන් පටන් රාත්‍රිය නිමාවී, නැවත පෙරවරු කාලයේ පිණ්ඩ පාතය පිණිස ගමට යන ඔහු, ගමෙන් ලැබෙන ගෞරව සැලකිලි කෙරෙහි නොඇලෙන්ට සිහියෙන් කටයුතු කරනවා.

පෘතග්ජන ස්වභාවය ඇති ගම සමග අවබෝධයෙන් කටයුතු කරමින්, නෑ හිතවත් යන බැඳීමෙන් වහා ඉවත්වී හැසිරීමෙන්,
උඹ-බං-බොලව්- යන වචන තබා පයුරු පාසානම්වලට අනුබල දෙන කතා බහෙන්ද වැලකෙමින්, ආහාර සෙවීමට පමණක් ගමෙහි හැසිරෙනවා.

ලැබෙන දෙයින් සෑහීමකට පත්වීමටත්, නොලැබුණා යයි කම්පා නොවී සිටීමටත්, දක්ෂ වන ඒ දෙආකාරම ගුණයෙන් යුතු වූ ඔහු, පිණ්ඩපාතයෙන් පසු නැවත ගස මුලටම පෙරලා පැමිණෙනවා.

වචනය සංවර කරගනිමින්, තමා සතු පාත්‍රය අත ඇතිව සිහි එළඹවාගෙන ගමෙහි හැසිරෙන ඒ පැවිද්දා, අල්ප වූ ආහාරයක් ලදොත් එය හෙලා නොදැකීමටද, එයට හෝ එය පරිත්‍යාග කල තැනැත්තාට අවමන් නොකර සිටීමටද, තරම් සිත පුරුදු කරගනිමින් නුවණින් වාසය කරනවා.

ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, සැප-දුක, යස-අයස යන ලෝක ධර්මතාවයන් යන අන්ත දෙකෙහිම, ශ්‍රමණයෙකු හෝ ආර්ය පුද්ගලයෙකු නොඇලිය යුතු බව දේශනා කර තිබෙන්නේ, ඒ අන්ත දෙකෙන්ම දුකෙන් මිදීමට නොහැකි වන නිසයි. ඒ නිසා, මේ එකදු හෝ අන්තයක් ස්පර්ශ නොකළ යුතු වනවා.
මෙසේ ඇලීම් ගැටීම් වලින් මිදෙමින්, තම සිතට කෙලෙස් ඇතුල් වීමට ඉඩ නොතබාගන්නා භික්ෂුව, කෙලෙස් සංසිඳවමින් වාසය කරනවා.

කුඩා වූ හෝ මහත් වූ හෝ ලෞකික කටයුතු අත්හැරීමෙන් සිහියෙන් යුතුව වාසය කරන ඒ ඔහු, අවමන්-ගැරහුම් වලට ලක්වීම දකින්නට ලැබෙන්නේ නැහැ.

කාමය දැලි පිහිය මුවහතකට උපමා කර, තම සිත තුල ඇතිවෙන ආශාවන්, අසන්තෝෂයන්, දෙස නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, උසස් හික්මීම ප්‍රතිවේධ කරගැනීමට උත්සාහ කරන නිසා, රස තෘෂ්ණාවෙන් මිදුණු ඔහු, තලු මරමින් ආහාරයේ රස බැලීම නොකරන අතර, තම කුසෙහි ප්‍රමාණය ගැන අවබෝධයෙන් ආහාර වළඳනවා.

තම සිත විසිරීමට නොදී, උපත දුරු කිරීම සඳහාම උත්සාහවන්ත වන නොපසුබට වූ සිතක් ඇති ඔහු, තෘෂ්ණා-දෘෂ්ඨීන් ආශ්‍රය නොකරමින්, රාග-ද්වෙශාදී කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරනවා.

භාවනානුයෝගීව වසන ශ්‍රමණයන් ආශ්‍රය කරමින්, ඔවුන් සමීපයෙහි එක් ආසනයකම හික්මෙමින්, සිත ව්‍යාකුල බවින් මුදවාගෙන, සිතෙහි එකඟ බව ඇති කරගෙන, නිශ්ශබ්දව හුදකලාවේ කෙලෙසුන් ගෙන් වෙන්වී සිටින ඔහු ගැන දස දිශාවටම කීර්තිය පැතිරෙනවා.

කෙලෙස් දුරුකිරීම සඳහා භාවනානුයෝගීව වසන මේ ප්‍රඥාවන්තයා ගැන අසන ජනයා තුලද, පාපයට ලජ්ජාවන ස්වභාවය ඇතිවන නිසාම, ඔවුන් තුල ඒ ප්‍රඥාවන්තයා කෙරෙහි ඇතිවන ගෞරවය මිශ්‍ර විශ්වාසය හේතුකර ගෙන, ඔහුව බොහෝ සෙයින් ඔවුන්ගේ ගරු බුහුමනට පාත්‍ර වෙනවා.

ඇළ දොළ ගංගා වල ජලය ශබ්ද නගමින් ගලා ගොස් මහ මුහුදට වැටුණු පසු නිශ්ශබ්දව නැවතී සිටින බව දකින්න.

එසේ අඥානයා ශබ්ද කරත්, සංසිඳුණු තැනැත්තා නිශ්ශබ්ද වෙනවා.
අඩක් පිරුණු කලය මෙන් බාලයා නිතර ශබ්ද කලත්, පණ්ඩිතයා පිරුණු විල සේ නිසොල්මන් වෙනවා.
භාවනායෝගීව වසන ශ්‍රමණයන් යහපත ගෙනදෙන බොහෝ දේ කතාකරනවා,

දැනගත් ධර්මය දේශනා කරනවා, ඔහු අවබෝධ කරගත් දේ බොහෝ දෙනාට දේශනා කරනවා.
අවබෝධයෙන් හික්මුණු ඒ කෙනා, ඒ අවබෝධය ගැන හැමෝටම කියන්නේ නැහැ. ඒ මුනිවරයා මාර්ගඥානය සඳහා සුදුසු වෙනවා, ඒ ප්‍රඥාවන්ත මුනිවරයා මාර්ග ප්‍ර‍ඥාව සාක්ෂාත් කරගන්නවා.