මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- අනාගතයේදී ඒකාන්තයෙන්ම උපකාර කරගැනීම සඳහා තැන්පත් කල යුතු වටිනා වස්තුව පිලිබඳ අනුශාසනා කල සූත්‍රය බව සිහි තබාගන්න.
1.කෙනෙක්, අනාගතයේදී තමන්ට ඇතිවිය හැකි හදිසි අවශ්‍යතාවයක් පැමිණි විටදී ගැනීමටයි සිතා, යම් කිසි ජලාශයක් හෝ දිය පාරක් කෙලවර කොට ඇති බිමක, බොහෝ ගැඹුරු ස්ථානයක, ඔහු සතු මුදල් හෝ වටිනා වස්තුව තැන්පත් කර සඟවා තබනවා.
2.රජයට යම් කිසි දඩ මුදලක් ගෙවීමට හෝ සොර සතුරු උවදුරක් නිසා යම් පීඩාවක් විඳීමට හෝ ණය මුදලකින් මිදීමට හෝ දුර්භික්ෂයක් වැනි හදිසි ආපදාවකට මුහුණ දීමට හෝ සිදුවිය හැකි එවැනි වූ ඕනෑම විපතකදී ප්‍රයෝජනයට ගැනීමට, ලෝකයා විසින් වස්තුව-මිල මුදල් ආරක්‍ෂිත ස්ථානයන්හි සඟවා තබනවා.
3.ඒ වස්තුව, එවැනි වූ ආරක්ෂක ස්ථානයක මනාව සඟවා තබා සෑහීමකට පත් වුනත්, ඒ සියල්ල නිතරම, ස්ථිරවම තමාගේ පිහිටට පැමිණෙන්නේ නැහැ.
4.සමහර විට මේ වස්තුව සැඟවූ නිවැරදි ස්ථානය, තමන්ගේ මතකයෙන් ගිලිහී යනවා. ඒ වස්තුව, නාගයන් විසින් වෙනත් තැනකට ඉවත් කිරීම හෝ අමනුෂ්‍යයන් විසින් ගැනීම සිදුවෙනවා.
5.තමන් අකමැති කෙනෙක් හෝ මෙහි උරුමක්කාරයෙක් වී තමන්ට නොපෙනෙන සේ මෙය ගොඩගන්නවා.
තමන්ගේ පින ගෙවී ඉවර වන විට මේ වස්තුව සියල්ල විනාශයට පත්වෙනවා.
6.තමන්ගේ අත්හැරීමේ ගුණය-සිල්වත් බව-සිත කය වචනය දමනය කර සංවර කර ගැනීම තමයි, ගැහැණියකට හෝ පුරුෂයෙකුට, මතුවටත් පිහිටක් ලෙස රැස්කර, මනාව තැන්පත් කරගත හැකි නිධානයක් වන්නේ.
7.සංඝයාටද, ආගන්තුකයන්ටද, මවට පියාට මෙන්ම වැඩිමහල් සහෝදරයන්ටද, සැලකිලි ගරු බුහුමන් දැක්වීම යන ගුණාංගයන් නිසා ඇතිකරගන්නාවූ කුසලයන්ද,
8.මනාසේ පිහිටුවාගත් නිධානයන් ලෙස මරණයෙන් පසුවද, ඔහු අතහැර නොයනවා.
9.එවැනි වූ පුණ්‍ය නිධානයන්, අන් අයට ලැබීමට හෝ ගැනීමට හෝ සොර සතුරෙකුට සොරකම් කිරීමට හෝ නොහැකි වනවා.
ඒ පින් නිධානය, ඒ ප්‍රඥාවන්තයා සමග, ඔහු අනුවම ගමන් කරනවා.
10.ඒ පින සහ කුසලය තමයි දෙවියන්ටද, මිනිසුන්ටද සියලු කම් සැප ලබා දෙන්නාවූ නිධානය. මේ නිධානය හේතුකොට තමන් යදින පතන සියල්ල ලැබෙනවා.
11.මනා පැහැයත්, මිහිරි කටහඬත්, මනා හැඩ හුරුකම් ඇති කයත්, මනා පෙනුම ඇති රූපයත්, අධිපති බව සහ පිරිස් බලයත්, යන මේ සියල්ල, මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබනවා.
12.ප්‍රදේශයකට හෝ රටකට අධිපති බව හෝ නායක කම් හෝ සක්විති රජ සැප ලැබීම් හෝ දිව්‍ය ලෝකයක දෙව් රජ සැප ලැබීම් හෝ යන මේ සියල්ල මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබන්නට හැකිවෙනවා.
13.මනුෂ්‍ය භාවයක් ලැබීමත්, දිව්‍ය සැප සම්පත් ලැබීමත්,
නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට ලැබීමත්, යන මේ සියල්ල මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබන්නට හැකිවෙනවා.
14.කල්‍යාණ මිත්‍රයන් මුණගැසී, සිහියෙන් යුතුව දැනගන්නා දේ නුවණින් මෙනෙහිකරමින්, ඒ අනුව පිළිපදිමින්,
සියලු කෙලෙසුන්ගෙන් මිදීමේ මග පුහුණු වීමට ලැබීම, යන මේ සියල්ලත් මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබන්නට හැකිවෙනවා.
15.කෙලෙස් වලින් මිදීම සඳහා අර්ථ-ධර්ම-නිරුක්ති-ප්‍රතිභාණ යන සිවුපිලි සිඹියා ඥාන ලැබීමටද, ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමද, පසේ බුද්ධත්වයද, සම්මා සම්බුද්ධත්වයද, යන මේ සියල්ලත් මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබන්නට හැකිවෙනවා.
16.ඒ තරම් මහත් ඵල ගෙන දෙන ඒ පුණ්‍ය සම්පත්තිය,
පෙර කල පින් ඇති, සසර දුක් ප්‍රහාණය කල බුද්ධාදී රහතුන් විසින් වර්ණනා කරනු ලබනවා.