ප්‍රවර්ග
සංයුත්ත නිකාය

පුත්තමංසූපම සූත්‍රය

සංයුක්ත නිකායේ-නිදාන වග්ග පාළි-නිදාන සංයුක්තය-බුද්ධ වග්ගය- සත්වයා සසරෙහි ඇවිදීමට හේතුවන ආහාර වර්ග සතර, උපමා මගින් පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබා ගන්න.

මා විසින් මෙසේ අසන ලදී.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා විසින් තනවා පූජා කරන ලද සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ සේක.

එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යයි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. භික්ෂූන්ද ‘යහපති ස්වාමීනි’ යයි පිළිතුරු දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ සසරේ ඇවිදින, ඉපදී සිටින හෝ ඉපදීම සොයමින් සිටින හෝ සත්වයන් ගේ පැවැත්මට උපකාරී වෙන ආහාර වර්ග හතරක් තිබෙනවා.

කවරක්ද ඒ සතර?

  • රූපය හෙවත් ශරීරයේ, පැවැත්මට උපකාරී වන ආහාර, (ඇසට පෙනෙන- ඔළාරික සහ නොපෙනෙන- සුඛුම)
  • දෙවැන්න නම් ඇස-කණ-නාසය-දිව-කය-මනස යන ඉන්ද්‍රියයන්ට හමුවෙන රූප නමැති ආහාර
  • තුන්වැන්න නම් සිතෙන් සිතන සිතිවිලි නමැති ආහාර  
  • හතර වැන්න නම් තදින් උපාදානය කරගත් අදහස් හා සිතිවිලි නමැති ආහාර

මේ වනාහි මහණෙනි, මේ සසරේ ඇවිදින ඉපදී සිටින හෝ ඉපදීම සොයමින් සිටින හෝ සත්වයන් ගේ පැවැත්මට උපකාරී වෙන ආහාර වර්ග හතරයි”.

“කෙසේද මහණෙනි, ශරීරයේ පැවැත්මට උපකාරී වන ඇසට පෙනෙන- ඔළාරික සහ නොපෙනෙන- සුඛුම ආහාර ගැන දැනගත යුත්තේ?

මහණෙනි, යම් සේ අඹුසැමි යුවලකට ඉතා අල්ප වූ දෙයක් පමණක් අතැතිව කාන්තාරයක් තරණය කරමින් ගමනක් යාමට සිද්ධ වෙනවා, ඔවුන්ගේ ආදරණීය දයාබර එකම පුත්‍රයාද සමග.
ඉක්බිති මහණෙනි, ඒ ඔවුන් කාන්තාරයේ ඇවිද ටික දුරක් ගිය පසු මෙතෙක් ආරක්ෂා කර ගෙන සිටි ආහාර අවසන් වෙමින් යනවා. නැතිම වෙමින් යනවා.
කාන්තාරයේ කෙලවරක් දකින්නත් නැහැ. එවිට මහණෙනි, මේ දෙදෙනා කතාකරගන්නවා, “අපි ගෙන ආ ඒ ආහාර සියල්ල අවසන් වෙලා, කෑමට කිසිවක්ම නැහැ, කාන්තාරයේ කෙලවරක් දකින්නත් නැහැ. ඒ නිසා අපේ මේ ආදරණීය එකම පුතා නසා, ඒ මස් වියලා කෑමට ගෙන කාන්තාරය තරණය කරමු, එහෙම නැති වුනොත් අපි තුන්දෙනාම විනාශ වෙනවා” යයි කියා.

ඉක්බිතිව මහණෙනි, ඒ අඹුසැමි දෙදෙනා තම ආදරණීය එකම පුතු මරා මස් වියලා කෑමට ගෙන කාන්තාරය තරණය කළා. ඒ තම පුතාගේ මස් කන ඔවුහු පපුවට ගසා ගනිමින් ‘කොහෙද මා පුතා, කොහිද මා පුතා’ යනුවෙන් කෑ ගසමින් ශෝක කළා”.

“කෙසේද මහණෙනි, ඔබ එය ගැන හිතන්නේ?
ඒ ඔවුන් දෙදෙනා ඒ දරුවාගේ මස් ආහාරය ලෙස ගන්නේ, ක්‍රීඩා කිරීමට ශක්තිය ලබා ගැනීම පිණිසද?, රසයෙන් මත් වීම පිණිසද?, රූපය සරසා ගැනීම පිණිසද?, තම අලංකාරය වැඩි කර ගැනීම පිණිසද?”
‘ඒ හේතුවෙන් නෙවි, ස්වාමීනි’.
“ඔවුන් ඒ ආහාරය ගන්නේ යම්තාක් කාන්තාරය තරණය කරගැනීම සඳහා නොවේද, මහණෙනි?”
‘එහෙමයි, ස්වාමීනි’.
“මහණෙනි, ඒ ආකාරයට කබලිංකාර ආහාර ගැන අවබෝධ කර ගත යුතු යයි මම කියමි.”

“ආහාරයේ ආදීනව ගැන නිවැරදිව අවබෝධ කරගත් කෙනා, ඇස-කණ-නාසය-දිව-ශරීරය පිනවීමට තමන් තුල ඇති රාගයේද, ආදීනව අවබෝධ කරගත් කෙනෙකු වෙනවා. පංචේන්ද්‍රියන් පිනවීමට තමන් තුල ඇති කැමැත්තේ ඇති ආදීනව තමන් විසින් අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා, තම ඉන්ද්‍රියයන් පහට හමුවෙන රූප කෙරෙහි ඇලීම්, ගැටීම් ඇතිකර නොගන්නා නිසා, ඒ හේතුවෙන් ඔහු නැවත මේ ලෝකයට එන්නේ නැහැ”.

විස්තර කර දැක්වීම
මෙම පුත්‍රයා මරා මස් ආහාරයට ගෙන අඬමින් වැලපෙන අඹුසැමි දෙදෙනාගේ උපමාව, කබලිංකාර ආහාරයට ගලපමින් පෙන්වා දී ඇති වටිනා පැහැදිලි කිරීම නුවණින් අවබෝධ කරගන්න. ඒ අඹු සැමි දෙදෙනා, තම ජීවිතයට ඇති රාගයත්, ස්ත්‍රී-පුරුෂ සම්බන්ධය කෙරෙහි ඇති රාගයත්, නිසා තම පුතා මරා මස් කා ජීවිත රැක ගත්තද, ඒ ඔවුන්ට ජීවත් වන තුරාම පුතු ගැන සිහිකරමින්, ශෝක කිරීමෙන් හා පසුතැවීමෙන් ගැලවීමට නොහැකි වෙමින් දුකෙන්ම කාලය ගත කිරීමට සිදුවෙනවා. එලෙස සලකා බලන්න, මේ ලෝකයේ ඉන්න මිනිසුන් තමන්ගේ රස තෘෂ්ණාව නිසා පරිභෝජනය කල ආහාර හේතුවෙන්, ඒ ඔවුන්ට කොතරම් රෝග පීඩා වලට භාජනය වී දුක් විඳීමට සිදුවී තිබෙනවාද කියා.
 
මේ ආකාරයටම ඇස-කණ-නාසය-දිව-ශරීරය යන ආයතනයන්ට ස්පර්ශ වන අරමුණු වලට, ඒවායේ ආශ්වාදය හා ආදීනවය ගැන අවබෝධයක් නොමැතිව උපාදානය වී ඇතිකරගන්නා ඇලීම් ගැටීම් නිසා, උරුම වෙන ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, සැප-දුක්, යස-අයස යන ලෝක ධර්ම තාවයන් දෙස සිහියෙන් දකින්න. ඒ කිසිවක් නිසා ඒ කෙනාට සදාකාලික සැපයක් අත් වී තිබෙනවාද? නුවණින් දකින්න, තමාට දුකෙන් පීඩිත වීමට සිදුවුනේ අලාභ-යස-දුක-නින්දා නිසා පමණක්ද කියා. තමන් හොඳින් මෙනෙහි කරොත් වැටහේවි, ඇස-කණ-නාසය-දිව-ශරීරය යන ආයතනයන්ට ස්පර්ශ වන අරමුණු වලට, ඒවායේ ආශ්වාදය හා ආදීනවය නොදැන උපාදානය වී ඇතිකරගන්නා ඇලීම් ගැටීම නිසා, උරුම වෙන ලාභ-ප්‍රශංසා-සැප-යසස පවා, තමන්ට ශෝක කිරීමට හෝ පසුතැවිලිවීමකට හෝ අසහනයකට හෝ මග පෑදු බව.
 
එසේ නුවණින් මෙනෙහි කරන ආර්ය ශ්‍රාවකයා තම ඇස-කණ-නාසය-දිව-ශරීරය යන ආයතනයන් පහට ස්පර්ශ වන අරමුණු දෙස සිහියෙන් දකිමින් සිටිනවා. ඒ අරමුණු නිසා තමන් තුල ලෝභ-ද්වේශ අකුසලයෝ වැඩෙනවා නම්, ඒ අරමුණෙන් ඈත්විය යුතු බව නුවණින් අවබෝධ කරගන්නවා. අලෝභ-අද්වේශ නම් කුසලයෝ වැඩෙනවා නම්, ඒ අවබෝධය තුලින් තමන් තුල ඇති අකුසල් දුරු කිරීමටත්, නූපන් අකුසල් නූපදීමටත්, නූපන් කුසල් වඩවා ගැනීමටත්, උපන් කුසල් වැඩි දියුණු කරගැනීමටත්, වීර්යය කල යුතු බව නුවණින් අවබෝධ කරගන්නවා.

මෙසේ ඇතිකරගන්නා අවබෝධය තුලින් ඔහු තුල ඇති කෙලෙස්, ක්‍රම ක්‍රමයෙන් දුරු වෙමින් සංසිඳීමට-නිරෝධයට පත්වන නිසා, නැවත උපතක් ඇතිවීම සඳහා ඔහු තුල හේතූන් සකස් වන්නේ නැහැ.


සුඛුම ආහාර කියන්නේ මොනවාද?

ඇසට නොපෙනෙන අමනුෂ්‍යයන්ට නම්, ඒ ඒ අමනුෂ්‍යයන් අනුව ඔවුන්ට හටගත් ඉන්ද්‍රියයන්ට ගෝචර වන සියුම් ආහාරයි.
මනුෂ්‍යයන්ට සහ තිරිසන් සතුන්ට නම්, ඔවුන්ගේ කය පවත්වා ගැනීමට උපකාරී වන ඔක්සිජන්ය. මේ ඔක්සිජන්ද ඒ කෙනාගේ ඕනා එපා කම මත ලබාගැනීම හෝ ලබා නොගෙන සිටීම කල නොහැක. එයද ඒ කය විසින් එයට අවශ්‍ය ප්‍රමාණයට ලබාගැනීම සිදුවෙන බව කායානුපස්සනාවේ ආනාපානසති භාවනාවෙන්ද අවබෝධ කරගැනීමෙන් තමන්ගේ කය යනු තමා නොවන බව ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකිවෙනවා. ඒ අනුවද ආහාර ලබා ගැනීම මනා ප්‍රඥාවෙන් සිදුකල යුත්තේ කය පවත්වා ගෙන යාමට මිස, ඒ ආහාරය නිසා තමන්ට ආයු-වර්ණ-සැප-බල-ප්‍රඥා ලබාගත හැකිය යන අවිද්‍යාවෙන් නොවන බව අවබෝධ කර ගැනීමට හැකිවෙනවා. කය, මම හෝ මගේ යනුවෙන් අවිද්‍යාවෙන් තමන් තුල ඇති තෘෂ්ණාවට අනුව ආහාර ගැනීමෙන් පවා තමන් කොතරම් අකුසල් රැස් කරගන්නවාදැයි මේ අනුව අවබෝධ කර ගැනීමට වීර්යය කරන්න.

“කෙසේද මහණෙනි, ස්පර්ශ ආහාර ගැන අවබෝධ කල යුත්තේ?

මහණෙනි, යම් සේ සමෙහි තැනින් තැන තුවාල වී ඒ තැන් වල සම ඉවත් වූ එළදෙනක් ඉදින්, බිත්තියක් ළඟ ඉන්නවා නම්, ඒ බිත්තියේ සිටින කුඩා සතුන් ඇගේ ඇඟට ගොඩවී ඇයව කනවා. ඒ එළදෙන ගසක් ළඟ සිටින විට, ඒ ගසේ සිටින සතුන් ඇගේ ඇඟට ගොඩවී ඇයව කනවා. ඒ එළදෙන වතුරක් ළඟ සිටිනවා නම්, ඒ වතුරේ සිටින සතුන් ඇගේ ඇඟට ගොඩවී ඇයව කනවා. අනාවරණ ස්ථානයක සිටිනවා නම්, ඒ ස්ථානයේ සිටින සතුන් ඇගේ ඇඟට ගොඩවී ඇයව කනවා.
මහණෙනි, ඒ ආකාරයට ඒ එළදෙන මොනයම් ස්ථානයක හිටියත්, ඒ ඒ ස්ථානයේ ඉන්න සතුන් ඇගේ ඇඟට ගොඩවී ඇයව කනවා.
මහණෙනි, ඒ ආකාරයෙන් ස්පර්ශ ආහාරය ගැන අවබෝධකළ යුතු යයි මම කියමි”.

“ස්පර්ශ ආහාරය ගැන අවබෝධ කරන කෙනා සැප හෝ දුක් හෝ සැපදුක් නොවන හෝ යන තුන් ආකාරයේම වේදනා ගැන අවබෝධ කරගත් කෙනෙක් වෙනවා.
ඒ වේදනා වල අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය අවබෝධ කරගත් කෙනාට තව කල යුතු කිසිවක් නැත යයි මම කියමි”.

විස්තර කර දැක්වීම
මෙම තුවාල වූ සම සහිත හරකාගේ උපමාව, ස්පර්ශ ආහාරයට ගලපමින් පෙන්වා දී ඇති වටිනා පැහැදිලි කිරීම නුවණින් අවබෝධ කරගන්න.

රාග-ද්වේශ-මෝහ යන තුවාල නිසා කාමය නමැති ලෝකයට නිරාවරණය වී සිටින සත්වයා, ඔහු ඉන්නා ඒ ඒ පරිසරය අනුව, තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ආයතනයන්ට හමුවෙන අරමුණු නිසා ඇතිවෙන සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා වලට උපාදානය වන ආකාරය දෙස නුවණින් දකින්න. සත්පුරුෂ පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, අසත්පුරුෂ පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, ප්‍රඥාවන්තයන් සිටින පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, අඥාන මෝඩ පුද්ගලයන් සිටින පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, මිත්‍යා දෘෂ්ඨිකයන් සිටින පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, ජාතිවාදීන් ආගම් වාදීන් කුලවාදීන් සිටින පරිසරයක වාසය කරන පුද්ගලයෙකුත්, යන මේ පෘතග්ජන පුද්ගලයන් දෙස නුවණින් බලන්න. ඒ ඔවුන්ගේ ජීවිත වලට, ඒ පරිසරයන්හි ස්වභාවයන්, කොතරම් භයානක බලපෑම් කර ඇතිද කියා.


මේ කරුණ දෙස නුවණින් බැලුවොත් ඉතා පහසුවෙන් වටහා ගත හැකියි, ඒ බලපෑම් වලට ලක්වූ අයවලුන්ගේ ගති ස්වභාවයන්, නැවත ඒ ඔවුන් ආශ්‍රය කරන පරිසරයන්ට මෙන්ම ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවටද, දායාද වෙන ආකාරය. යම් දවසක මෙවැනි කෙනෙක් සිහිය එළඹවාගෙන මනා ප්‍රඥාවෙන්, මේ තමන් තුල ඇති යථා ස්වභාවය දෙස නුවණින් බැලුවොත් වැටහේවි, තමන් ඉන්නා ඒ ඒ ස්ථානය අනුව තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ආයතනයන්ට හමුවෙන අරමුණු නිසා ඇතිවෙන සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා වලට උපාදානය වූ ආකාරය.


ඒ උපාදාන නිසා ඇතිවූ ගැටීම් මෙන්ම ඇලීම්ද තමන්ට සදාකාලික සතුටක් අත්කර නොදුන් බවද තව දුරටත් වැටහේවි. එලෙස අවබෝධ කරගත් ඒ ඔහු වටහා ගන්නවා, ඒ අරමුණ නිසා ඇති වූ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා, ඒ ආකාරයටම නොපැවතුනු බවත්, ඒ අරමුණ තමන්ගේ කැමැත්ත අනුව නොපැවතුනු බවත්, මෙන්ම ඒ මුල් වේදනා වලට තිබුණු තමන්ගේ කැමැත්තද එලෙසින්ම නොපැවතී ඇති බවත්. තමන් ජීවිතය පුරාම දුක්ඛ-දෝමනස්ස-උපායාස-අසහන-පසුතැවීම් වලින් පීඩා විඳ ඇත්තේ, මේ වෙනස් වන ස්වභාවය නොදැන සිටි නිසාම බව තමාට ප්‍රත්‍යක්ෂ වෙනවා.

මේ ආකාරයට නුවණින් මෙනෙහි කරන කෙනාට, මේ වේදනා වල අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය වැටහුණු මොහොතේ පටන්, තමන් මොන යම් ස්ථානයක සිටියත්, ඒ හමුවෙන අරමුණු නිසා ඇතිවන සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා නිසා, ඒ අරමුණු කෙරෙහි ඇලීම්-ගැටීම් ඇතිකරගන්නේ නැහැ. ඒ අනුවම ක්‍රියා කරමින් සිහියෙන් වාසය කරන ඔහුට නිවණ සාක්ෂාත් කරගැනීම පිණිස වෙන කිසිවක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

“කෙසේද මහණෙනි, මනෝ සංචේතනා ආහාර ගැන දත යුත්තේ?

ගිනි ඇවිලී, ගිනි දැල් ද දුමද පහවී, හොඳින් රත්වී ඇති ගිනි අඟුරු වලින් පිරුණු, බඹයක් පමණ දිග, ගිනිඅඟුරු වලක් තියන ස්ථානයක් අසල, ජීවත් වීමේ ආශාව ඇති, නොමැරී ඉන්න කැමති, සැපසේ ජීවත් වෙන්න කැමති, දුක පිල්කුල් කරන, එක් පුරුෂයෙක් ඉන්නවා. බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිත් මේ පුරුෂයාගේ අත් දෙකෙන් අල්ලාගෙන මේ අඟුරු වල වෙත අදිනවා. එවිට මහණෙනි, අර පුරුෂයා සැපසේ ජීවත් වීමට කැමති වූ චේතනාවෙන් ඔහුව දුරස් වෙනවා, ඔහුගේ ජීවත් වීමට ඇති ආශාව නැමැති බලාපොරොත්තුවෙන් ඔහු දුරස් වෙනවා, දුක පිල්කුල් කරමින් නොමැරී ඉන්න කැමති වූ ප්‍රාර්ථනාව, ඔහුගෙන් දුරස් වෙනවා.

ඒකට හේතුව කුමක්ද? මහණෙනි, එලෙස ඒ ඔහු කැමති දේ සහ ඔහුගේ ප්‍රාර්ථනාවන් දුරස් වෙන්නේ, ඒ පුරුෂයාට මෙලෙස ‘මේ ගිනිඅඟුරු සහිත වළට වැටේවි යයි හෝ ඒ හේතුවෙන් මම මරණයට පැමිණ වේවි හෝ මරණයෙන් මට දුක් අත්වේවි’ යයි කියා සිහිවෙන නිසයි.
ඒ ආකාරයට මහණෙනි, මනෝ සංචතනා ආහාර ගැන දැනගන්න කියා මම කියමි”.

“මහණෙනි, මනෝ සංචේතනා ආහාරය පිලිබඳ නිවැරදිව දැනගන්න කෙනා, තුන් ආකාර තණ්හාව ගැනද සම්පූර්ණයෙන් දැන අවබෝධ කරගන්නා කෙනෙක් වෙනවා. තුන් ආකාර තණ්හාව ගැන දැන අවබෝධකරගත් ආර්ය ශ්‍රාවකයාට, මතුවට තව කලයුතු කිසිවක් නැතැයි කියා මම කියමි”.

විස්තර කර දැක්වීම
මෙම ගිනි අඟුරු වලට වැටේවි යයි බියෙන් දුකෙන් පෙලෙන පුද්ගලයාගේ උපමාව, මනෝ සංචේතනා ආහාරයට ගලපමින් පෙන්වා දී ඇති වටිනා පැහැදිලි කිරීම නුවණින් අවබෝධ කරගන්න.
මේ ‘අඟුරු වල ලඟ සිටිනවා’ යනු දුක්ඛ-දෝමනස්සයන්ගෙන් පිරුණු සංසාරයේ ඇවිදීම බව අවබෝධ කරගන්න.

අතීතයේ තමන්ට මතක ඇති දිනයේ සිට, ඒ සෑම මොහොතකම තමන් තුල පැවතුනේ ජීවත් වීමට කැමති බවත්, සැපෙන් සිටීමට කැමති බවත්, මරණයට අකමැති බවත්, දුකෙන් මිදීමට කැමති බවත්, නේද? ඒ තමන්ගේ කැමැත්ත සහ ප්‍රාර්ථනාව එසේ වුවත්, ඒ සෑම මොහොතක්ම ගෙවුනේ තමා සම්බන්ධයෙන් හෝ ‘මගේ’ යයි කියා ගත් අන් කෙනෙක් සම්බන්ධයෙන් හෝ තමන් කැමැති වූ දේවල් ගැන හෝ තමන් අකමැති දේවල් ගැන හෝ අනාගත සැලසුම් ගැන හෝ සිතමින්, ඒ අනුව සිත සහ කය වෙහෙසට පත්කරමින් දුකෙන්, අසහනයෙන්, බයෙන්, පීඩනයෙන් කාලය ගත කරමින් නේද?

ඒ අනුව අවබෝධ කරගැනීමට උත්සාහ ගන්න, මේ අඟුරුවල ලඟ සිටින ඒ දෙසට ඇදෙන පුද්ගලයා තමා බවත්, ඒ අදින ශක්තිමත් පුරුෂයන් දෙදෙනා යනු තමාගේ කාම ආශාව නිසා ඇතිවෙන මනෝ සංචේතනා බවත්.

මේ ගැන තව දුරටත් නුවණින් මෙනෙහි කරන විට ඔබට අවබෝධ වේවි, ඒ ගෙවුණු අතීතයත්, ගෙවෙන මේ වර්තමානයත්, යන සෑම මොහොතක්ම ගෙවෙන්නේ භය-තැතිගැනීම-ශෝකය-අසහනය-පීඩාව සමග බව. ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස සතුටු කිරීමට ඇති කාම තණ්හාවත්, ඒ සතුටු කරන දේවල් ලබා අයිති කරගැනීමට ඇති භව තණ්හාවත්, තමන් අකමැති දෙයින් වෙන්වීමට ඇති විභව තණ්හාවත් යන මේ සියලු තණ්හා නිසා ගෙවෙන සෑම මොහොතක්ම තමන්ට දුකෙන්-අසහනයෙන් ගත කිරීමට සිදුවූ බවත්, සිදුවෙන බවත්, ඒ ගැන හොඳින් මෙනෙහි කරන කෙනාට නුවණින් අවබෝධ කරගැනීමට හැකි වෙනවා.

එයට හේතුව වන, ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස යන ඉන්ද්‍රියයන් වල ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ ස්වභාවයත්, රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ-ධම්ම වල ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ ස්වභාවයත්, තමන් තුල පවතින කැමැත්ත සහ අකමත්තෙහි ඇති ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ ස්වභාවයත් යන වැටහීම ඇති වූ දා පටන්, මේ සියල්ල කෙරෙහි ඔහු කලකිරෙනවා. එවිට ඔහු දකින-අසන-දැනෙන-හැඟෙන-සිහිවෙන කිසිම අරමුණක් කෙරෙහි නොඇලීමට පටන් ගන්නවා. මේ අනුව කටයුතු කරන ඔහු ක්‍රම-ක්‍රමයෙන් තණ්හාවෙන් මිදීම නිසා නිවන් අවබෝධ කර ගැනීම පිණිස වෙන කිසිවක් කිරීමට ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ.

කෙසේද මහණෙනි, විඥ්ඥාන ආහාර ගැන දැන ගත යුත්තේ?

මහණෙනි, සොරෙක් හෝ අපරාධකාරයෙක් අල්ලා රජු හට ඉදිරිපත් කර “මේ සොරෙක්, අපරාධ කාරයෙක්, ඔබ වහන්සේ කැමති දඬුවමක් මොහුට පනවන්නේ නම් යෙහෙකි” යයි කියා රාජ පුරුෂයෙක් කියනවා. එවිට රජ මෙසේ කියනවා. “එම්බා රාජපුරුෂය, ගිහින් මේ පුරුෂයාව උදේ කාලයට ආයුධ සියයකින් පෙලන්න”, කියා.
ඒ පුරුෂයාට උදේ කාලයේ ආයුධ සියයකින් පහර දෙනවා.
ඉක්බිති ඒ රජ තුමා මද්දහන වරුවේ මෙසේ අසනවා.
“එම්බල රාජපුරුෂයා, කොහොමද ඒ පුරුෂයා?”, කියා.
“වෙනසක් නැහැ ස්වාමීනි, ඒ ආකාරයටම ජීවත් වෙනවා” යයි රාජ පුරුෂයා කීවිට, “ගිහින් ඒ පුරුෂයාව මධ්‍යහන කාලයෙත් ආයුධ සියයකින් පෙලන්න” කියා නැවත රජතුමා කියනවා.
ඒ පුරුෂයාට මධ්‍යහන කාලයේත් ආයුධ සියයකින් පහර දෙනවා.
නැවතත් ඒ රජතුමා සවස් වරුවේ මෙසේ අසනවා.
“එම්බල රාජපුරුෂයා, කොහොමද ඒ පුරුෂයා?”, කියා.
“වෙනසක් නැහැ ස්වාමීනි, ඒ ආකාරයටම ජීවත් වෙනවා” යයි රාජ පුරුෂයා කීවිට, “ගිහින් ඒ පුරුෂයාව සවස් කාලයේත් ආයුධ සියයකින් පෙලන්න” කියා නැවත රජතුමා කියනවා.
ඒ පුරුෂයාට සවස් කාලයේත් ආයුධ සියයකින් පහර දෙනවා.

මහණෙනි, මේ ගැන කොහොමද හිතෙන්නේ. ඒ පුරුෂයා දවසට තුන් සැරයක් ආයුධ සියය බැගින් පහර කමින් තැලුම්-කැඩුම්-වද-වේදනා විඳින ඒ හේතුවෙන්, දුක්ඛ-දෝමනස්සයන් විඳින්න වෙනවා නොවේද?”

‘එය එසේමයි ස්වාමීනි, එක ආයුධයකින් පහර විඳ වෙහෙසවීම හේතුවෙන් එතරම් දුක්-දොම්නස් විඳින්න වෙනවා නම්, ආයුධ තුන්සියයකින් වැදෙන පහර නිසා විඳීමට වෙන දුක්-දොම්නස් ගැන කියනුම කවරේද!’

“මහණෙනි, ඒ ආකාරයට විඥ්ඥාන ආහාරය ගැන අවබෝධ කල යුතු යයි මම කියමි”.

“විඥ්ඥාන ආහාරය ගැන නුවණින් අවබෝධ කර දැනගත් කෙනා නාමරූපය ගැන නිවැරදිව අවබෝධ කරගත් කෙනෙකු වෙනවා. නාමරූපය ගැන නිවැරදිව අවබෝධයෙන් දැනගත් ආර්ය ශ්‍රාවකයාට තව දුරටත් කල යුතු කිසිවක් නැත යයි මම කියමි”.

විස්තර කර දැක්වීම
දිනකට තැලුම් පහරවල් තුන්සියයක් ලබමින් විඳවන, එහෙත් ඒ කිසිවක් නිසා කිසිදු වෙනසක් නැතිව සිටින, මේ දඬුවමට ලක්වෙන සොරා හෝ අපරාධකාරයාගේ උපමාව, විඥ්ඥාන ආහාරයට ගලපමින් පෙන්වා දී ඇති වටිනා පැහැදිලි කිරීම නුවණින් අවබෝධ කරගන්න.
පෙර ජීවිත වල සිදුකරන ලද පින්-පව්-කුසල්-අකුසල් වල විපාක ලෙස ලැබූ වර්ථමාන තමන්ගේ ජීවිතය, ඒ දඬුවමට ලක්වෙන සොරා හෝ අපරාධකාරයාට උපමා කර නුවණින් ගලපා බලන්න.

මෙහි උපමා කර ඇති පරිදි පහර කන වාර ගණනින් අදහස් කරනු ලැබ ඇත්තේ බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ දවසක දහවල් කාලය මනින යම් කිසි මැනුම් ඒකක 300ක් තිබී ඇතැයි යනුවෙන් වටහා ගත යුතු වනවා. අද තිබෙන කාර්මික ඔරලෝසුවල ආරම්භය ක්‍රි. ව. 1200 ගණන් වල පමණ සිදුවන්නට ඇතැයි දැනට ඇති තොරතුරු අනුව අනුමාන කල හැකිය.
නමුත් මා අසා තිබෙන සිංහල පැයද සිංහල විනාඩි 60 කින් යුතු වී ඇත.

ඒ අනුව තත්පර 60 විනාඩි 01ක්ද, විනාඩි 60 පැය 01ක්ද, පැය 60 දවස් 01 ක්ද ලෙස සිංහල මිනුම් ක්‍රමයක් තිබී ඇත.
එය අප විසින් බොහෝ කලකට ඉහතදී ජ්‍යෝතිෂය සඳහා භාවිතා කළෙමු.
වර්ථමානයේ සම්මත පැයක් යනු සිංහල පැය දෙකහමාරකි.
ඒ අනුව වර්ථමානයේ සම්මත විනාඩි 24 ක් යනු සිංහල පැය එකකි.
වර්ථමානයේ සම්මත තත්පර 24 ක් යනු සිංහල විනාඩි එකකි.
මෙයින් කියවෙන්නේ එදා සිංහල තත්පරය ලෙස ගණන් ගැනීමට අද වර්ථමානයේ සම්මත වී තිබෙන කුඩාම කාලය මැනීමේ
ඒකකය වන තත්පරයෙන් දෙකහමාරෙන් (0.4) පංගුවක කාලයටත් ඒකකයක් තිබී ඇති බවයි. එලෙස කල්පනා කරන කෙනෙකුට දැනගත හැකි වෙනවා නේද වර්ථමාන සමාජය යනු අතීතයේ තිබුණු සමාජය තරම්ම දියුණු නොමැති බව.
දවසක් යනු ඉර නැගීමත් ඉර බැසීමත් අතර කාලය ලෙස ගණන් ගතහොත් දවසකට වර්ථමානයේ සම්මත පැය 12 කි.
එනම් සිංහල පැය 30 කි. එම කාලය උදේ දවල් සවස් වරු ලෙස තුනකට වෙන්කරහොත් ඒ එක් වරුවකට අයත් වන්නේ සිංහල පැය 10ක් පමණ වන කාලයයි. එනම් වර්ථමානයේ සම්මත පැය 04 කි.
මෙහි උපමා කර ඇති උදේ කාලයේ ආයුධ පහරවල් 100 යනුවෙන් සඳහන් කරන්නේ වර්ථමානයේ සම්මත පැය 04 ක් හෙවත් විනාඩි 240 තුල පහරවල් 100 තැලුම් කා ඇතිය යන්නයි. එනම් සෑම විනාඩි දෙකහමාරකට වරක්ම පහරකෑමට ලක්වෙන බවයි.
මෙයින් යම් තරමකට උපකල්පනයක් කල හැකියි ජ්‍යෝතිෂයේදී භාවිතා කරන සිංහල පැය ඒකකය යනු මේ සිද්ධිය හා සම්බන්ධයක් ඇති ඒකකයක් බව.

එනම් වර්ථමානයේ සම්මත කාලය අනුව සෑම විනාඩි දෙකහමාරකට වරක්ම පහරකෑමට ලක්වෙන බවයි.

ඉතින් ඇත්තටම මේ ජීවත් වන මිනිසුන් දෙස බලන්න. ඒ සියලු දෙනාම තමන් ගෙවන සෑම විනාඩියක් තුලම කුමක් හෝ උපාදානය කරගනිමින් කොයි තරම් මානසිකව පීඩා වින්දත්, ඒ කිසිවක් නොදැනුනා සේ නැවත නැවත ඇස කණ නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රියයන්ට මුණගැහෙන කුමන හෝ දෙයක් වුවද එය මගේය, එයට මම කැමතිය, එය මට ඕනය, එයට මම අකමැතිය, එය මට එපාය යනුවෙන් නැවත නැවත උපාදානය කරගනිමින් සකස් කරගන්නා සංස්කාරද, ඒ සංස්කාර උපාදානය කරගැනීම නිසා විශේෂයෙන් සකස්කරගන්නා සිත් හෙවත් ආයතන බද්ධ විඥ්ඥානද සකස් කරගන්නවා නේද? ඒ නොකඩවා ගොඩනැගෙන විඥ්ඥානයන් උපාදානය කරගැනීම නිසා නොකඩවා පවතින සංවත්තනික විඥ්ඥානය නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විඳිමින් නොනැවතී සසර පුරා සැරිසරනවා නේද?

උපන්දා පටන් ගතවෙන සෑම මොහොතක්ම ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි උපාදානය කරගත් තමාව හෝ බාහිර අන් කෙනෙක් හෝ දෙයක් නිසා සිතේ විශේෂයෙන් ඇතිකරගන්නා සිතිවිලි දෙස නුවණින් දකින්න. මේ ධාරණය කරගන්නා සිතිවිලි නිසා ගොඩනගා ගන්නා ප්‍රාර්ථනා-බලාපොරොත්තු ඔස්සේ දුව යමින්, ඒවා කඩ වූ විට දුක් විඳි අවස්ථා ගැන සිහිකරන්න. එසේම, ඒවා සාර්ථක වූ විට ලැබුණු ඒ සතුට දිගටම ඒ ආකාරයටම පැවතුනාද, තමන්ට ස්ථිර වූ සංසිඳීමක් කවදා හෝ ඇති වුනාද, කියා නුවණින් ගලපා බලන්න. තවද, ජීවිතයේ එක් එක් කාල සීමාවල දිනෙන් දින වෙනස් වන ශරීරය මෙන්ම රූපයද, තමන්ගේ සිතුම්-පැතුම් වල ස්වභාවයද, ඒ ඒ ස්වභාවයන්ට අනුව තමන්ගේ ගති ද, වෙනස් වෙමින් පවතිනවා සේම, උපාදානය කරගන්නා අරමුණුද, ඇතිවෙමින් වැය වෙමින් නැතිවෙමින් යන ආකාරය නුවණින් මෙනෙහි කරන්න.

මෙසේ නුවණින් මෙනෙහි කරන කෙනාට වැටහෙන්න පටන් ගන්නවා, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියාගත් තමන්ගේ සිත වත්, තමන්ගේ කය වත්, තමන්ට දැනුනු සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා වත්, තමන්ගේ ස්වභාවයවත්, බාහිර අන් අය වත්, තමන්ගේ කැමැත්තට අනුව නොපැවතෙන බව.

ඒ කිසිවක පැවතීම තමන්ට පාලනය කළ නොහැකි බව.

‘මමය-මගේය-මගේ ආත්මය’ යයි ඇතිකරගෙන තිබූ තණ්හා-දෘෂ්ඨි-මාන නිසා ගෙවුණු අතීතයත්, ගෙවෙන මේ වර්ථමානයත්, යන සෑම මොහොතක්ම ගෙවෙන්නේ භය-තැතිගැනීම-ශෝකය-අසහනය-පීඩාව සමග බව නුවණින් මෙනෙහි කරන්න.

එසේම, ඒ මුහුණ දෙන දුක්-පීඩා හමුවේ, කොතරම් හඬමින්-වැලපෙමින්-දුක කියමින් ශෝක කළත්, ඒ කිසිවකින් තමන් තුල කිසිදු වෙනසක් නොකරගනිමින්, නැවත නැවතත් ඒ දුකම ඇතිකරන තණ්හාවේම ගිලාබැසගෙන සිටින තමන්, විඥ්ඥාන ආහාරය උපමා කර ඇති, කොතරම් පහර කෑවත් කිසිදු වෙනසක් නැතිව සිටින අපරාධකාරයා සේ නොවේදැයි නුවණින් මෙනෙහි කලොත් හොඳින් අවබෝධ කර ගන්න හැකිවේවි.

මේ ගැන නුවණින් අවබෝධ කරගැනීමට හැකිවන මේ ප්‍රඥාවන්තයා, මේ ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි ඇතිකරගෙන තිබූ තණ්හා-දෘෂ්ඨි-මාන කෙරෙහි කළකිරෙනවා. ඒ අවබෝධයත් සමගම ඔහු තමන්ගේ සිතද, තමන්ගේ කයද, තමන්ට දැනුනු සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනාද, තමන්ගේ ස්වභාවයද, මගේ යයි කියාගත් බාහිර අන් අයද, යන කිසිවක් ‘මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ’ යන්න මනා ප්‍රඥාවෙන් නුවණින් අවබෝධ කරගන්නවා. මෙසේ මේ සිත සහ කය ගැන නුවණින් අවබෝධ කරගන්න කෙනා, එතෙක් ඒ සිත හෝ කය කෙරෙහි ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තිබූ උපාදානය අත් හැරීම නිසා, ක්‍රම ක්‍රමයෙන් දුරුවන තණ්හාව හේතුවෙන් සංසිඳීමටත්, නිරෝධයටත් පත්වෙනවා. මේ නිසාම ඔහු තුල නැවත උපතක් සඳහා හේතු වන භව තෘෂ්ණාව ඇතිවන්නේ නැහැ. මෙසේ මේ නාමරූපය හෙවත් කය සහ දැඩිව පවත්වා ගත් ‘මමය-මගේය-මගේ ආත්මය’ යන දෘෂ්ඨිය ගැන නුවණින් අවබෝධ කරගන්නා කෙනාට, කෙලෙස් දුරු කර නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා කළයුතු වෙනත් කිසිවක් ඇත්තේ නැහැ.