ප්‍රවර්ග
ඛුද්දක නිකාය

පුරාභෙද සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ග- උසස් හික්මීමක් ඇතිකරගැනීම සඳහා පිළිපැදිය යුතු, පුරාණයේ සිට නොවෙනස්ව පැවත එන ප්‍රතිපදාව ගැන දේශනා කර ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

“කෙබඳු දැක්මක් ඇති, කෙබඳු හික්මීමක් ඇති, පුද්ගලයෙකුටද නිවුණු සංසිඳුණු පුද්ගලයෙකු යයි කියන්නේ,
අග්‍ර වූ ගෞතමයෙනි, උතුම් මනුෂ්‍යයෙකු වීම සඳහා අවශ්‍ය මට, මේ අසන පැනය පහදා දුන මැනවි”.

මෙතැන් සිට බුදුන් වහන්සේගේ අනුශාසනාවයි.
“අතීතයේ ඒ මුනිවරු කෙලෙස් සිඳ දමා තෘෂ්ණාව දුරුකළේ, ඒ අතීත බුදුවරු විසින් දේශනා කරනු ලැබූ ධර්මයට අනුව පිලිපැදීමෙන්.
පහත් හීන කාමයේ ඇබ්බැහි වී ගතකරන නිෂ්ඵල අසාර ගිහි ජීවිතයත්, කයට දුක් දෙමින් ගතකරන නිෂ්ඵල අසාර පැවිදි ජීවිතයත්, යන අන්ත දෙකෙන් මිදී මධ්‍යස්ත බ්‍රහ්මචාරී ජීවිතයක් ඇති කර නොගතහොත්, නිවුණු සංසිඳුණු ජීවිතයක් ලබන්න අවශ්‍ය වන පුද්ගලයෙකු හට, එය ලැබීමට කිසිදු හැකියාවක් ඇතිවන්නේ නැහැ.

අන් අයට විරුද්ධවාදී කම් හෝ ක්‍රෝධ කිරීම් නොකරන,
ඒ නිසාම තමන්ද, තැති ගැනීම්-බියට පත්වීම් වලින් තොර වන,
තමන්ගේ ගුණ කියමින් අන් අය හෙලා දැකීම නොකරන,
මෙතෙක් කල පව් කම් ක්‍රියා ගැන පසුතැවීම් නොවන හා මෙතෙක් කාලයක් කිරීමට නොහැකි වූ පින්කම් ගැන කණගාටුද නොවන,
එසේම තමන් අසා දැනගත් ධර්ම කරුණු පිලි නොපදිමින්, තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගැනීමට පමණක් ඒ ධර්ම කරුණු මතක තබාගෙන, අන් අය ඉදිරියේ උද්ධච්ච නොවී සිටින,
යන මේ ගුණාංග වලින් හෙබි පුද්ගලයාට ඒකාන්තයෙන්ම මුනිවරයා යයි කියනු ලැබේ.

විශ්වාසයක් නැති, නොපැමිණි අනාගතය ගැන සිහින නොමවන,
ගෙවී ගිය අතීතය ගැන ශෝක නොකරන, කාය චිත්තාදීන්ගේ විවේකය සමග ඇතිකරගන්නා සිහියෙන් යුතුව, නුවණින් ගලපා බලන,
ප්‍රඥාවන්තයා මිත්‍යාදෘෂ්ටියට පමුණුවන්නේ නැත.

අනුන් රැවටීමේ අරමුණෙන් තමන්ගේ පහත් ගුණ සඟවමින්,
තමන් ලඟ නැති උසස් ගුණ මවා දක්වා පෙන්වීම නොකරන,
හැමදේටම ආසා කරමින් ඇතිවන ඇලීම් දුරුකල නිසා මසුරු නොවන,
තමන් තුල මාන්නය නැති නිසා උඩඟු නොවන,
තමන්ගේ කය වචනය සංවර කර ගැනීම නිසා අන් අය හට පිළිකුල් නොවන, කේලාම් කියන්නෙකුද නොවන,

තවද සැනසීමක් නොදෙන ලෞකික සැප හේතුකොට අධික මානයක් ඇති කර නොගන්නාද වන,
යහපත් ආශ්‍රයක් හේතුවෙන් අසන්නට ලැබෙන ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයත්, පටිච්ච සමුප්පාදයත්, මනාව අවබෝධ කරගන්නා කෙනා, මෙතෙක් සිදුකරනු ලැබූ ඇදහීම්-සිල්වෘත අතහැර, ඒ අවබෝධ කරගත් ධර්මයට අනුවම පිළිපදිමින් වාසය කරයි.

කැමති දේ ලබාගැනීම ගැන නොසිතන, නොලැබුණු දේ නිසා කම්පාවට හෝ කෝපයට පත් නොවන, බව නිසා ලෝභ සහගත සිතින් රස තෘෂ්ණාවේ ඇලෙන්නේ නැති ඔහුට විරුද්ධවාදීන් ඇති වෙන්නේ නැහැ.

සෑම විටම සිහියෙන් සිටිමින්, මේ ලෝකයේ කිසිවක් සමාන නොවන බව අවබෝධ කරගෙන, සංස්කාරයන් ගොඩනැගීම හෙවත් තමන්ගේ කැමැත්ත-අකමැත්ත අනුව අදහස් ගොඩ නො නගා ඉන්නා නිසා,
කෙලෙස් බරිත නොවූ ඒ සංසිඳුණු ප්‍රඥාවන්තයාට විශේෂ වන හෝ නොසලකා හරින කිසිවක් නොමැති වෙනවා.

තමන්ට ඕන යයි හෝ එපා යයි හෝ යනුවෙන් කිසිවක් සමග ඇලීමකින් ජීවත් නොවන, ලෞකික කිසිවක් පිහිට කර ගන්නේ නැති, ඔහු තුල තණ්හාව පවතින්නේ නැහැ.

කාමයන් කෙරෙහි කිසිදු අපේක්ෂාවක් නොමැති නිසා කිසිවක් සමග බැඳීමක් නැති තෘෂ්ණාවෙන් මිදුණු ඔහු, ‘නිවුණු සංසිඳුණු තැනැත්තෙක්’ යයි මම කියමි.

අවබෝධයක් නොලැබූ පෘතග්ජන ගිහි හෝ ශ්‍රමණ කිසිවෙකුගෙන් අසන්නට ලැබෙන නුසුදුසු කතා, මේ ප්‍රඥාවන්තයා පිළිගැනීම හෝ ඒ කතා පිලිබඳ කම්පා වීම හෝ වෙන්නේ නැහැ.

ඔහුට “මගේ” යයි දූ පුතුන් හෝ කෙත් වතු හෝ වෙනත් තමා සතු කිසිවක් ඇත හෝ යනුවෙන් කිසිවකට ඇලීමක් ඇති වන්නේ නැහැ. එසේ “මගේ” යයි කියා කිසිවක් නැති කල “මම” යයි හෝ “කෙනෙකු ඇතැ” යි යනුවෙන් හෝ “කෙනෙකු නැතැ” යි යනුවෙන් හෝ ඇලීමක් ඇති වන්නේ නැහැ.

දුරු කළ තෘෂ්ණා ඇති නිසා, කිසිවකට ලෝභ කම් නොකරන මේ ප්‍රඥාවන්තයා, තමන් වෙත කිසිවක් ගොඩ ගසා නොගන්නා බව කිව යුතුය.
කිසිවෙකුට සමාන කිරීම හෝ කිසිවෙකු පහත් කොට සැලකීම හෝ නොකරන ඔහු, නුසුදුසු තර්ක විතර්කයන් වෙත යොමු වන්නේද නැහැ.

ඔහු හට “මගේ” යයි කියාගන්නා කිසිවක් නොමැති නිසා, ඇලීමට හෝ ගැටීමටද හේතු ඇතිවන්නේ නැහැ. මේ නිසාම කිසිවක් නිසා ශෝක කිරීමට ඔහු තුල හේතු ඇතිවන්නේත් නැහැ.

ඔහුට මේ ලෝකයේ ‘මගේ’ යයි කියා කීමට කිසිවක් නැතුවා සේම, ධර්මයේද තවදුරටත් සෙවීමට තවත් කිසිවක් ඇත්තේ නැහැ.
මේ නිසාම මේ පුද්ගලයා
‘නිවුණු සංසිඳුණු පුද්ගලයෙක්’ යයි කියනු ලැබේ”.