මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-මජ්ඣිමපණ්ණාස පාළි-රාජ වග්ගය- රට්ඨපාල මහා රහතන් වහන්සේ තම උපන් ගමට පැමිණි අවස්ථාවේ සිදුවූ සිද්ධීන් ඇතුලත් වන සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.
| රට්ඨපාල මහ රහතන් වහන්සේ පැවිදි වීමෙන් පසු පළමුවෙන් තම ගමට පැමිණි අවස්ථාවේ, උන්වහන්සේ වෙනුවෙන්, පියා විසින් තම නිවසේ දානයක් සුදානම් කරන්නේ, කෙසේ හෝ මේ තම පුත්‍රයා නැවත තමන් වෙත රඳවා ගැනීමේ උපක්‍රමයක් සැලසුම් කරමිනි. ඒ නිසා ඒ පියා, තම පුතාගේ ගිහි කල භාර්යාවන් අමතා “ මගේ පුතා ගිහි ගෙයි රඳවා ගැනීම සඳහා කුමන හෝ මායමක් යොදන්න” යයි පැවසුවේය. ඒ නිසා ඒ භාර්යාවන් ඉතා අලංකාර ආකාරයෙන් සැරසී, දානය සඳහා වැඩම කල රට්ඨපාල මහ රහතන් වහන්සේට දානය පිළිගන්වමින්, උන්වහන්සේ වසඟයට පත්කරගැනීම සඳහා බොහෝ මායම් දැක්වීය. ඒ අවස්ථාවේ රට්ඨපාල මහ රහතන් වහන්සේ විසින් මේ පහත දැක්වෙන ආකාරයෙන් ප්‍රකාශ කළහ. |
රට්ඨපාල රහතන් වහන්සේ විසින් දානය වළඳා අවසන් වූ පසු ගිහිකල බිරින්දන්ට මෙසේ ප්‍රකාශ කළහ.
“කෙලෙස් වලින් පිරි සිතිවිලි නිසා ‘මගේ’ යනුවෙන් හඳුන්වාගන්නා, එහෙත් කිසිදු ස්ථිර පැවැත්මක් නැති, වර්ණනා කරමින් ගෞරව කරන අශුචියෙන් පිරුණු ඔබේ ඔය කුණු ශරීරය දෙස බලන්න.
වස්ත්‍රයකින් වසාගෙන, මුතු මැණික් කුණ්ඩලාභරණ වලිනුත් සරසවාගෙන ශෝබමාන කරගත්තාවූ, ඔබලාගේ රූපය නැමති සමෙන් ඔතන ලද ඇටකටු ටික දෙස බලන්න.
පාද රත්පැහැයෙන් ගන්වාගෙන, මුහුණේ නොයෙක් සායම් තවරාගෙන
මේ දිරන කුණු කය සරසන අඥානයාගේ, මෝඩ කම් නිසා, ඔබලා සසරේ පරතෙරක් සොයන්න සමත් වෙන්නේ නැහැ.
පාදය තෙක් කෙස් වැටියෙන් සරසාගෙන, ඇස් වල අංජන තවරාගෙන
මේ දිරන කුණු කය සරසන, අඥානයාගේ මෝඩ කම් නිසා, ඔබලා සසරේ පරතෙරක් සොයන්න සමත් වෙන්නේ නැහැ.
අඳුන් කූරෙන් චිත්‍ර අඳිමින්, කුණු කය අලංකාර කරමින්
මේ දිරන කුණු කය සරසන, අඥානයාගේ මෝඩ කම් නිසා ඔහු සසරේ පරතෙරක් සොයන්න සමත් වෙන්නේ නැහැ.
මුව දඩයම සඳහා මළපුඩුව ඇටවූ මුව වැද්දා බලා සිටියදීම, මල පුඩුවට අසු නොවී තණ කා, වැද්දා හඬද්දීම පැන යන මුවෙකු සේ,
මා ඔබලාට අවනත කර ගැනීම සඳහා මේ භෝජනය සුදානම් කල ඔබලා බලා සිටියදීම, සිහි එළඹවා ගෙන සිටින මා භෝජනය වළඳා, ඔබලා හඬද්දීම නික්ම යන්නෙමි”.
ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ මේ ගාථා කියා නැගිට, කුරු රට රජුට අයත් මිගචීර නම් උයනට පැමිණුනහ. එහි පැමිණ ගසක් මුල දිවා විවේකයෙන් ගතකලහ.
එහි පැමිණි කුරු රට රජ තුමා, රට්ඨපාල තෙරුන් වහන්සේ සමග සුහද වී පසෙකින් හිඳ ගත්තේය. පසෙකින් හිඳ ගත් රජ තුමා, මෙබඳු ආකාරයෙන් පැවසුවේය.
“පින්වත් රට්ඨපාලයනි, ඇතැම් කෙනෙක් කෙස් රැවුල් බා, කසාවත් දරමින් ගිහිගෙයින් නික්ම බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹෙන්නේ ඔහුට ඇතිවෙන පිරිහීම් හතරක් හේතු කර ගෙනයි.
මොනවද ඒ හතර?
ඒ කෙනා වයසට යාමෙන් පිරිහීම,
ලෙඩ දුක් වලට භාජනය වීමෙන් පිරිහීම,
මිල මුදල් දේපල වලින් පිරිහීම,
තමන්ගේ ඤාති මිත්‍රයන්ගේ වියෝව යනාදියයි.
නමුත් පින්වත් රට්ඨපාලයනි, ඔබට ඒ කිසිවක් සිදුවී නැහැ. එසේනම් කුමන අභිවුර්ධියක් ගැන දැනගෙනද, දැක ගෙනද, අසා ගෙනද, ඔබ ගිහිගෙයින් නික්මී මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹුණේ?”
“එයට හේතු තියනවා මහරජ, සර්වඥවූ භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැනගෙන, උන් වහන්සේ හමුවට ගොස්, උන් වහන්සේ දක්වා වදාළ, ධර්ම කරුණු සතර අසා දැනගෙන, නුවණින් අවබෝධ කරගෙන, ගිහිගෙයින් නික්මී මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹියෙමි”.
“කවරක්ද ඒ සතර?”
1. “ලෝක සත්වයා විසින් ‘මමය-මගේය’ කියා අල්ලා ගන්න සියල්ලම අස්ථිර බව”-
තමන් හෝ තම ප්‍රියයන් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම, කිසි ලෙසකින් හෝ වලක්වාගත නොහැකි බව නුවණින් අවබෝධ කර ගැනීම-
සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැනගෙන උන් වහන්සේ හමුවට ගොස්, උන් වහන්සේ දක්වා වදාළ, පළමු ධර්ම කරුණ අසා දැනගෙන, නුවණින් අවබෝධ කරගෙන ගිහිගෙයින් නික්මී, මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹියෙමි”.
2. “කුමන බලවත් කමක් හමුවේවත් ලෝක සත්වයාට රැකවරණයක්, පිහිටක් නැති බව”-
තමන් සතු කොතරම් ධනය-වස්තුව-බලය-උගත් කම තිබුණත්, ඤාති මිත්‍රාදීන් සිටියත්, ඒ කිසිවකට හෝ කිසිවෙකුට, තමාව දුකෙන්-ලෙඩ රෝග වලින්-ව්‍යසනයන්ට මුහුණ දීමෙන්-මරණයෙන් යන කිසිවකින් වැලක්වීමට වත්, ඒ කිසිවකට හෝ කිසිවෙකුට තමන්ගේ කායික-මානසික පීඩාවක් බෙදා හදා ගැනීමට වත්, නොහැකි බව නුවණින් අවබෝධ කර ගැනීම-
සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැනගෙන උන් වහන්සේ හමුවට ගොස්, උන් වහන්සේ දක්වා වදාළ, දෙවන ධර්ම කරුණ අසා දැනගෙන, නුවණින් අවබෝධ කරගෙන ගිහිගෙයින් නික්මී, මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹියෙමි”.
3. “මමය-මගේ යයි කියමින් අල්ලාගෙන සිටින සියල්ල අතහැර මරණයෙන් වෙන්වීමට සිදුවන බව”-
කොතරම් ධනය-බලය-ඤාති මිත්‍ර පිරිවර-පිරිස් බලය-දැන උගත් කම්, තිබුනත් මරණයේදී මේ සියල්ල අතහැර යාමට සිදුවන බව නුවණින් අවබෝධ කර ගැනීම-
සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැනගෙන උන් වහන්සේ හමුවට ගොස්, උන් වහන්සේ දක්වා වදාළ, තෙවන ධර්ම කරුණ අසා දැනගෙන, නුවණින් අවබෝධ කරගෙන, ගිහිගෙයින් නික්මී මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹියෙමි”.
4. “ලෝක සත්වයා තණ්හාවට වහල් වී සිටින නිසා සෑහීමකට පත් විය නොහැකිව අතෘප්තිමත්ව පෙලෙන බව”-
රට රාජ්‍ය අත් කර ගත් පසුත් මුහුදෙන් එතෙර රාජ්‍යයන් කෙරෙහිද තණ්හාවෙන්, මිනිසුන් දස දහස් ගණන් බිලි දෙන යුධ උපක්‍රම වලින් හෝ ඒවා අල්ලා යටත් කර ගැනීමට තරම් නොසංසිඳීමක් ඇතිකරන, තණ්හාවට වහල් වී ඇති නිසාම සත්වයා මේ සසර දුකෙහි ගිලී ඇති බව නුවණින් අවබෝධ කර ගැනීම-
සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැනගෙන උන් වහන්සේ හමුවට ගොස්, උන් වහන්සේ දක්වා වදාළ, සිව්වන ධර්ම කරුණ අසා දැනගෙන, නුවණින් අවබෝධ කරගෙන ගිහිගෙයින් නික්මී මේ බ්‍රහ්මචාරී පැවිදි දිවියට එළඹියෙමි”.
රට්ඨපාල තෙරුන් වහන්සේ මෙසේ තැන්පත්ව හිඳිමින් කීහ. එසේ කියා ඉන් අනතුරුව තව දුරටත්, රට්ඨපාල තෙරුන් වහන්සේ රජ තුමාට මෙබඳු ආකාරයෙන්ද පැහැදිලි කළේය.
“ලෝකයේ ධනවත් මිනිස්සු අවිද්‍යාවෙන් මුලා වීම නිසා දන් දෙන්නේ නැහැ. තව තවත් තණ්හාවෙන් වස්තු සම්පත් ප්‍රාර්ථනා කරමින් මසුරු කමින් ධනය රැස් කරනවා”.
“රජ කෙනෙක් සටන් වැද, සමුද්‍ර සීමාව තෙක් අන්‍ය සියලු රාජ්‍යයන්ද අල්ලා ගෙන යටත් කර ගෙන සියලු සැප සම්පත් වින්දත්, ඉන් සෑහීමකට පත් නොවී මුහුදෙන් එහා තිබෙන රාජ්‍යයන්ද ප්‍රාර්ථනා කරනවා”.
“මේ රජ වරුද, අන්‍ය බොහෝ මනුෂ්‍යයෝද, මේ ලෝකයේදී සෑහීමකට පත් නොවෙමින් ආශාවෙන් සිටි කිසිවක් ගෙනයාමටද නොහැකිව,
තණ්හාව දුරු නොකරම, ඉතා ටික කලකින් කය අතහැර මරණයට පත් වෙනවා”.
“හිස කෙස් විසුරුවාගෙන, ‘අනේ මේ මගේ කෙනා මැරුනේ නැත්නම් ඉතා හොඳයි’ කියමින් ඔහුගේ නෑයන් ඒ මැරුණු කෙනාව රෙද්දක ඔතලා ගෙයින් බැහැර කරනවා, එතැන් පටන් දර සෑය ඔහුව බාරගෙන ඒ මිනිය දවනවා”.
“ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සියෙන් ගොඩ ගසා ගත් සියලු සන්තක ධනය, දේපල අතහැර එක වස්ත්‍රයක් පමණක් ඇතුව, කිසිදාක තමන්ට පිහිට වේවි යයි නොසිතපු, ඇඟේ වැදුනත් කිසි දවසක අගය නොකරපු සුලඟෙහි ශක්තියෙන්, ඒ දරසෑය තුල දැවෙනවා. කොතරම් සමුර්ධිමත් නෑ මිතුරන් සිටියත්, ඒ මිය ගිය කෙනාගේ සසර ගමනට පිහිටක් වෙන්නේ නැහැ”.
“සත්වයා වනාහි ‘මගේය-මටය’ යයි, කියමින් ජීවිත කාලය පුරාවටම
ගොඩ ගසා ගන්නා ඥාතීන් හා දේපල කිසිවක් රැගෙන යා නොහැකිව
සියල්ල අතහැර කර්මය අනුව මොලොවින් යනවිට, ඒ දේපල හා ඥාතීන් ලබන ඊළඟ තැනැත්තාද, ඒ ආකාරයටම ‘මටය-මගේය’ කියා ගනිමින් තණ්හාවෙන් මුලාවෙමින් නොසෑහීමට පත්වී රැස් කිරීමට පටන් ගන්නවා”.
නමුත් මේ කිසි කෙනෙකු දන්නේ නැහැ, තමන් මරණයට පත්වී
මොලොව අත් හැර යන විට, ස්වාමිභාර්යා හෝ දු පුතුන් හෝ ධන සම්පත් හෝ රට හෝ තමා සමග නොඑන බව”.
“කොතරම් ධනය තිබුනත් එයින් දීර්ඝායුෂ ලබන්න බැහැ.
තවද සැප සම්පත් වලින් වයසට යාම, ලෙඩ වීම නවත්තන්නත් බැහැ.
ප්‍රඥාවන්ත පුද්ගලයා ඇතිවීම්, නැතිවීම් අවබෝධ කරගනිමින්
මේ සදාකාලික නොවන කෙටි ජීවිත කාලය ගැන අවබෝධයෙන් කටයුතු කරනවා”.
“උපභෝග පරිභෝග වස්තූන් ගෙන් පරිපූර්ණ ධනවතාද, කෑමට හෝ යමක් නැති දිලින්දාද, මරණය නමැති ලෝක ධර්මතාවයට යටත් වෙනවා.
අඥානයාද, ඥානවන්තයාද, එසේම ඒ මරණය වැළඳ ගන්නවා.”
එහෙත් අඥනයා අවිද්‍යාව නිසාම මෝහයෙන් අන්ධව, තණ්හාවෙන් සෑහීමකට පත් නොවී දුකට පත්වෙනවා.
ඒ අතර ඥානවන්තයා, ලෝක ධර්ම තාවය ගැන අවබෝධයෙන් අටලෝ දහමෙන් කම්පා නොවී සංසිඳීමට පත්වෙනවා”.
“එබැවින් අප්‍රමාණවූ සමුර්ධියක් ඇති මරණයක් (නැවත උපතක් නැති) කරා යාමට අවශ්‍ය අවබෝධය ලබාදෙන ප්‍රඥාව තමයි ධනයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ.
ඒ ප්‍රඥාව නැති මෝහයෙන් වැසුණු කෙනා, නොපැමිණි නිෂ්ඨා ඇතිව
පවු කම් රැස් කරමින් භවයෙන් භවයට ගමන් කරමින්, දුකම උරුම කරගන්නවා”.
“පූර්ව කර්ම අනුව තවත් සත්ථාවාසයක පිළිසිඳ සසර ගමනේ තවත් පරම්පරාවක් ඇතිකරගනිමින්,
තවත් උපතකට හේතු වන තණ්හා-දෘෂ්ඨි-මාන කෙරෙහි බැඳීමෙන් මෝහයෙන් කටයුතු කරනවා”.
“ගෙවල් බිඳිමින් සොරකම්හි යෙදෙන සොරාට, ඒ කල පාප කර්ම
හේතුවෙන් අකුසල් විපාක විඳීමට සිදුවෙනවා සේම,
‘මමය-මගේය-මටය’ කියා තණ්හා-දෘෂ්ඨි-මාන වලින් බැඳෙන මේ සත්වයන්ටද, ඒ කර්ම හේතුකොට ගෙන මතුවට විපාකයන් විඳීමට සිදුවෙනවා”.
“ඒ ඒ මොහොතේ දකින-අසන, රූප කාම තණ්හාව නිසා ‘විසිතුරුයි- මනෝරම්‍යයි-මිහිරියි’ යනුවෙන් උපාදානය කරගැනීමෙන්, ඒවා සුභයි-අසුභයි හෝ ප්‍රියයි-අප්‍රියයි හෝ හොඳයි-නරකයි හෝ, ලෙසින් ඇතිවන සිතිවිලි නිසා මගේ සිත කම්පනයට පත්වෙන බව මම දැන ගත්තෙමි,
ඒ දැනෙන සුභයි-අසුභයි හෝ ප්‍රියයි-අප්‍රියයි හෝ හොඳයි-නරකයි හෝ යන සිතිවිලිද, ඇතිවී පැවතී නැතිවී යන තාවකාලික හැඟීම් බවද නුවණින් අවබෝධ කර ගත්තෙමි.
ඒ අනුව, සෑම උපාදානයකම-බැඳීමකම අවසානයේ උරුම වන්නේ දුක පමණක්ම බව අවබෝධ කරගෙන, කාමයෙහි ඇති ආදීනවය නුවණින් දැනගත්තෙමි.
එබැවින් ස්ථිරව සංසිඳීමක් ඇති කරන පැවිද්ද ශ්‍රේෂ්ඨ බව අවබෝධ කරගෙන පැවිදි දිවියට පත්වුනෙමි, මහරජ”
“ගස් වල ගෙඩි ලපටි-අමු-ඉදුණු ලෙස තෝරා බේරීමකින් තොරව වැටෙන්නා සේ, ලපටි-බාල-වැඩිහිටි-මහලු යන භේදයකින් තොරව, එකිනෙකා ඒ සිරුරු අතහැර මෙලොවින් යනවා.
එය නුවණින් දැක, නුවණින් අවබෝධ කර, ස්ථිරව සංසිඳීමක් ඇති කරන පැවිද්ද ශ්‍රේෂ්ඨ බව අවබෝධ කරගෙන පැවිදි දිවියට පත්වුනෙමි, මහරජ”.