මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-මහා වග්ගය- කෙලෙස් නමැති හුල් උදුරා දමමින් දුක්ඛ-දෝමනස්සයන්ගෙන් මිදෙන ආකාරය පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.
1.මනුෂ්‍යාගේ මේ ජීවිතය දුක හා එකට බැඳුනු, කරදර සහිත, ආයුෂ කාලයට නියමයක් නැති, වැඩිකල් නොපවතින, එකක් බව තේරුම් ගත යුතුයි.
2.උපන් සත්වයාට කිසියම් ලෙසකින් වත් නොමැරී ඉන්න කිසිම ක්‍රම උපායක් නැහැ. වයසට ගොස් හෝ ලෙඩ වී හෝ මරණයට පත්වීම, පණ ඇති හැම සත්වයෙකුටම උරුම වන්නක්.
3.ඊළඟ උදේ නැගිට බලන විට, රාත්‍රියේ පල බර ගස් වල ඇති කුඩා නොමේරූ ගෙඩි, නොපැසුණු ගෙඩි වැටී තිබේවිද යන භිය වගේ, ඉපදුන මනුෂ්‍යයා නිතරම ජීවත් වෙන්නේ මරණ භයෙන්.
4.යම්සේ කුඹල් කරුවෙක් හදන මැටි භාජනයක් කැඩී බිඳී ප්‍රයෝජනයක් ගත නොහැකි වී යනවා සේ, මේ මනුෂ්‍ය ජීවිතය ඇති ශරීරයත්, අවසානයේදී කැඩී බිඳී විනාශ වී යනවා.
5.බාලයාද, මහල්ලාද, නූගතාද, උගතාද, කිසිදු භේදයකින් තොරව
මේ සියල්ලෝම මාරයාගේ වසඟයට යනවා, සියල්ලන්ටම මරණය උරුම වෙනවා.
6.ශෝක-දුක්ඛ-දෝමනස්ස ආදියෙන් පීඩිතව සිටියත්, පියාට පුතාවත්, පුතාට පියාවත්, දන්නා කියන නෑයෙකුට තම ඤාතියා වත්, මේ මරණයට පත්වීමෙන් ගලවාගැනීමට හැකිවන්නේ නැහැ.
7.මරණයට නුසුදුසු බාල-යෞවන හරකුන් පවා මරණයට ඇද ගෙනයන්නා සේ, පසෙකින් ඥාතීන් විලාප නගමින් හඬද්දීම, මනුෂ්‍යයින් එකින් එකා මරණය වෙත පමුණුවනු ලබනවා.
8.මෙසේ වයසට පත්වෙමින්, ලෙඩ වීමට භාජනය වෙමින්, මරණයට පත්වෙමින්, මේ ලෝකයේ සත්වයා ඛේදනීය වූ ගමනක යෙදී සිටිනවා.
මේ ලෝකයේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගන්නා ප්‍රඥා වන්තයාට ශෝක කිරීමට සිදුවන්නේ නැහැ.
9.ආ මග හෝ යන මග නොදැන, ඒ ඛේදනීය වූ සසර ගමනේ යෙදෙන සත්වයා, පටන් ගත් හෝ අවසන් කරන අන්ත දෙක නොදැක, නොදැන විලාප කියමින් හඬමින් ශෝක කිරීම නිෂ්ඵල වන ක්‍රියාවක්.
10.මේ විලාප කියමින් හැඬීමේ ක්‍රියාවෙන් නිත්‍ය වශයෙන්ම විනාශය හැර වෙන කිසිවක් ලබන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් නම් මුළාවූ තමන්ට තව තවත් පීඩා කරගන්නේ නැහැ.
11.හැඬීමෙන් හෝ ශෝක කිරීමෙන් සිතට සංසිඳීමක් ලැබෙන්නේ නැහැ.
අධික සේ දුක උපදවීමෙන්, අහෝ ඔහුගේ ශරීරය දුර්වල වෙනවා.
12.තමන්ගේ ප්‍රියයෙක් මැරුණ විට හැඬීමෙන්, ඒ මලගිය අයට කිසි රැකවරණයක් හෝ යහපතක් සිදුවන්නේ නැහැ. ලෝකයේ යථාර්ථය ගැන අවබෝධය නැතුව මුලා වී සිටිමින්, අඬමින්-විලාප කියමින් තව තවත් තමන්ටම පීඩා කර ගැනීම නිසා, ඔහුගේ ශරීරය වැහැරී ගොස් දුර්වර්ණ වීමට පටන් ගන්නවා.
13.ශෝකය දුරු නොකරන සත්වයා, අධික දුකකට යටත් වී පීඩා විඳිනවා.
මැරුණු පුද්ගලයා පිලිබඳ ශෝකාතුර වචන කියමින් විලාප නගමින් හඬන පුද්ගලයාද, යම් දිනක මරණයට පත්වෙනවා. මේ බව නොදන්නා නිසා ශෝකය දුරු නොකරන සත්වයා, අධික දුකකට යටත්ව දුකෙන්ම ජීවිතය ගෙවා දමනවා.
14.මෙසේ සියලුම ප්‍රාණීන්, තමන් විසින් සිදුකරගත් කුසල අකුසල කර්ම සහ ලෝක ධර්මතාවය අනුව මරණයෙන් කෙලවර වන බව, අන්‍ය පුද්ගලයන් දෙසද නුවණින් බලමින් අවබෝධ කරගත යුතුයි.
15.යම් හෙයකින්, යමෙකු විසින් මේ ධර්මතාවය වටහා ගත් තැන් පටන්, ඔහු තම ඤාති වියෝවකදී ක්‍රියාකරන්නේ වෙනස්ම ආකාරයට. ඔහුට මේ මරණයෙන් වෙන්වීම යන සංසිද්ධිය හැඟෙන්නේ ලෝක සත්වයාගේ ස්වභාවය බවයි.
16.කෙනෙක් අවුරුදු සියයකට වඩා ජීවත් උනත්, කවදා හෝ නෑ සමූහයෙන් වෙන්වීමට සිදුවෙන බව අවබෝධ වූ දා සිට, ඔහු තමාගේ හෝ අනුන්ගේ ජීවිත කෙරෙහි ඇති බැඳීම් අත හරිනවා.
17.එබැවින් මේ සත්‍යය පිළිබඳව රහතන් වහන්සේ කෙනෙකුගෙන් අසා දැන අවබෝධ කරගන්නා කෙනා, මරණයට පත්වූ අය නැවත තමා විසින් නොලබන බව තේරුම් ගෙන, ප්‍රියයෙකුගේ මරණයේදී මෙතෙක් තමා සිදුකල ශෝක කිරීම්-වැළපීම් වලින් දුරු වෙනවා.
18.මේ යථා අවබෝධය ලබාදුන්නා වූ කල්‍යාණවන්ත ආශ්‍රය නිසා ඔහුට ගෞරවය සමග පිහිට ද ලබාගැනීමට හැකිවෙනවා. ඒ උපකාරයෙන් ඔහුට, සම්පූර්ණ සැනසීම වන සසර දුකින් නිදහස් වීමට හැකිවෙනවා.
මෙසේ ප්‍රඥාවන්තයාගේ ඇසුරට වැටෙන ඒ නුවණැති දක්ෂ මනුෂ්‍යයාගේ ශෝකය, හුළඟට ගසාගෙන යන පුළුන් රොදක් සේ වහා ඔහුගෙන් ඉවත් වී යනවා.
19.රාගයෙන් මත් නොවූ කෙනා තමන්ගේ සැපය වෙනුවෙන්
තමන්ගේ විලාප කියා හැඬීමේ ආශාව, හිතේ නොසතුටු ස්වභාවය,
ඉතා සීග්‍රයෙන් දුරු කර ගනු ලබනවා.
20.කෙලෙස් නමැති උල් උදුරා දමා තණ්හා-දෘෂ්ඨි-මානයන් දුරු කර සිත සංසිඳුවා ගත් කෙනා, සියල්ල කෙරෙහි ශෝක කිරීම් දුරු කර, ශෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස රහිත නිවණ නමැති උතුම් තත්වයට පත්වෙනවා.