ධම්ම පදය-මාර්‍ග වර්‍ගය
තමන් විසින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි, කියමින් උපාදානය කරගන්නා සියල්ල නිසා ඇතිවන ඇලීම්-ගැටීම්ද, කැමැති-අකමැති රූප ඒ ආකාරයටම නොපැවතීමද, මුලින් ඇතිවූ කැමැත්ත-අකමැත්ත ඒ ආකාරයටම නොපැවතීමද, යන මේ සියල්ල තමන්ට උරුම කරන්නේ දුකක් බව, යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
දුකට කැමති නැති තමන්ට ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් අයිතිකරගන්නා දේවල් නිසාම දුක ඇතිවෙන්නේ නම්, ඒවා ‘මම හෝ මගේ හෝ මගේ ආත්මය’ වන්නේ කෙසේදැයි, තමන්ගෙන්ම නුවණින් විමසමින්, ඒ උපාදානය කරගත් සියල්ල කෙරෙහි කළකිරෙනවා.
ඒ ආකාරයෙන් කළකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.