ප්‍රවර්ග
Articles

දෙමව්පියන්ට කෘතගුණ සැලකීම

“ද්වින්නාහං භික්ඛවෙ! න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච”

“මහණෙනි, ඔබලාට මේ ලෝකයේදී ගෙවීමට ඇති ණයෙන් එක්තරා දෙදෙනෙකුට පමණක් ගෙවීමට ඇති ණය කිසිදා ගෙවා දමා නිදහස් වීමට පහසු නොවන්නේය.

ඒ දෙදෙනා වන්නේ, මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රතිසන්ධියක් ලබා ගැනීමට කුසල් රැස්කර ගත් ඔබට මෙලොව එළිය දැකීමට පිහිට වූ ඔබේ දෙමව්පියන්ය.
තවදුරටත් උන්වහන්සේ මෙසේ පහදා දුන් සේක”.

“යම් කිසි කෙනෙක් තම දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙමි’යි අරමුණු ඇතිව, මව දකුණු උරය උඩත්, පියා වම් උරය උඩත්, තබා ගෙන එම දෙදෙනාව නාවමින්- කවමින්-පොවමින් ඔවුන්ගේ සියලු කැත කුණු අස් කරමින් පිරිසිදු කරමින්, අවුරුදු සියයක් පුරා උපස්ථාන කළේ වී නමුදු, ඔහුට ඒ ණයෙන් නිදහස් විය නොහැක්කේය.

එලෙසම කෙනෙක් මුළු සතර මහාද්වීපයම (කරුණාකර සලකන්න – මෙයින් අදහස් කරනු ලැබ ඇත්තේ බුදුන් දවස මේ ලෝකයේ තිබී ඇත්තේ මහාද්වීප හතරක් පමණක් විය හැකි බවයි.) සත්රුවනින් පුරවා, එම රාජ්‍යයේ සක්විති රජකම තනතුරට තම දෙමව්පියන් පත්කර ඔවුන්ට පූජා සත්කාර කරන්නේද, එයද ඒ මව්පිය දෙදෙනාට කරන නිසි උපකාරයක් නොවන්නේය”, යනුවෙන්.

එසේ නම් කෙසේද එම ණයෙන් නිදහස් විය හැකි වන්නේ?
පලමුව තමන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම නුවණින් අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි. එලෙස ලබා ගන්න අවබෝධයට අනුව ඒ කෙනාට හැකිවෙනවා, තමන් මෙන්ම ලෝකයේ සිටින බොහෝ මිනිසුන්ද, තම දෙමව්පියන්ද, කෙලෙස් නිසා සසරේ අතරමංව අසරණවී සිටින බව වටහා ගැනීමට. එලෙස වටහා ගැනීමට දක්ෂ වන කෙනා උත්සාහ කරනවා ඒ අවිද්‍යාවෙන් මිදෙන්න. එවැනි වූ කෙනෙක් ඔහු වටා සිටින සතුරන්ට පවා බුදුන්ගේ ධර්මයේ වටිනා කම වටහා දීමට උත්සාහ කරනවා. ඒ ඔහු අවිද්‍යාවෙන් ගැලවීමට වීර්යය කරන අතරතුර දෙමව්පියන්ටද ඒ මාර්ගය දැකගැනීමට මග සලස්වනවා.

එහෙනම් කෙලෙසද ක්‍රියා කළ යුත්තේ?
තමන්ගේ දෙමව්පියන් ගැන අනුකම්පාවෙන් හැකි ආකාරයට කරුණු පහදා දෙන අතරම තමන්ට හැකියාවක් ඇත්නම්, දෙමව්පියන් ජීවත් වන වටපිටාවද සුදුසු පරිදි සකසා දීමෙන්, ඔවුන්ට උපකාරයක් සලස්වනවා සේම තමන්ටද බොහෝ කුසලයක් අත් කරගත හැකි වන්නේය. (කරුණාකර අවබොධ කරගැනීමට උත්සාහ කරන්න, කුසල් සහ පින් අතර වෙනස. ඒ වගේම තේරුම් කරගන්න කුසල-සංස්කාර කියා දෙයක් බුදුන් වහන්සේගේ ධර්මයේ නොමැති බව)

  • වස්තු තණ්හාව නිසා ඇතිවන විඩාව, මානසික අසහන කාරී බව ගැන තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • නොසංසිඳෙමින් දේපල වස්තුව එක් රැස් කරත්, ඒ කිසිවක් නිසා සදාකාලික සතුටක් ලබා ගත නොහැකි බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • කොපමණ දේපල ඤාතීන් පිරිවරා ගෙන සිටියත්, ඒ කිසිවකට තමන්ව ලෙඩ වීමෙන්-වයසට යාමෙන්-මරණයෙන්-ගලවා ගැනීමට හෝ ඒ කිසිවක් බෙදා හදා ගැනීමට හෝ නොහැකි බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • මරණය යනු ඉපදුන හෝ හටගත් සියලු සත්වයාට පොදු ධර්මතාවයක් බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව වටහා දී, ඒ සඳහා වර්ථමාන මොහොතේ සිටම අත්හැරීම පුරුදු පුහුණු වෙමින් සුදානම් විය යුතු ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දීම
  • මහලු බවට පත්වී සිටින මව්පියන් සිටින කෙනෙක් නම්, තමන්ට ආර්ථික වශයෙන් හැකියාවක් තිබේනම්, ඒ දෙමව්පියන්ට ජීවත් වීමට සුදුසු විවේකය ඇති පරිසරයක් සකස් කර දී, සතර බ්‍රහ්ම විහරණයන් පුහුණු කිරීමට අවශ්‍ය වටපිටාවක් ඇති පරිසරයක් සකස් කර දීම
  • බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයටම දාන-ශීල-භාවනා ගැන තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින්, දෙමව්පියන්ද ඒ සඳහා යොමු කිරීම.

මේ තමයි බුදුන් වහන්සේ මව්පියන්ට සලකන නිවැරදි ක්‍රමය පෙන්වා දුන් ආකාරය. බෞද්ධ කෙනෙක් හිතනවා නම් මවුපියන්ගේ සිත සතුටු වන ආකාරයට ලෞකික සැප සම්පත් ලබා දීම සහ ඔවුන්ගේ නොනවතින ආශාවන් ඉටු කර දීම තමයි දෙමව්පියන්ට සැලකීම වන්නේ යයි කියා, එසේනම් ඒ සිතන පුද්ගලයෙකුගේත්, අනිකුත් ආගමිකයෙකුගේත් විශ්වාසයන් ඇදහීම් අතර කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. හේතුව නම්, තම දෙමව්පියන්ව ආදරයෙන් රැක බලාගෙන සලකන්නේ බෞද්ධයෝ විතරක් නොවෙන නිසා. මේ ලෝකේ පටන් ගත්ත දවසේ සිටම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු හැම තැනකම, හැම රටකම, හැම ජාතියකම, හැම ආගමකම, හැම කුලයකම, හැම ගෝත්‍රයකම ඉන්නෙ ඒ ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කළත්, නොකළත් ඔවුන් උපදින විට රැගෙන එන ආවේනික ගතිගුණ නිසයි. කෙනෙක්, තමන්ගේ ආගම මෙයයි, යනුවෙන් තමන් විසින් හංවඩු ගසා ගත යුත්තේ, ඒ ආගමික ශාස්තෘන් වහන්සේ පෙන්නා දුන් ධර්මයට අනුව ඒ පෙන්වා දුන් ආකාරයටම අවබෝධයකින් යුතුව ක්‍රියාවෙන් පිලිපදිනවා නම් පමණයි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ දාන-ශීල-භාවනා

බුදු දහමට අනුව දානය යනු අතහැරීමයි. සිතින් අතහැරීමයි. ඒ අනුව බුදුන් වහන්සේ දේශනා කළේ, මේ ලොව ඇති උතුම්ම දානය වන්නේ, තමන්ගේ සිතේ හටගන්නා සංස්කාර (අවිද්‍යාව නිසා තණ්හාවෙන් ඇතිකර ගන්නා අදහස්) මෙන්ම, තමන්ගේ කැමත්තද, තමන්ගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස්වන ස්වභාවය හෙවත් අනිච්ච බව අවබෝධ කරගැනීම සඳහා එක මොහොතකට හෝ සිහියෙන් සිටීමයි. එසේ සිහියෙන් සිටිමින් තමන් තුල ඇතිවන ඇලීම්-ගැටීම් වල ඇති හිස් බව වටහා ගැනීමට උත්සාහ කිරීමෙන් තමයි, අතහැරීම පුරුදු කරගැනීමට හැකිවන්නේ.

මෙම අතහැරීම (දානය) පුරුදු නොකරන තාක් කල්, නිවැරදි ශීලය පුරුදු කල හැකි වන්නේ ද නැත.

බුදුන්ගේ ඉගැන්වීමට අනුව ශීලය යනු හුදෙක් බාහිර ඇඳුමට සීමා වන දෙයක් නොවන බවත්, නිර්මාංශ වීම වුවද සිදුවිය යුත්තේ සියලු ලෝක සත්වයාටම මෛත්‍රිය කරුණාව මුදිතාව පතුරන අරමුණින් මිස මාංශ අනුභවයෙන් පවක් සිදුවේයැයි සිතා නොවන බවත්, අවබෝධ කරගත යුතු වනවා. පිළී ගඳ යනු මස් මාංශ වල ගඳ නොව, තමන් තුල ඇති රාග-ද්වේෂ-මොහ යන කෙලෙස් බව, කාශ්‍යප බුදුන් වහන්සේ විසින් සිදුකරන ලද දේශනාවක් අනුසාරයෙන් ගෞතම බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ශීලය ලෙස පෙන්වා දී තිබෙන්නේ, නිවැරදි අවබෝධය තුලින් තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කරගනිමින් තමන් තුල පවතින තෘෂ්ණාව දුරු කර ගැනීමක් මිස, කය පමණක් අරමුණු කරගනිමින් බාහිරින් පමණක් ඇතිකරගන්නා තවත් හුදු වෘතයන් නොවෙන බවද තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

රූප තණ්හාව-රස තණ්හාව-ශබ්ද තණ්හාව- ගන්ධ තණ්හාව-ස්පර්ශ තණ්හාව-කිසිදු පාලනයකින් තොරව තමා තුල පවත්වා ගනිමින්, නිර්මාංශ වීමෙන් පමණක් කෙනෙකු ශීලයක් ආරක්ෂාකරනවා යයි සිතනවා නම් එය තමන් විසින් තමන්වම රවටා ගැනීමක් බව අවබෝධ කරගත යුතු වෙනවා.

හේතුව නම් එවැනි අය මස් මාලු ආහාරයට ගැනීමෙන් වැළකුණත්, ‘මමය-මගේය- මටය’ යනුවෙන් ඇතිකරගන්නා තණ්හාව නිසා, තමන් තුල හටගන්නා වෛරී සහගත සිතිවිලි හේතුවෙන්, තමන්ගේ ජාතිය-ආගම-කුලය-රට-පවුල-ඤාති-මිත්‍රයන් ආරක්ෂා කිරීම හෝ ඒ ඔවුන්ගේ සුභ සිද්ධිය හෝ උදෙසා ඕනෑම මොහොතක අන් සත්වයෙකුට හෝ මනුෂ්‍යයයෙකුට හෝ අමනුෂ්‍යයෙකුට හෝ වෙනයම් ජීවියෙකුට හෝ හිංසා-පීඩා සිදු කිරීමට ඕනෑම මොහොතක පෙළඹිය හැකි හෝ වෙනත් කෙනෙකු විසින් පොළඹවාගත හැකි වන නිසයි.

බුදු දහමට අනුව භාවනාව යනු තමා ගැන දැනගැනීමයි. තමාගේ සිතිවිලි ගැන සිහියෙන් සිටිමින් තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස හික්මවා ගෙන සංවර කර ගෙන ස්ථිර ලෙසම තණ්හාවෙන් අත්මිදෙමින් සංසිඳීමට පත්වීමයි. ඒ සඳහා පලමුවෙන්ම අවශ්‍ය වන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නිවැරදිව අසා දැන අවබෝධ කරගෙන, ඒ ඒ ගතවන සෑම මොහොතකම සිහියෙන් සිටිමින් තමන්ගේ සිතට එන සිතිවිලි හඳුනා ගැනීමයි. තමන්ගේ සිත නගරයකට උපමා කරගන්න, යයි බුදුන් වහන්සේ දේශනා කළේ මේ නිසයි. නගරයට ඇතුළුවන දොරටුව ළඟ සිටින දොරටු පාලකයෙකු සේ, ඔබගේ සිහිය ඔබගේම සිතට එළඹවා ගෙන ඒ සිතට එන සිතිවිලි හඳුනා ගනිමින්, රාග-ද්වේශ සිතිවිලි එන්නේ නම් ඒවා වහා ඉවත් කිරීමට නුවණින් මෙනෙහි කරමින් කටයුතු කිරීමටත්, මෛත්‍රී කරුණා මුදිතා සිතිවිලි එන්නේ නම්, ඒවා තව තවත් වඩවා ගැනීම සඳහා කටයුතු කිරීමටත්, නුවණින් සිදු කරන ක්‍රියාව තමයි, බුදුන් වහන්සේ භාවනාව ලෙස හඳුන්වා දී තිබෙන්නේ.

දානයත්, ශීලයත් පුරුදු නොකරන තැනැත්තාට නිවැරදි භාවනාව පුරුදු කළ හැකි වන්නේ නැත. එයට හේතුව නම්, බුදුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, දානය සහ ශීලය පුරුදු කර ගැනීම සඳහා තමන් තුල ඇති ලෝකයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන නිවැරදි අවබෝධයක් ඇතිව සිතින් කයින් වචනයෙන් ක්‍රියා කිරීම සිදු කළ යුතු වන නිසාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න