ප්‍රවර්ග
Articles

අනුස්සතිය

මගේ යයි කියාගත් මේ ශරීරයද, මගේ යයි කියාගන්නා මේ හිතද, සෑම ක්ෂණයකම මගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස් වෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා සේම, ඒ ඒ ක්ෂණයේ මගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය සහ සිතට හමුවන දේවල් නිසා ඇතිවන මගේ කැමැත්ත-අකමැත්තද වෙනස් වෙන බව, එළඹ සිටි සිහියෙන් සිටින විට මට දැන් වැටහෙමින් තිබෙනවා.
මෙතෙක් කාලයක් අවිද්‍යාවෙන් දෘෂ්ඨිගතව සිටි මා, ස්ථිර යයි-සදාකාලික යයි, ලෝභයෙන් උපාදානය කරගත් ලැබීම්-ජයග්‍රහණ-ප්‍රශංසා-වර්ණනා-ලාභ-සැප යන සියල්ලද, ද්වේෂයෙන් උපාදානය කරගත් අලාභ-නින්දා-කායික දුක්-මානසික දුක්-පරාජ-අවලාද යන සියල්ලද, නිසා මා තුල ඇතිවූ සතුට හෝ දුක සදාකාලික වූයේ නැති බවත්, ඒ ඇතිවූ සෑම සිතක්ම අවසානයේ මා තුල උපද්ද වූයේ නොසංසිඳීම-කළකිරීම-අසහනය-භිය-මානසික පීඩාව පමණක් බවත්, මට දැන් වැටහෙමින් තිබෙනවා.

යම් ලාභයක්-ජයක් ලැබුණු විටදී එය ආරක්ෂා කර ගැනීමට හෝ ඒ ලැබූ ලාභයෙන් තවත් ලාභ සෙවීමට හෝ මාව පෙලඹවූ, මා තුල ඇති තණ්හා-දෘෂ්ඨි-මාන නිසා,
ඒ ලබාගත් ලාභය හෝ ජය නිසාත්, ඒකාන්තයෙන්ම මට සිදුවූයේ අසහනයෙන්, පීඩාවෙන්, බියෙන් කල් යවමින් දුකට පත්වීමට බව
මට දැන් හොඳින් වැටහෙමින් තිබෙනවා.
ඒ අනුව මම මෙතෙක් ගෙවා දැමූ, ජීවිත කාලය පුරාම
ඒකාන්තයෙන්ම විඳ ඇත්තේ දුකක්ම පමණක් බව මට දැන් වැටහෙමින් තිබෙනවා.
මම ඇත්තටම දුකට කැමති නැති නමුත්
මම විසින් උරුම කරගෙන ඇත්තේ දුකම පමණක්මය.
එසේ නම් ඒ දුක ගෙන දුන් මගේ යයි කියාගත්
ශරීරය හෝ සිත මගේ වන්නේ කෙසේදැයි මම දැන් මගෙන්ම විමසමින් සිටිමි.

ඉතා දුර්ලභ වන බුද්ධෝත්පාද කාලයක, ඉතා දුර්ලභ ක්ෂණ සම්පත්තියක් සහිත මිනිසත් බවක් ලබා සිටියදීත්, මේ ජීවිතය තුලදීද මම මෙතෙක් සිදු කර ඇත්තේ අනික් මනුෂ්‍ය-අමනුෂ්‍ය-තිරිසන් යන සෑම සත්වයෙක්මත් විසින් සිදුකරන
ආහාර ගැනීම-නිදා ගැනීම-භියෙන් පසුවීම-කය සන්තර්පණය කිරීම, වැනි දේ පමණක් බව මට දැන් වැටහෙමින් තිබෙනවා.

“උක්ඛිත්තා පුඤ්ඤතෙජෙන කාමරූපගතිං ගතා
භවග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡන්ති දුග්ගතිං”

“කරන ලද පින් කම් හේතුකොට ගෙන දිව්‍ය ලෝක-බ්‍රහ්ම ලෝක වල උපත ලැබුවත්,
ඒ පින් අවසන් වූ කල්හි නටුවෙන් ගිලිහුණු ගෙඩියක් සේ
නැවතත් දුගතියටම පමුණුවනවා” යන බුදු වදන සිහියට නගමින්,
මම දැන් වීර්යය කරන්නේ බුදුහාමුදුරුවන් පෙන්වා දුන් ආකාරයට
මේ කය හෝ සිත හෝ මගේ නොවන බව අවබෝධ කරගෙන,
ඒ කය සහ සිතම උපයෝගී කරගෙන කුසල් වඩවා ගනිමින්,
මෙලොවදී මෙන්ම පරලොවදීද ශෝක නොකර ඒකාන්තයෙන්ම සතුටින් සිටීමට හැකිවන, මනුෂ්‍යයෙක් වශයෙන් පත්විය හැකි උසස්ම සහ උතුම්ම තත්වය වන
‘නිවණ’ ට පත්වීමටයි.

මෙය ගෙවෙන සෑම මොහොතකම කළයුතු, කළ හැකි භාවනාවයි.

යම් කෙනෙක් තමන්ගේ කයේ,
තමන්ට ඇතිවන වේදනාවල,
තමන්ගේ සිතේ,
තමන් තුල පවතින ස්වභාවයන්ගේ,
යථා ස්වභාවය නුවණින් හඳුනාගෙන
තමන්ගේ කය සහ සිත යනු
‘මම නොවේ-මගේ නොවේ- මගේ ආත්මය නොවේ’
යන්න තමන් විසින්ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගැනීම සඳහා බුදුහාමුදුරුවන් පෙන්වා දුන් ආකාරයට
වීර්යය කරන්නේ නම්,
ඒ ඔහුට ‘බුදුන් සරණ ගිය උපාසකයෙක්ද,
ඒ ඇයට බුදුන් සරණ ගිය උපාසිකාවක්ද’
යයි කියනු ලැබේ.

“මෙසේ කෙලෙස් තවන වීර්යයෙන් කටයුතු කර,
රාග-ද්වේෂ-මෝහ නමැති කෙලෙස් මාර සේනාව හා සටන් වැද, තෘෂ්ණාව මුළුමනින්ම දුරුකිරීම නමැති ජයග්‍රහණය
අත් කර ගැනීම නිසා, අතීතයේ ඇතිවූ සියලු භය වලින් මුළුමනින්ම මිදී සතුටින් වාසය කරන ඒ ප්‍රඥාවන්තයා,
තම ශාස්තෘන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෙකි”.

මහා සමය සූත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න