
“ සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො එකචඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්‍ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පචඡිමෙ වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය, තත්‍රස්ස කාණො කච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං උම්මුජ්ජෙය්‍ය, තං කිම්මඤ්ඤථ භික්ඛවෙ! අපි නු සො කාණො, කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, යදි නූන භන්තෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චෙය්‍යනාති, ඛිප්පතරං ඛො සො භික්ඛවෙ! කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලේ යුගෙ ගීවං පවෙසෙය්‍ය, තතො දුල්ලභතරාහං භික්ඛවෙ! මනුස්සත්තං වදාමි, සකිං විනිපාතගතෙන බාලෙන” යනු බුදුන් වහන්සේ මිනිස්බව දුලබ බව පෙන්වා වදාළ එක් දේශනාවකි.
“යම්සේද මහණෙනි! කෙනෙක් එක සිදුරක් තියන විය ගස් දණ්ඩක් මහා සාගරයට දමනවා. දැන් මේ මහා සාගරයට දමපු මේ වියගහ නැගෙනහිරින් හමන හුළඟට බටහිරට ගසා ගෙන යනවා, බස්නාහිරින් හමන හුළඟට නැගෙනහිරට ගසා ගෙන යනවා, උතුරින් හමන හුළඟට දකුණට ගසා ගෙන යනවා, දකුණින් හමන හුළඟට උතුරට ගසා ගෙන යනවා, එහි කණ කස්බෑවෙක් වසර සියයක් ඉකුත්වීමෙන් එක් වරක් දිය මතු පිටට එනවා. මහණෙනි, කොහොමද මේ ගැන හිතන්නේ? ඒ කණ කස්බෑවට ඒ එක සිදුරක් තියන වියගහේ සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්න හැකිවෙනවද?”
‘නැහැ ස්වාමීනි, එය බොහෝ කාලයකට කෙසේවත්, කවරදාවත් ස්ථිරව සිදුවිය නොහැකි දෙයක්’.
“එහෙනම් මහණෙනි, වහා ඉක්මන් කරන්න. ඒ කණ කස්බෑවා විය සිදුරෙන් බෙල්ල රිංගවීම යම්සේ දුර්ලභව සිදුවේද, ඒ ආකාරමයි කෙනෙක් සතර අපායට වැටුනොත් නැවත මනුස්ස ආත්මයක් ලබාගැනීමත්”.
මෙම පහත ගාථා දෙක තෙලකටාහ ගාථා වලින් උපුටාගත් ගාථා දෙකකි.
ලද්‌ධාන දුල්‌ලභතරඤ්‌ච මනුස්‌සයොනිං
සබ්‌බං පපඤ්‌චරහිතං ඛණසම්‌පදඤ්‌ච,
ඤත්‌වාන ආසවනුදෙකහිතඤ්‌ච ධම්‌මං
කො පඤ්‌ඤවා අනවරං න භජෙය්‍ය ධම්‌මං?
සියලු ප්‍රමාදයට හේතුවන කෙලෙස් වලින් මිදිය හැකි ක්ෂණ සම්පත්තියකින් යුතු ඉතා දුර්ලභ වූ මනුෂ්‍ය උපතක් ලබාසිටියදීත්, කොයි නුවණැත්තාද තම අභිවෘර්ධිය තකා උත්සාහයෙන් කාමාදී ආශ්‍රවයන් දුරු කර හැකි මග පෙන්නා දෙන ධර්මයත් අසා දැන ගෙන නිතර ඒ ධර්මය අනුව පිළිපැදීම නොකර ඉන්නේ?
ලද්‌ධාන බුද්‌ධසමයං අතිදුල්‌ලභංච
සද්‌ධම්‌ම මග්‌ගමසමං සිවදං තථෙව,
කල්‍යාණමිත්‌තපවරෙ මතිසම්‌පදඤ්‌ච
කො බුද්‌ධිමා අනවරං න භජෙය්‍ය ධම්‌මං?
අසමසම වූ නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයටම නොවෙනස්ව පවතින ඉතා දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් ලබලාත්, කොයි නුවණැත්තාද ශ්‍රේෂ්ඨ උතුම් කල්‍යාණ මිත්‍රයෙක්ගේ උපකාරයෙන් ප්‍රඥා සම්පත්තිය ඇතිකරගෙන, නිතර ඒ ධර්මය අනුව පිළිපැදීම නොකර ඉන්නේ?