අමුර්ත ධර්මය | Eternal Doctrine

සූත්‍ර තිස් හතරක් ඇතුලත් දීඝ නිකායද,
සූත්‍ර එකසිය පනස් දෙකක් ඇතුලත් මජ්ඣිම නිකාය ද,
සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකක් ඇතුලත් සංයුක්ත නිකායද,
සූත්‍ර නවදහස් පන්සිය පනස් හතක් ඇතුලත් අංගුත්තර නිකායද,
ඛුද්දක පාඨ, ධම්ම පද, උදාන පාලි, ඉති වුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු,
පේත වත්ථු, ථේර ගාථා, ථේරී ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදාමග්ගප්පකරණය, අපදාන, බුද්ධවංස, චරියා පිටක යන ග්‍රන්ථ පහලොවද, විනය පිටකයද,
අභිධර්ම පිටකයද, අනිකුත් සියලුම බුද්ධ වචනද, ඇතුලත් වන ඛුද්දක නිකායද,
ඇතුළුව නිකාය වශයෙන් පස් වැදෑරුම් වේ.

ධර්මස්කන්ධ අසූ හාරදහසක් වූයේ කෙසේද?

“ද්වාසීතිං බුද්ධතො ගණ්හිං
ද්වෙසහස්සානි භික්ඛුතො
චතුරාසීති සහස්සානි
යෙ මෙ ධම්මා පවත්තිනො”

“බුදුන්ගේ දේශනා අසූ දෙදහසක් කොටස්ද, ශ්‍රාවක දේශනා දෙදහසක් කොටස්ද, ඇතුළුව අසූහාරදහසක් ධර්මස්කන්ධයන් මම දරාගෙන සිටිනවා”
යයි ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කල ගාථාවයි ඒ.

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනය

“අනෙක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහ කාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨො’සි පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛතං
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා”ති.
අයං තථාගතස්ස පඨම වාචා.

“නොයෙකුත් ආකාරයේ ප්‍රතිසන්ධීන් ලබමින්, නැවත නැවත දුකම උරුම කරදෙන සංසාරය පුරා ඇවිදිමින්, ඒ පීඩාවෙන් මිදී නිදුක් වීම සඳහා
ඒ මාව පෙලන්නා සෙව්වෙහිය.
මම ඒ පෙලන්නා දුටුවෙහිය. නැවත ‘මම’ යයි කවරක්වත් උපාදානය නොකරන්නේය.
‘සුබයි-සැපයි’ ලෙස උපාදානය කර සිටි සියල්ල කෙරෙහි කලකිරී,
ඒ උපාදානය කර සිටි හේතුව වන,
‘මම’ය යන හැඟීමෙන් ඇතිකරගත් තණ්හා-දෘෂ්ඨි-මානයන් සිඳ දා, තෘෂ්ණාව මුළුමනින්ම දුරුකර, මධ්‍යස්ථ බවට පත්වුනෙහිය”,
යන්න තථාගතයන් වහන්සේගේ ප්‍රථම වචනය වේ.

භාග්‍යවතුන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය

“හන්ද දානි භික්ඛවෙ, ආමන්තයාමි වො,
වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා”ති.
අයං තථාගතස්ස පච්ඡිමා වාචා.

“එසේනම් මහණෙනි, දැන් මම තොපට ආමන්ත්‍රණය කරමි, ‘මම’ ය යන හැඟීම නැතිකර ගැනීම සඳහා සිහියෙන් යුතුව අප්‍රමාදව කටයුතු කරන්න”,
යයි තථාගතයන් වහන්සේගේ අවසාන වචනය වේ.

භාග්‍යවතුන් වහන්සේගේ, ප්‍රථම බුද්ධ වචනය වන අනෙක ජාති සංසාරං……. සිට හන්දදානි බික්ඛවේ ආමන්තයාමි, වො…….. යන අවසාන බුද්ධ වචනය දක්වා වසර හතලිස් පහක් පුරා දේශනා කල අසූ දෙදහසක් ධර්මස්කන්ධය එකම රසයකින් යුතු වන්නේය. ඒ නම් විමුක්ති රසයයි. ඒ ධර්මයේ මුල-මැද-අග කොතනකින් ගත්තත් එහි ඇත්තේ ‘මමය-මගේය- මගේ ස්ථිරවූ ආත්මයක් ඇත’ යන්න සිතා සිටින අවිද්‍යා සහගත අදහස දුරලිය යුතුය, යන ඉගැන්වීමයි. අවිද්‍යා සහගත බැඳීම් වලින් මිදිය යුත්තේ කෙසේද, යන්න ඉගැන්වීමයි.


බුදුන් දේශනා කර ඇත්තේ, සතර බ්‍රහ්ම විහරණයන් තුලින් ප්‍රඥාව උපදවාගෙන අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධය ඇතිකරගනිමින් අවිද්‍යාවෙන් මිදී නිදහස් වන මාර්ගය පෙන්වාදෙන ඉගැන්වීමකි. එය ‘මම’ යනු ස්ථිර කෙනෙකියි, යන හැඟීම දුරුකිරීම හෙවත් තමන්ගේ සිතෙන් තමා මිදී නිදහස් වීම නමැති විමුක්තිය ඇතිකරගැනීම සඳහා අනුගමනය කලයුතු ප්‍රතිපදාවයි.

ඒ බුද්ධ දේශනා අසූදෙදහසක් ධර්මස්කන්ධයේම තිබෙන්නේ
මෛත්‍රිය-කරුණාව-මුදිතාව-උපේක්ෂාවයි. අනිච්ච-දුක්ඛ-අනාත්ම ලක්ෂණයි. අලෝභය-අද්වේශය-අමෝහයයි. වීතරාගී-වීතදෝෂී-වීතමෝහී ස්වභාවයයි.

එය පහාරාද සූත්‍රයේ උපමා සහිතව පෙන්වා දී තිබෙන්නේ මෙසේයි.

“පහාරාද, මහාසමුද්දො එකරසො ලොණරසො. එවමෙවං ඛො පහාරාද, අයං ධම්මවිනයො එකරසො, විමුත්තිරසො.
යම්පි පහාරාද, අයං ධම්මවිනයො එකරසො, විමුත්තිරසො”.

“පහාරාද, මහා සමුද්‍රයේ ජලය කොතනකින් ගත්තද ඒවා ලුණු රසයෙන් යුක්තය.
ඒ ආකාරයටම පහාරාද, මේ ධර්මයේ වනාහිද ඇත්තේ එකම රසයකි,
එනම් විමුක්ති රසයයි.
පහාරාද, මෙලෙස මේ ධර්මය, විමුක්ති රසය නම් එකම රසයෙන් යුතු වන්නේය”.

මොහොතක් නැවතී නුවණින් මෙනෙහි කරන්න මේ ගැන!

ඇත්ත වශයෙන්ම අද බෞද්ධ සමාජය තුල විද්‍යාමාන වන්නේ බුදුන් වහන්සේ විසින් ඒ ආකාරයෙන් අර්ථ දැක්වූ විමුක්ති කාමී ස්වභාවයකින් යුතු ධර්මයක් ද?

විමුක්ති කාමී මිනිසුන් නම්, සතර බ්‍රහ්ම විහරණයෙන් දිවි පවත්වා ගෙන යාම සිදු කළ යුතු වන්නේය.

එනම් බෞද්ධයන් යනු මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ගුණයන්ගෙන් යුතු මිනිසුන් කොටසක් විය යුතු වන්නේය.

නමුත් එසේ සිදුවෙනවාද?

කොතරම් කරුණු කියා වත් තේරුම් කර දීමට නොහැකි තරමටම අද සමාජයේ මිනිසුන් දෘෂ්ඨි ගතවී තිබීම ඉතාමත් කණගාටුවට කාරණයක්. අඩුම වශයෙන් ලෙෳකික සම්මා දිට්ඨියට වත් පත්වීමට අපහසු වී තිබෙන්නේ, විශේෂයෙන්ම කර්මය-කර්ම ඵල විශ්වාස නොකිරීම නිසා බව නුවණින් සැළකූවිට අවබෝධ කරගැනීමට හැකිවෙනවා . අන්‍ය ජාතීන්-අන්‍ය ආගමිකයන් මිථ්‍යා දෘෂ්ඨිකයින් ලෙස හංවඩු ගසමින්, තමන් සම්මා දෘෂ්ඨිකයින් ලෙස හඳුන්වා ගත්තත්, ඒ ඔවුන් අදහස් කරගන්නා සම්මා දිට්ඨිය කුමක්ද යන්න වග ගැන වත් කිසිදු දැනීමක් නැති තරමටම මිථ්‍යා දෘෂ්ඨියේ පැටලී සිටින්නේ, ඒ  ඔවුන් තුල තණ්හා-දෘෂ්ඨි-මාන ඔඩු දුව ගොස් තිබෙන නිසයි.

භයංකාර සංසාරයක් ගැන කතාකරන නමුත් සංසාරය පුරාම තමන් දැන් සිටින සත්වයාම වන, එනම් මිනිසෙක්ම වශයෙන් සිටියා යයිද, තමන්ගේ රට-ජාතිය-ආගම-කුලය-ඤාති-තනතුරු-දේපල-මිල මුදල් ස්ථිරව නොවෙනස්ව, පෙර ජීවිත වලත් මේ ආකාරයෙන්ම පැවතුනා යයිද, මරණයෙන් පසුද ‘මම ම ලෙස ඉපිද මේ ආකාරයේම ජීවිතයක් ගෙවනවා’ යයිද, දැඩි දෘෂ්ඨියක එල්බී සිටින ඔවුන්, නොසංසිඳෙමින්, මිල මුදල්-දේපල සෙවීමට වෙහෙසෙමින්, ඒ නිසාම බොහෝ අකුසල්ද රැස්කරමින් සිටිනවා. එයට හේතුවන්නේ  ඔවුන් මිත්‍යා දෘෂ්ඨි ජාලයක පැටලී සිටින නිසා බව වටහා ගැනීමට හැකිවෙනවා.

නවීන තාක්ෂණය නිසා අපට අද හැකිවී තිබෙනවා, විශ්වයේ සිදුවෙන දේවල් පවා සුළුවෙන් හෝ දැකගන්න, දැනගන්න. අප ජීවත්වෙන පෘථිවිය වටා ග්‍රහයන් මෙන්ම නැකත් තරු ගමන් කරන ආකාරය දැකගන්න. තමන් මෙන්ම ඒවාද හටගෙන පැවතී නැතිවී යනතෙක්ම නොනවතිමින් ගමන් කරන බව දැනගන්න. නමුත් මේ දෘෂ්ඨි ගතව සිටින මනුෂ්‍යයන්ට මේ සම්බන්ධව පෙන්වා දුන්නත්, තමන් සිතන දේම නිවැරදි යයි දැඩි දෘෂ්ඨියක සිටින මේ අඥාන කෙනා, තමන් ස්ථිර කෙනෙකු යයි සිතා සිටිනවා සේම ග්‍රහ ලෝක-නැකත් තරු යන ඒවායේ ගමන් ගන්නා ස්වභාවයන්ද ස්ථිර යයි සිතමින්, සියවස් ගණනාවකට පෙර සිට පැවත එන ‘ග්‍රහ රාශි චාර ලිත්’ අනුව පලාඵල විශ්වාස කරමින්, ඒ ග්‍රහයන් සහ නැකැත් තාරකා අතර සිදුවෙන සංක්‍රාන්ති සංකේතවත් කරන උත්සව පවත්වමින්, නොයෙකුත් අඥාන ක්‍රියා සිදුකරන ආකාරය නොකඩවා පවත්වා ගෙන යන ආකාරය දකින්නට ලැබෙනවා.

බුදු දහම ප්‍රඥාවන්තයන්ට පමණක් යයි බුදුන් වහන්සේ පැවසුවේ ඇයිද යන්න මෙවැනි අඥාන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් ඉතාමත් හොඳින් පැහැදිලි කරගත හැකි වනවා.

මොහොතකට හිතන්න මේ කාරණය. ඔබ රැකියාවට යනවා පාගමනින්. වසර ගණනාවක් පුරා එකම වෙලාවට නිවසින් පිටත් වී, එකම වෙලාවට කාර්යාලයට ගොඩවෙමින් සිටිනවා. එලෙස එකම ආකාරයකට එකම වෙලාවට රැකියාවට යන ඔබට, කාලගුණ විපර්යාසයක් නිසා හෝ මග දෙපස හදිසියේ ඇතිවූ තත්වයක් නිසා හෝ කායික දිරීමක් නිසා හෝ ඒ එක දවසකදී වත් ඔබට අඩුම තරමින් විනාඩි 5 ක් වත්, ප්‍රමාද වන්නට සිදු වූයේ නැද්ද කියා. එලෙසම මේ පෘතුවිය මෙන්ම, සූර්යයා මෙන්ම, මේ සූර්යග්‍රහ මණ්ඩලය මෙන්ම, මේ දහස් ගණන් සූර්යග්‍රහ මණ්ඩල ඇති මන්දාකිණි මෙන්ම, නැකත් තාරකාද, විශ්වයේ ඇති අනිකුත් සියලුම තාරකාද, ඔබ අප සංසාරයේ නොනැවතී ගමන් කරනවා සේම ඒ සියල්ලද, නොනවතිමින් ගමන් කරනවා. ඒ සියල්ලන්ම අනත්ත ස්වභාවයද උරුම කරගෙන පවතිනවා. එනම් හට ගන්නවා-වැය වෙනවා-නැති වෙනවා. ඉතින් ඔබ හිතනවාද මීට වසර සිය දහස් ගණනකට පෙර ගණනය කර දක්වා ඇති නක්ෂත්‍ර දින දර්ශන ලිත් වල පෙන්වාදී තිබෙන දිනයන්වලදීම-වෙලාවලදීම, ඒ ආකාරයටම ස්ථිරව ග්‍රහයන් මාරුවෙනවා කියල.

නවීන තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති පරිඝනක මෘදුකාංග නිසා වර්ථමානයේ අපට දැකගතහැකි වෙනවා, ඒ ඒ ග්‍රහයන් නැකත් තරු අතර සංක්‍රාන්ති සිදුවෙන ආකාරය. ඒවා මගින් අවබෝධ කර ගැනීමට හැකිවෙනවා, ‘ග්‍රහ රාශි චාර ලිත්’ වල පුරෝකථනය කර ඇති තොරතුරු නිවැරදි නැති බව. පෘථිවිය තමන් වටාද කරකැවෙමින් දිනකට කිලෝ මීටර මිලියන 2.6 ක දුරක් පැයට කිලෝ මීටර  107,226 වේගෙන් ගමන් කරන බවත්, මුළු සෞර ග්‍රහ මණ්ඩලයම පැයට කිලෝ මීටර 720,000 වේගයෙන් තත්පරයට කිලෝ මීටර 200 ක් පමණ මන්දාකිණිය තුල ඉතා වේගයෙන් ගමන් කරන බවත්, මේ තරම් වේගයකින් මේ සූර්ය ග්‍රහ මණ්ඩලය ගමන් කරත්, එයට මන්දාකිණිය තුල වටයක් යෑම සඳහා අවුරුදු මිලියන 230 ක් පමණ යනවා යයි ගණනය කර තිබෙන බවත්, පැවසෙනවා. මේ අතර කාලය තුල යාබදව ඇති මන්දාකිණි ද එකිනෙක දෙසට තත්පරයට කිලෝ මීටර 112 පමණ වේගයෙන් ගමන් කරන බවද අද විද්‍යාඥයින් පවසනවා. මේ අනුව තේරුම් ගත හැකියි, මෙලෙස මේ තරම් වේගයන්ගෙන් චලනය වන වස්තූන් වන මේ ග්‍රහයන්ගේ සංක්‍රාන්ති ගැන වසර සියදහස් ගණනකට පෙර ඉදිරිපත් කර ඇති දින වකවානු නිවැරදි විය නොහැකි බව.

තමන්ගේ තණ්හා-දෘෂ්ඨි-මාන නිසා ‘අතීතයේ වූ මම වර්ථමානයේද, වර්ථමානයේ සිටින මම අනාගතයේ මරණින් මතුද වන්නෙමි’යි යන දෘෂ්ඨි ජාලයක පැටලෙමින් මට-මගේ යයි උපාදානය කරගනිමින්, පවුල-දේපල-වංශය-ජාතිය-ආගම-රට-තනතුරු-දේපල-මිල මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බුදුන්ගේ ධර්මය පවා විකෘර්ති කර පෙන්වා දෙමින්, වෛරී සහගත බීජ වපුරමින්, තමන් වෙසෙන පරිසරයටද ලෝභ සහගත-ද්වේෂ සහගත අදහස් බෙදාහරිමින්, තමන් මෙන්ම අන්‍යන්වද සතර අපායට ඇදගෙන යමින් සිටින බව නොතේරෙන තරමටම මේ බහුතර ගිහි හා පැවිදි සමාජය අවිද්‍යාවෙන් අන්ධව සිටිනවා. මේ කෙනා දන්නෙ නැහැ, තමන් මේ ලබන්නේ පෙර ජීවිත වල සිදුකරන ලද යහපත් සිතිවිලි සහ ක්‍රියාවලට අනුව ලැබෙන සැප විපාක බව. මේ කෙනා දන්නෙ නැහැ, ඒ පින් ගෙවී ගොස් යම් දවසක අවසන් වෙන නිසා වර්ථමානයේද, යහපත් සිතිවිලි ඇතිව යහපත් ක්‍රියා කල යුතු බව.

මේ පොතේ තිබෙන නිධිකණ්ඩ සූත්‍රයේද මේ ගැන පැහැදිලි කර පෙන්වා දෙනවා.

නුවණින් මෙනෙහි නොකරමින් තමන් දරණ මතයම උපාදානය කරගෙන දෘෂ්ඨි වාදී වීමේ භයානක කම ගැන, බුදුන් වහන්සේ සබ්බාසව සුත්‍රයෙන් මෙසේ පෙන්වා දෙනවා,

“ඒ ඒ සිදුකරන හොඳ හෝ නරක ක්‍රියා අනුව සැප දුක් විපාක විඳින බව දැනගන්නා මේ මගේ ආත්මය වනාහි ස්ථිර වූ, ඒකාන්තයෙන්ම හැම කල්හිම පවත්නා වූ, වෙනස් නොවන ස්වභාවය කොට ගත් නිසා, මම ඉර හඳ සේ වෙනස් නොවෙන ස්ථිර පුද්ගලයෙක්මි” යි යන දැඩිව ගත් දෘෂ්ඨිය ඇතිවෙනවා.

මහණෙනි, මෙය නොමග ගිය දෘෂ්ඨිය යයිද, වැරදි දෘෂ්ඨියෙන් වෙලීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් අතරමං වීම යයිද, වැරදි දෘෂ්ඨිය නිසා විකාර වීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් කම්පා වීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් එකට ගැට ගැහිලා යයිද, වැරදි දෘෂ්ඨියෙන් එකට ගැට ගැසී එතිලා යයිද, කියනු ලැබේ.

මහණෙනි, ඇසූ පිරූ බව නැති නූගත් පෘතග්ජනයා, ජාතිජරාමරණශෝකවැළපීම්දුක්දොම්නස්වෙහෙසීම් වලින් නිදහස් වෙන්නේ නැහැ. ඔහු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නෙත් නැහැ”.

එවැනි දෘෂ්ඨි ගත වී සිටින අයට කෙලෙස් දුරු කිරීම ගැන පෙන්වා නොදෙන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ, පළමුවෙන්ම දුරු කල යුතු වන වැරදි දෘෂ්ඨිය ඉවත් කරගැනීම සඳහා සිදු කළ යුතු නුවණින් මෙනෙහි  කිරීම පවා ඒ ඔවුන් විසින් සිදු නොකරන නිසයි.

මේ තමයි බුදුන් වහන්සේ තමන් දේශනා කල ධර්මය අතුරුදහන් වෙන හේතූන් පෙන්වා දුන් ආකාරය

“ද්වෙමෙ භික්ඛවෙ ධම්මා
සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
කතමේ ද්වෙ?
දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං – අත්ථො ච දුන්නීතො”

“මහණෙනි, සද්ධර්මය විනාශ වීමට, අතුරු දහන් වීමට කරුණු දෙකකි.
වරදවා ගත් හෝ වැරදි සේ ගෙන ගිය පෙළ දහම සහ වරදවා ගත් හෝ නපුරු සේ යෙදූ අටුවාව හෙවත් අර්ථයයි”.

1875-1950 අතර කාලය තුල වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතින් ලියවුනු බොහෝ පොත් පත් මෙන්ම, අශෝක රජතුමා විසින් ලියන ලද සෙල්ලිපි වල ඇතුලත් කාරණයන් තුලිනුත්, වටහා ගැනීමට හැකිවෙනවා, ගෞතම බුදුන් වහන්සේගේ සත්‍ය වූ ඉගැන්වීම වෙනස් කර අනික් ලොව ඇති ආගම් හා සමාන තවත් එක් ආගමක් ලෙස විද්‍යාමාන වීමට බහුතර ගිහි පැවිදි සමාජය විසින් කටයුතු කර ඇත්තේ සහ වර්ථමානයේද කටයුතු කරන්නේ හිතාමතා බව. එයට හේතුව වන්නේ, තමන්ගේ පැවැත්ම රඳා පවත්වාගෙන යාමට අවශ්‍ය වන අනුගාමිකයින් ආකර්ෂණය කරගත යුත්තේ, ඒ අනුගාමිකයින්ගේ ආකල්ප ඉලක්ක කරමින් ඊට අනුකූලව  දේශනා පැවැත්වීමෙන් යයි, එවැනි තෘෂ්ණාවෙන් අන්ධ වූ බහුතර ගිහි සහ පැවිදි සමාජය  අදහස් කරන නිසාවෙනි.

බුදු හාමුදුරුවන්ගේ මේ වටිනා ධර්මය අධ්‍යාත්මිකව අවබෝධ කරගත් කෙනෙකුට, විද්‍යාඥයන් විසින් සොයාගත් මිනිස් සිරුර පිලිබඳ තොරතුරු, අභ්‍යවකාශය, සෞරග්‍රහ මණ්ඩලය, විශ්වය, මනෝ විද්‍යාව, මිනිස් මොලය, යනාදිය පිලිබඳ ඒ ඒ විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබූ සොයාගැනීම් සම්බන්ධ වාර්ථා, සඟරා, මෙන්ම Dr. Brian L Weiss  නම් ඇමරිකානු මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍යවරයා විසින් ලියන ලද Many Lives, Many Masters වැනි පොත්ද, ඇමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ Jim Tucker මහතා විසින් සිදුකරන ලද පුනරුප්පති ගවේෂණ වාර්ථාද, ඇමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ Dr. Bruce Greyson විසින් සිදුකරන ලද මරණාසන්න අත්දැකීම් පිලිබඳ වාර්ථාද, අභිලේඛන ශිල්පී E Hultzsch විසින් ගවේශණය කර 1922 ඉන්දියාවේ මදුරාසි ආණ්ඩුව විසින් පලකරන ලද අශෝක රජතුමා විසින් කරවූ සෙල්ලිපි ගැන අනාවරණ කල පොත් වැනි බොහෝ දේ කියවීමෙන්ද, David Attenborough මහතා සහ තවත් බොහෝ පුද්ගලයන් විසින් නිර්මාණය කල සතුන් පිලිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමෙන්ද, ලෞකිකවද ප්‍රත්‍යක්ෂව තහවුරු කර ගැනීමට හැකිවෙනවා, බුදු හාමුදුරුවන් අසූ දෙදහසක් ධර්මස්කන්ධය තුලින් දේශනා කර තිබූ දේ. එනම් ‘මේ ලෝකයේ යථා ස්වභාවය’.

නිදසුනක් වශයෙන් කිහිපයක් පැහැදිලි කළ හැකියි. බුදු හාමුදුරුවන් දේශනා කල රූපයේ අනත්ත ස්වභාවය ලෞකිකවද හඳුනා ගන්න පුළුවන් මිනිස් සිරුරේ සෛල වල සිදුවෙන ඇතිවීම- නැතිවීම දකිමින්. මේ මිනිස් සිරුර සෑදී ඇති ඒ ඒ සෛල වලට ඇත්තේ ඉතා කෙටි දින ගණනක ආයුෂ ප්‍රමාණයන්. සෑම තත්පරයකටම රතු රුධිරානු සෛල මිලියන 2-3 ක් අතර ප්‍රමාණයක් නිපදවෙනවා සේම ඒවාට ඇත්තේ දින 120 ක් පමණ වන කෙටි ආයුෂ ප්‍රමාණයක්. සමහර ස්ථාන වල ඇති සෛල වලට ඇත්තේ දින 10 කටත් වඩා අඩු ආයුෂ ප්‍රමාණයන්.

මිනිස් සිරුර තුල එකිනෙකට වෙනස් ඒවාටම ආවේනික විශේෂ කාර්යයන් ඉටු කරන වර්ග 200 කින් පමණ යුතු විවිධ සෛල ත්‍රිලියන 30 ක් පමණ තිබෙනවා යයි, දැනට සොයාගෙන තිබෙනවා. ඒවා විවිධ හැඩයෙන්, විශාලත්වයෙන් මෙන්ම බරින් සහ පිහිටීම අනුවද වෙනස් වෙනවා. ඒ ඒ සෛල වර්ගයට ආවේනික ඉතා කෙටි දින හෝ මාස ගණනක ආයුෂ ගෙවා මියයන විට, ඒ හිස් තැන පිරවීමට  නැවත නැවත අලුත් සෛල නිපදවෙනවා. මේ සියල්ලෙනුත් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා, මේ මිනිස් සිරුරේ ඇති අනත්ත ලක්ෂණය. මොලයේ ඇති සෛල සහ ඇසේ කණීනිකාවේ සෛල පමණක් මුළු ජීවිත කාලය පුරාම නොනැසී පවතිනවා. ඇසේ කණීනිකාවේ සහ මොලයේ සෛල ජීවිත කාලය පුරාම පැවතීම ගැන නුවණින් මෙනෙහි කර බැලුවොත් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා, සත්පුරුෂ ආශ්‍රයක් නොලබා හෝ සත් පුරුෂයන්ගේ අවවාද පිළිනොගැනීමට තරම් හෝ දැඩිව තමන්ගේ අදහස්වලට අනුව දෘෂ්ඨිගතවී සිටින පුද්ගලයන් ජීවිත කාලය පුරා මිත්‍යා දෘෂ්ඨියෙන්ම ජීවත් වීම නිසාත්, සංවර නොකරගන්නා ඇස නිසා සිදුකරගන්නා දකින දකින රූපයන් කෙරේ ඇතිකරගන්නා උපාදානයන් නිසාත්, ඒ කෙනාගේ විඥ්ඥානයට කොතරම් හානියක් සිදුකරගන්නවාද යන වග.

මේ වගේම තමයි මේ මිනිස් සිරුරේ තිබෙන බැක්ටීරියා-වෛරස්-ඵන්ගස් වගේ සෛලත්. ඒවා මිනිස් සිරුරක ත්‍රිලියන 40 කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා යයි විද්‍යාඥයන් පවසනවා. හොඳ සෛල ත්‍රිලියන 30 ක්ද සේම, නරක සෛල ත්‍රිලියන 40 ක්ද, මේ ශරීරයේ පැවැත්මට උපකාරී වෙනවා.ඒ ආකාරයට නුවණින් දැකීමට උත්සාහ කරන්න තමන් ජීවත් වන පරිසරයත්, ලෝකයත් දෙස. ඒ සියල්ලේම ස්වභාවයද එයමයි.  මේ ලෝකයේ තිබෙන හොඳ මෙන්ම හොඳට වඩා නරක සියලු අය සහ දේවල්, තමන්ගේ ජීවිතය පවත්වාගැනීමට උපකාරී වෙන බව නුවණින් මෙනෙහි කරන විට අවබෝධ කරගැනීමට හැකිවෙනවා. එවිට තමන් තුල කිසිවෙක් හෝ කිසිවක් කෙරෙහි වෛරයක්- කෝපයක් හටගන්නේ නැතුවා සේම විශේෂ ඇලීමක් හෝ බැඳීමක් ඇතිවන්නේත් නැහැ.

ඒ ගැන නුවණින් මෙනෙහි කරන කෙනෙකුට අවබෝධ කරගැනීමට හැකිවෙනවා, ක්ෂණයකටත් වඩා අඩු කෙටි කාලයක් තුල මේ කය, වෙනස් වෙමින් බිඳී බිඳී පැවතී නැතිවන පෙණ පිඬක ස්වභාවයෙන් යුතු බව. මේ කය සෑම මොහොතකම ඉපදෙනවා-වැය වෙනවා-මිය යනවා. ඒ කෙනා ගෙන ආ ආයුෂ, ජීවිතින්ද්‍රිය, විඥ්ඥානය පවතින තාක් කල්, කයේ මේ පැවැත්ම රැඳී පවතිනවා. යම් දවසක ඒ මනුෂ්‍ය භවයට අදාල කුසලය පිරිහුණු විගස ආයුෂ ගෙවී ජීවිතින්ද්‍රිය අක්‍රිය වෙනවා. එසේ මනුෂ්‍ය භවයට අදාල කුසල් ගෙවී අවසන් වූ පසු ඒ කයට ජීවය දීමට ඒ කෙනාගේ ධනයට හෝ ඥාතීන්ට හෝ දේපල වලට හෝ උගත් කමට හෝ මේ ලොව තිබෙන කිසිවකට හෝ හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

“ආයු උස්මා ච විඤ්ඤාණං යදා කායං ජහන්තිමං
අපවිඬො තදා සෙති නිරත්ථං ව කලිංගරං”

“ආයුෂයත්, උෂ්ණයත්, නාමය හෙවත් විඥ්ඥානයත් යම් දවසක
ශරීරය අතහැර දැමූ විට, මේ ශරීරය දර කොටයක් සේ පොලව මත වැතිරෙනවා”.

මිනිසාගේ දිවේ ඇති රස දැනෙන සෛල වල ආයුෂ ප්‍රමාණය දින 10 ටත් වඩා අඩු කාලයක්. එසේනම් මුළු ජීවිත කාලය පුරාම ‘මම කැමතියි-අකමැතියි’ කියමින් රස තෘෂ්ණාවෙන් කෑම සොයන්නේ මේ දිව ද? නැහැ. සංසාරය පුරා පවත්වාගත් තෘෂ්ණාවෙන් උපාදානය කරගත් විශේෂයෙන් සකස් කරගත් සිතයි.

ස්වභාවික පරිසරයේ වාසය කරන සතුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිර්මාණය කළ චිත්‍රපට තුලින් දකින්න පුළුවන් වෙනවා, ඒ සතුන් කෑම සොයන ආකාර, කෑම රැස් කරන ආකාර, විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීමට යොදන උපක්‍රම, තමන්ගේ සීමාවන් ආරක්ෂා කරගැනීම සඳහා එකිනෙකා අතර සිදුවන සටන් සහ මරා ගැනීම්, සොයාගත් ආහාර සැඟවීමට යොදාගන්නා උපක්‍රම වැනි දේ. එළඹවාගත් සිහියෙන් ඉඳිමින් එය නැරඹුවොත්, තමන්ට සිහිවිය යුතුයි මනුෂ්‍යයෙකු වී උප්පත්තිය ලබා සිටින තමන් කරන්නෙත් ඔය ටිකම නේදැයි යනුවෙන්.

ඊළඟට මම විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මිනිස් මොලය ගැන. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ එක ගුණයක් තමයි අකාලික බව. ඒ කියන්නේ ඒ ධර්මය ඇසීමට වාසනාව ලැබෙනවා නම්, මනුෂ්‍යයෙකුට ඕනෑම කාලයකදී, ඕනෑම වයසකදී තමන්ගේ සිහිය පිහිටුවාගෙන නුවණින් මෙනෙහි කර අවබෝධ කරගැනීමට හැකියාව තිබෙනවා කියන ගුණය. හැබැයි එයට තමන්ගේ උවමනාව තිබිය යුතු බව අත්‍යාවශ්‍යයි. එනම් පස් කම් සැපයෙන් ඈත්වීමට ඇති කැමැත්ත තමන් තුලින්ම ඇතිවිය යුතුයි. දැන් නවීන විද්‍යාවෙන් සොයාගෙන තියනවා මිනිස් මොලයේ ඇති නියුරෝනවලට ප්‍රමාණයෙන් මෙන්ම, හැඩයෙන්ද, කාර්යක්ෂමතාවයෙන්ද, වෙනස් වීමට ඇති හැකියාවෙන් යුක්ත බව. එයින් පෙන්නුම් කරනවා කෙනෙකුට වෙනස් වෙන්න, ඉගන ගන්න, අලුත් යමක් පුහුණු වෙන්න අවශ්‍ය නම්, ඒ ඕනෑම කාර්යයක් කිරීමට මේ මිනිස් මොලයට හැකියාව තිබෙන බව.

මේ ආකාරයට තමයි, නිරවුල් මනසකින් යුතුව හෝ කලින් කිසිදු බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ දැනුමක් හෝ නැතුව සිටි අංගුලිමාල, කසී භාරද්වාජ, ආලවක වැනි අයට එවැනි උතුම් තත්වයට පත්වීමට හැකිවූයේ. ඒවාගේම තමයි දැඩි දෘෂ්ඨි ගත වූ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මොලය ක්‍රියාත්මක වීමේ ඛේදනීය ආකාරය ගැනත්, දැන ගතයුත්තේ. ඔවුන් මිත්‍යා දෘෂ්ඨියෙන්ම වෙලෙමින්, පුරුදු විදියට සිතමින්, පුරුදු විදියට ක්‍රියා කරමින්, ඒ හා සමාන ආඥානයින්ම ආශ්‍රය කරමින් නම් ජීවත් වෙන්නේ, ඒ අනුව ඔවුන්ගේ මොලයේ ඇති නියුරෝනද එකම විදියට පවතිනවා. ඒ ඔවුන් පෙර ජීවිත වලදී රැස්කරගත් අප්‍රමාණ කුසල් සම්භාරය හේතුකොට ගෙන ඉතා දුර්ලභව හිමිකරගත් මනුෂ්‍ය මොලයෙන් ප්‍රයෝජනයක් නොගෙනම, අවසානයේ තමන්ගේ විඥ්ඥානය අවිද්‍යාවෙන් ම අඳුරුකරගෙන වටිනා මනුෂ්‍ය ජීවිතය නාස්ති කරගනිමින් මරණයෙන් පසු සතර අපාගත වෙනවා.

අප සිටින සූර්යග්‍රහ මණ්ඩලය, එය ඇතුලත් වන මන්දාකිණිය තුල ගමන් කරන ආකාරයත්, ඒ මණ්දාකිණියේ ස්වභාවයත් ගැන චුළනිකා සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන් දෙයින්, ඉතා සුලු ප්‍රමාණයක් පමණයි, දැනට විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ.

එසේම සමහර සූත්‍ර වල සඳහන් වෙන, මේ ලෝකය තුල තිබෙන ස්ථානයන් අන්තර්ජාලය හොඳින් පරිශීලනය කිරීමෙන් අනුමාන වශයෙන්  සොයාගත හැකි වෙනවා. චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, ආටානාටිය,  චූළනිකා වැනි සූත්‍රයන්හි සඳහන් වෙන සමහර දේ, නවීන විද්‍යාවෙන් ද, ලෝකයේ දැනට දකින්නට ලැබෙන යම් පැවතුම් අනුවද, සනාත කරගත හැකි වෙනවා.

නමුත් ඉන්දියාවේ සිටි අශෝක රජතුමා, ඉන්දියාව පාලනය කල කාලය තුල, ලංකාව පාලනය කල රජවරු ගැන අප අසා ඇති තොරතුරු, අන්තර් ජාලය තුලින් හෝ  ඒ අශෝක රජතුමා විසින්ම ඉන්දියාව පුරා පිහිටුවා තිබූ කිසිදු සෙල්ලිපියක හෝ දකින්න ලැබෙන්නේ නැහැ. තවද, අශෝක රජතුමා ‘දේවානම් ප්‍රිය දර්ශන්’ ලෙසින් හැඳින්වූයේ යයි, දැනගැනීමට හැකිවන්නේද අශෝක රජතුමා විසින්ම කරවන ලද සෙල්ලිපි වලිනුයි.

එතුමා ත්‍රිපිටකය ගැන දැනුමක් තිබුණු අයෙකු බව ඒ සෙල්ලිපි වලින් පෙන්නුම් කරනවා  සේ ම සමහර ත්‍රිපිටක සූත්‍ර වල ඇති වටිනාකම් පෙන්වා දෙන ආකාරය පවා දකින්න ලැබෙනවා. ඒ සූත්‍ර වලින් කිහිපයක් වන මුනි සූත්‍රය, අරියවංශ සූත්‍රය, මොන්‍යෙය සූත්‍රය, සහ ඒවායේ පරිවර්තනයන් මේ පොතට ඇතුලත්  කර තිබෙනවා.

එසේ බලන විට අප සමාජයන් අතර සංසරණය වන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු වල ප්‍රශ්නාර්ථ ඇති බව අවබෝධ කර ගැනීමට හැකිවෙනවා.

එසේම ක්‍රි. ව. 414 පාහියන් භික්ෂුව විසින් රචිත දේශාටන විස්තරය කියවන විට, බුදුන් දවස සිට ක්‍රි. ව. 414 වන විට බුදුදහමට පාරිසරිකවද සිදුවී තිබූ විනාශය අවබෝධකර ගැනීමට හැකිවෙනවා. ඒ අනුව අද වන විට සිදුවී තිබෙන ඛේදවාචකය ගැන කතාකිරීමටවත් සුදුසු නොවන බවයි මගේ අදහස වන්නේ. බෞද්ධ යයි කියාගන්නා බොහෝ රටවල් තුල පවතින්නේ මහායාන හෝ වජ්‍රයාන හෝ වෙනත් නම් වලින් හැඳින්වෙන ආගම්ය. බෞද්ධ ථෙරවාදී රටවල පවතින්නේ බොහෝ වශයෙන් ජෛන ආගම හා මිශ්‍ර බවක් ඇති සංස්කෘතිය මූලික කරගත්, වැඳුම්-පිදුම්-පිංකම් සහ බාහිර ස්වරූපය පමණක් වෙනස් කරමින් කය එක් තැන් කරගෙන සිදුකරන භාවනා වැනි ක්‍රියා පිලිවෙත් ඇති ආගම් බව දකින්න ලැබෙනවා.

මේ ආකාරයට බුදුන්ගේ නිර්මල ඉගැන්වීම යටපත් වී, ඊට සහමුලින්ම වෙනස්වූ බුදු දහමක් වර්ථමාන ලෝකය තුල විද්‍යාමාන වන බව දැකීමට පුළුවන් වෙනවා. ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් අල්ලා ගැනීම අතහැරීමට ඉගැන්වූ බුදු පියාණන් වහන්සේ සහ උන් වහන්සේගේ යම් වචන පවා විකුර්ති කර හුවා දක්වමින්, ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් යයි කියාගන්නා බොහෝ බෞද්ධයන් තමන්ට සිදුකරගන්නා ඒ විනාශයන් කොතරම් දැයි ඔවුන්ට දැනගත හැකිවන්නේ, යම් දිනක ඒ විපාකයන් ගෙවන අවස්ථාවලදීයි. ඒ අනුව අද වනවිට තවත් ආගමක් පමණක් වී ඇති මේ උතුම් වූ ඉගැන්වීම සසර භය නිසා වැඳුම් පිදුම් කරන තවත් පූජා භාණ්ඩයක් පමණක් වී තිබෙනවා. බුදුන් සහ බුදුන් වදාළ දේශනා, පහසුවෙන් මුදල් ඉපයීම සිදු කරගත හැකි වෙළඳ භාණ්ඩ බවට සහ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට පළඳින ආභරණ, පමණක් බවට පත්වී තිබෙනවා.

ඇත්ත වශයෙන්ම කෙනෙක්, අඩුම වශයෙන් කර්මය-කර්ම ඵල වත් විශ්වාස කරනවා නම් ඒ කෙනා කල යුත්තේ ගෙවෙන සෑම මොහොතකම තමන්ගේ සිත ආරක්ෂා කරගැනීමයි.

කරුණාකර තේරුම් ගන්න, අවබෝධ කරගන්න, බුදු හාමුදුරුවන් යනු වචනවලින් පෙන්වා දිය නොහැකි තරම් ආනුභාව සම්පන්න බවක් ඇති කෙනෙකු බව.

‘බුද්ධ’ යන නාමය කීමේදී පවා තමන් ඉතාමත් පරිස්සම් විය යුතු බව.