About Us

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

තථාගත ගෞතම බුදු පියාණන් වහන්ස, ‘ධර්මය විවෘර්ත වූ විටයි බබළන්නේ’ යනුවෙන් ඔබ වහන්සේ පෙන්වා දුන් උපදේශයට අනුව
සූත්‍ර පිටකයේ සූත්‍ර කිහිපයක්ද, සතිපට්ඨාන භාවනාව සිදුකරන ආකාරයද, ඇතුලත්ව අපගේ ධර්ම අවබෝධය තුලින්, දෙවියන්ගේ උපකාරයද ඇතිව, අප විසින්
“අති පූජණීය පිරිත් පොත් වහන්සේ”
ධර්ම පුස්තකය සකස් කරන ලදී.

අප සියලු දෙනා විසින් පිරිත් සූත්‍ර පරිවර්ථනය කිරීම, සෝදුපත් සකස් කිරීම, පරිඝනක කටයුතු සිදුකිරීම, නොමිලේ බෙදා හැරීම සඳහා සියලු බරපැණ යොදමින් ඉතා ගෞරවණීය ආකාරයෙන්
“ආර්‍ය සත්‍යය” නමින් මේ වෙබ් පිටුව සකස්කිරීම යන සියලු කටයුතු සිදුකළේ
ඒ අප විසින්, ඔබ වහන්සේට දැක්වූ අප්‍රමාණ වූ ගෞරවය නිසා බව සිහිපත් කරන්නෙමු.

අවිද්‍යාව නමැති අන්ධකාරයේ තොර තෝංචියක් නැති
දුක්ඛ දෝමනස්ස-හැලහැප්පීම්-මානසික පීඩා වලින් හෙම්බත් වී සිටි
අපගේ ජීවිතයට ආලෝකයක් ලබාදුන්, සැනසීමක් ලබාදුන්,
ස්වාක්ඛාත වන චතුරාර්ය සත්‍ය ධර්මය අප හට දැනගන්නට සැලැස්වූ
සම්මා සම්බුද්ධ වූ ගෞතම බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේට
අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!
ශ්‍රේෂ්ඨ උත්තමයාණෙනි, ඔබ වහන්සේට අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!

ගෞතම බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේව දැක ගන්නට අප හට සැලැස්වූ
ඔබ වහන්සේ විසින් දේශනා කල සාන්දෘෂ්ඨික වන ශ්‍රී සද්ධර්මයට
අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!
ඒ උතුම් වූ අකාලික වන චතුරාර්ය සත්‍ය ධර්මයට අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!

ගෞතම බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කල
චතුරාර්ය සත්‍ය ධර්මය අප හට දැනගැනීමට හැකිවන සේ පවත්වාගෙන ආ
ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!
ඒ සුපටිපන්න වන, උජුපටිපන්න වන, ඥායපටිපන්න වන, සාමීචිපටිපන්න වන,
ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට අපි නමස්කාර කරන්නෙමු!
නමස්කාර වේවා!

අප හට ගෞතම බුදුන් වහන්සේ දැක ගැනීමට පිහිට වූ,
උන් වහන්සේ විසින් දේශනා කළ
ශ්‍රී සද්ධර්මය, අප විසින් වඩවා ගත්  ප්‍රඥාව තුලින් හැකි ඉතා නිවැරදි ආකාරයට සිංහලට පරිවර්ථනය කරමින්, කිසිදු මුදලක් හෝ ලෞකික ලාභයක් හෝ අපේක්ෂාවකින් තොරව ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නේ තවත් එක් පින්වන්තයෙකුට හෝ ඒ අනුත්තර වූ බුදුන් වහන්සේ දැකගැනීමට හැකිවන මාර්ගය පෙන්වා දීම පිණිසයි.

මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි පාලි-සිංහල ශබ්දකෝෂය, පොල්වත්තේ බුද්ධදත්ත හිමි පාලි-සිංහල ශබ්ද කෝෂය සහ මගේ ධර්ම අවබෝධය, පාලි සිංහලට පරිවර්තනය සඳහා භාවිතා කලෙමි.

ඒ නිසා මෙහි එකින් එක පළකරන්නේ අප විසින්ම පරිවර්තනය කරනු ලබන සූත්‍ර පමණක් බව සිහි තබා ගන්න. අද සම්මත ලෝකයේ තිබෙන බුදුන් වහන්සේගේ ධර්මයේ සිංහල පරිවර්ථනත්, අප විසින් සිදු කර ඇති පරිවර්ථනත්, අතර විශාල වෙනසක් ඇත.
 ‘කාලාම’ සූත්‍රයේ බුදුන් වහන්සේ විසින්ම පෙන්වා දී ඇති ආකාරයට නුවණින් ගලපා බලමින්,
නුවණින් මෙනෙහි කරමින්, තමන් තුල තණ්හා-දෘෂ්ඨි-මාන නොවැඩෙන්නේ කුමන ආකාරයකට පිළිපදින විට විය හැකිදැයි නැවතත් නුවණින් මෙනෙහි කරන්න.
ඒ අනුව අප විසින් සිදුකරන මේ පරිවර්ථනය හෝ අද ලෝකයේ පවතින සම්මත පරිවර්ථනය හෝ පිළිගැනීම ඔබ සතු වගකීමකි.
එහිදී අප විසින් සිදුකරනු ලබන පරිවර්ථන පිළිගන්නේ නම්, අප්‍රමාදව ඒ අනුව පිළිපදින්න. ඒ සඳහා වීර්යය කරන්න.

‘එථ තුම්හෙ කාලාමා! මා අනුස්සවෙන, මා පරම්පරාය,
මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන,
මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති.
යදා තුම්හෙ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ – ‘ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා,
ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී’ති.
අථ තුම්හෙ කාලාමා, පජහෙය්‍යාථා’ ති.
 
‘එථ තුම්හෙ කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන,
මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා,
මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති.
යදා තුම්හෙ කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ –
‘ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා,
ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තී’ති.
අථ තුම්හෙ කාලාමා, උපසම්පජ්ජ විහරෙය්‍යාථ.

“ඒ අනුව ‘කාලාම’ තොප!
එය මෙසේලු,යි යන ආරංචියෙන් යමක් ඇසීම නිසා පිළිගන්න එපා –
මවුපිය පරම්පරාවෙන් පැවතෙනවා, යයි කිසිවක් පිළිගන්න එපා –
ඒ තමයි පවතින ක්‍රමය යයි, කියා කිසිවක් පිළිගන්න එපා –
පරියාප්ති ධර්මයේ කොටසක තිබෙනවා යයි, කෙනෙක් කියන නිසා පිළිගන්න එපා –
තර්කයෙන් පෙන්නා දෙන නිසා කිසිවක් පිළිගන්න එපා –
යම් කිසි දර්ශනයක් යයි, කිසිවක් පිළිගන්න එපා –
ආකෘතියකට අනුව ගැලපේදැයි පරීක්ෂා කර බලා පිළිගන්න එපා –
තමන් කැමති දෘෂ්ඨියට අනුව ගැලපෙන නිසා යයි, පිළිගන්න එපා –
ඒ දේශනා කරන කෙනාගේ කතා විලාශයේ චතුර බවට හෝ දක්ෂ ලෙස බොහෝ කරුණු පෙන්නා දෙන ආකාරය දැකීමේ ආශාව නිසා පිළිගන්න එපා –
උතුම් නොවන්නේ නම් ශ්‍රමණයෙක් වුවද, ඔහු කියන දේ පිළිගන්න එපා.

යම් කලෙක ‘කාලාම’ තොප තමන් විසින්ම නුවණින් මෙනෙහි කර දැනගත යුතුයි, මෙය රාග, ද්වේශ යන කෙලෙස් ඇතිකරන දෙයක්, ඒ අනුව ක්‍රියා කල හොත් මා තුල අකුසල් හටගන්නවා – මේ කරන ක්‍රියාව නිසා මා තුල රාග, ද්වේශ කෙලෙස් හට ගන්නා නිසා එය දොස් සහිතයි – මා විසින් මෙසේ ක්‍රියා කලොත් උසස් ප්‍රඥාවන්තයන්ගේ ගැරහීමට මාව ලක් වෙනවා – මේ ආකාරයට ක්‍රියා කලොත්, මාව හාත්පසින්ම විපත්වලින් වෙලාගනිමින් මා කරා දුකම පමුණුවනවා.
ඒ අනුව නුවණින් මෙනෙහි කරමින් ‘කාලාම’, වහාම ඒ වැනි ක්‍රියාවලින් හෝ
ඒවැනි ආශ්‍රයන්ගෙන් හෝ ඔබ දුරු විය යුතුයි.

ඒ ආකාරයටම ‘කාලාම’ තොප!
එය මෙසේලු, යි යන ආරංචියෙන් යමක් ඇසීම නිසා පිළිගන්න එපා –
මවුපිය පරම්පරාවෙන් පැවතෙනවා, යයි කිසිවක් පිළිගන්න එපා –
ඒ තමයි පවතින ක්‍රමය යයි, කියා කිසිවක් පිළිගන්න එපා –
පරියාප්ති ධර්මයේ කොටසක තිබෙනවා යයි, කෙනෙක් කියන නිසා පිළිගන්න එපා –
තර්කයෙන් පෙන්නා දෙන නිසා කිසිවක් පිළිගන්න එපා –
යම් කිසි දර්ශනයක් යයි, කිසිවක් පිළිගන්න එපා –
ආකෘතියකට අනුව ගැලපේදැයි පරීක්ෂා කර බලා පිළිගන්න එපා –
තමන් කැමති දෘෂ්ඨියට අනුව ගැලපෙන නිසා යයි, පිළිගන්න එපා –
ඒ දේශනා කරන කෙනාගේ කතා විලාශයේ චතුර බවට හෝ දක්ෂ ලෙස බොහෝ කරුණු පෙන්නා දෙන ආකාරය දැකීමේ ආශාව නිසා පිළිගන්න එපා –
උතුම් නොවන්නේ නම් ශ්‍රමණයෙක් වුවද, ඔහු කියන දේ පිළිගන්න එපා.

යම් කලෙක ‘කාලාම’, තොප තමන් විසින්ම නුවණින් මෙනෙහි කර දැනගත යුතුයි, මෙය රාග, ද්වේශ යන කෙලෙස් ඇති නොකරන දෙයක්. ඒ අනුව ක්‍රියා කල හොත් කුසල් වැඩෙනවා – මේ කරන ක්‍රියාව නිසා මා තුල රාග, ද්වේශ කෙලෙස් හට නොගන්නා නිසා එය දොස් රහිතයි – මා විසින් මෙසේ ක්‍රියා කලොත් උසස් ප්‍රඥාවන්තයන්ගේ පැසසුමට මාව ලක් වෙනවා – මේ ආකාරයට ක්‍රියා කළ හොත්, ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමට හැකිවීමෙන් මා වෙත සියලු යහපත සුවය පැමිණවීම සිදුවනවා.

ඉතින් ‘කාලාම’, ඒ අනුව නුවණින් මෙනෙහි කරමින්, කුසලය සහ අකුසලය නිවැරදිව හඳුනාගෙන, තමාට යහපත සහ අයහපත ඇතිවිය හැකි අවස්ථා ගැන අවබෝධයෙන් යුතුව, නුසුදුසු දේ බැහැර කරමින්, සුදුසු දේ ආශ්‍රය කරමින් වාසය කරන්න”.

කාලාම සූත්‍රය – ගෞතම බුදුන් වහන්සේ