සඳකඩ පහනේ වරුණ

ඔබ මෙතෙක් කාලයක් විහාරස්ථානයකට ඇතුළු වන විට එහි දොරකඩ ඇති සඳකඩ පහන පයට පාගා ගෙන යන එක මොහොතකවත් සිතුවාද, මොකද්ද මේ කැටයම් කරුවා ඔබට පෙන්වා දී තිබෙන පණිවිඩය කියා.

ඔබ මෙතෙක් ඒ ගැන නොදන්නේ නම් හෝ දැනගෙන නොසලකා හැරියා නම්, අද මේ පොත කියවන්න යන ඔබගෙන් මම කාරුණිකව ඉල්ලන්නේ, මා විසින් විස්තර කරන, ඒ කැටයම් කරුවා පෙන්වා දී ඇති, සඳකඩ පහනෙන් නිරුපනය වන ධර්ම කරුණ කියවා පලමුවෙන් තේරුම් ගෙන, ඔබ සත්‍යවශයෙන්ම සත්‍ය වූ බුදු දහම සොයන, බුදුන් සරණ යාමට අවශ්‍ය කරන, ආර්ය ශ්‍රාවකයෙකු වීමට බලවත් සේ කැමැත්තක් ඇති පුද්ගලයෙකු නම් පමණක් මේ පොත කියවන ලෙසයි.

ඒ සඳකඩ පහන බුදු මැදුරක දොරකොඩ තැබීමෙන් පෙන්වා දී තිබෙන්නේ, දුක් ගිනිවලින් දැවෙමින් සංසාරයේ ඇවිදිමින් සිටින ඔබ මේ දැන් යන්නේ, ඒකාන්ත නිවීමට-සංසිඳීමට පත්විය හැකි නිවණ ඇති දිශාවට බවයි.

සඳකඩ පහනේ රැස් වළලු විහිදෙන අඩ චක්‍රය ඇති දිශාවෙන් පෙන්නුම් කරන්නේ ජාති-ජරා-ව්‍යාධි- මරණ-ශෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්සයන් නමැති ගිනිදැල් වලින් පීඩා විඳිමින් සංසාරයේ ඇවිදින සත්වයින් සිටින දිශාවයි.

ගිනිදැල් අඩ චක්‍රය පසුකරන විට ඊ ලඟට ඇති අඩ චක්‍රයේ සිටින සිව්පාවන් හතර දෙනා, අලියාගෙන්- බුද්ධිමත් බවත්, අශ්වයාගෙන්- සිතේ ශක්තිමත් බවත්, හරකා ගෙන්- ඉවසීම සහ වීර්යයත්, සිංහයාගෙන්- කාමාශාවන් මැඩගෙන ලෝකෝත්තර මාර්ගයේ යාමට හැකි නිර්භීත බවත්, පෙන්නුම් කරනවා. ඒ අනුව යමෙකුට මේ බුදුන් වහන්සේ දේශනා කල නිවැරදි ධර්මය සොයා අවබෝධ කරගැනීමට නම් ඔහු තුල බුද්ධිමත් බවත්, සිතේ ශක්තිමත් බවත්, ඉවසීම සහ වීර්යයත්, කාමාශාවන් මැඩගෙන ලෝකෝත්තර මාර්ගයේ යාමට හැකි නිර්භීත බවත් තිබිය යුතු යයි, දැනගත යුතු වෙනවා.

තුන් වන අඩ චක්‍රයෙන් පෙන්නුම් කරන්නේ සංකීර්ණ ලිය වැලකි, එයින් පෙන්නුම් කරනු ලබන්නේ ඒ නිවණ තිබෙන දිශාවට යන කෙනා තුලත්, ඒ පරිසරය තුලත්, සංස්කෘතික-අධ්‍යාත්මික-ලෞකික-ආගමික යන සියල්ලෙන්ම සමන්විත වූ සංකීර්ණ පරිසරයක් ඇති බවයි. ඒ පරිසරය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කල නිර්මල වූ චතුරාර්යය සත්‍ය ධර්මය සොයාගැනීමට නම්, ඒ කෙනා ඉහත සඳහන් ගුණාංග වලින් යුතු පුද්ගලයෙක් විය යුතු බවයි. ඒ ආකාරයටම මේ පොත කියවන ඔබට හමුවේවි අක්ෂරවල අඩුපාඩු, අක්ෂර වින්‍යාසයේ අඩුපාඩු. මගේ අරමුණ වන්නේ බුදුන් වදාළ ධර්මය පෙන්වීම පමණක් වන නිසා, මේ පොත කියවන ඔබගෙන් මම බලාපොරොත්තු වන්නේද පෙන්වා ඇති ධර්මය නුවණින් මෙනෙහි කර හැකිනම් අවබෝධ කරගැනීම පමණයි.

ඊළඟ අඩ චක්‍රයෙන් පෙන්නුම් කරන්නේ වී කරල් තුනක් හොටෙන් අල්ලාගෙන සිටින හංසයන්ය. එනම් ඉහත කී ගුණාංගයන්ගෙන් යුතු මනුෂ්‍යයා, පෙර කී සංකීර්ණ වූ පරිසරය තුලින්, මේ නිවැරදි ධර්මය සොයා ගෙන බුදුන්-දහම්-සඟුන් සරණ යන්නේ, දියෙන් කිරි වෙන් කරගන්නා හංසයෙක් විලසින් යන්නයි. ඊළඟ අඩ චක්‍රයෙන් පෙන්නුම් කරන්නේ පැහැදිලි සරල ලියවැලකි, එනම් නිවැරදි ධර්මය සොයාගෙන බුදුන් දහම් සඟුන් සරණ යන මේ ආර්ය පුද්ගලයා, මීළඟට ඒ ධර්මය නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගනිමින් වාසය කරන බවයි.

ඒ ධර්මය නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම අවසානයට ඇති නෙලුම් මලෙන් පෙන්නුම් කරනු ලබනවා. මඩ ගොහොරුවක හටගෙන ඒ මඩෙහි යලි නොතැවරෙන සේ උඩට මතුවී පිපී බැබලෙන නෙලුම් මලක් සේ,
අවිද්‍යාව නමැති සංසාරයේ හටගෙන බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා දැන අවබෝධ කරගෙන, උතුම් වූ නිවණ සාක්ෂාත් කරගන්නා කෙනාද, නැවත කිසිදා ඒ සංසාරයේ තැවරෙන්නේ නැහැ.

“දිට්ඨිඤ්ච අනුපග්ගම්ම සීලවා දස්සනෙන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙති”.

-කරණීය මෙත්ත සූත්‍රය.