
“ගබ්භමෙකෙ’පපජ්ජන්ති නිරයං පාපකම්මිනො,
සග්ගං සුකතිනො යන්ති පරිනිබ්බන්ති අනාසවාති”
වරින් වර මිනිස් මවුකුසකට පැමිණෙන දීර්ඝ සංසාරයේ ගමන් කරන සත්වයන්,
මනුෂ්‍යයෙකු ලෙස ඉපදී අකුසල් ක්‍රියා සිදු කරමින්
නැවත නැවත ප්‍රේත-අසුර-තිරිසන්-නිරය යන සතර අපා දුගතියටද,
කුසල් ක්‍රියා සිදු කරමින්
නැවත නැවත මනුෂ්‍ය-දිව්‍ය-බ්‍රහ්ම ලෝක යන සුගතියටද,
යනවා සේම,
‘මමය-මගේය-මගේ ආත්මය’ යයි තම සිත සහ කය කෙරෙහි ඇතිකරගෙන තිබූ
උපාදානය දුරු කර ගත් කෙනා,
තණ්හා-දෘෂ්ඨි-මාන යන කෙලෙස් වලින් මිදී,
නැවත කිසිදු ලෝකයක් තුල නූපදින සේ පරිනිර්වාණයට පත් වී
ඒ දුක්ඛිත සසර ගමන කෙලවර කරගැනීමද, කරගනු ලබන්නේය.
~පාප වග්ගය- ධම්ම පදය
සර්වඥතා ඥාණයෙන් බුදුවරයෙකුට පමණක් අවබෝධ කර ගත හැකි, තව කෙනෙකුට තේරුම් කර දීමටද නොහැකි, රහත් උත්තමයෙකුට හෝ පැහැදිලිව තේරුම් ගත නොහැකි, අචින්තනීය විෂයන් හතරක් තියනවා.
ඒ තමයි ලෝක විෂය, සත්ව විෂය, බුදුවරයෙකුගේ ඍර්ධි විෂය සහ කර්ම විෂය.
චූල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර තුලිනුත්, ධම්ම පදයේ බොහෝ ගාථා තුලිනුත් විග්‍රහ කර ඇති කර්මය සහ කර්ම ඵල හෙවත් විපාක ගැන යම් තරමකට හෝ අවබෝධ කර ගැනීමට බුදුන් වහන්සේගේ නිවැරදි ධර්මය පරිශීලනය කරන්නන් හට පමණක් හැකියාව ලැබෙනවා. බෞද්ධයන් යයි තමන්ව හඳුන්වා ගන්නා ගිහි පැවිදි බහුතරයට කර්මය සහ කර්ම ඵල ගැන අංශු මාත්‍රයක තරම් වත් අවබෝධයක් නැති බව ඔවුන්ගේ හැසිරීම් තුලින් දැක ගැනීමට හැකිවෙනවා.
ඒ ඔවුන්ගේ හැසිරීමට හේතු වන්නේ, ඔවුන් තුල බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි අංශු මාත්‍රයක අවබෝධයක් හෝ විශ්වාසයක් හෝ නොමැති වීමයි.
මේ ලෝකයේ ජීවත් වන මිනිසුන් ඇතුළු සියලු ජීවින් දෙස සිහියෙන් බලන විට ඒ ජීවිත වල ඇති විවිධාකාර ස්වභාවය මැනවින් වටහා ගැනීමට හැකි වෙනවා. ආයුෂ – ධනය – බලය – දූ දරු – පවුල් – දේපල – නිරෝගී බව – රූපය – පෙනුම – ගතිගුණ – පුරුදු -හැකියාවන් – ඇතුළු සෑම අංශයකින්ම කෙනාගෙන් කෙනා වෙනස් වෙනවා. නමුත් ඒ විවිධත්වය ඇතිවීම සඳහා පිළිගත හැකි හේතුවක් යම් තරමකට හෝ පුනරුප්පත්තිය විශ්වාස නොකරන කිසිවෙකු ළඟ ඇත්තේ නැහැ. ඒ විවිධත්වයට බලපාන හේතු නවීන විද්‍යාවෙන් අනාගතයේදී හෝ දැනගැනීමට හැකි නොවන බව ධර්මය අවබෝධ වූ කෙනෙකුට වැටහෙනවා. යම් තරමකට හෝ පුනරුප්පත්තිය විශ්වාස කරන කෙනාද විශ්වාස කරන්නේ කයින් සිදු කරන පින් කම් නිසා ඒ සියලු දෙනාට මරණින් මතු හොඳ ජීවිත හිමිවෙන බවත්, කයින් පව් කම් සිදු කිරීම නිසා නරක ජීවිත හිමිවෙන බවත්ය. ඔවුන් තවදුරටත් බොහෝ කොට විශ්වාස කරන්නේ පින් පව් සිද්ධ වීමට බලපාන්නේ කයින් සහ වචනයෙන් සිදුකරන ක්‍රියා පමණක් බවයි. ඒ නිසාම ඔවුන්ගෙන් සමහරක් දෙනා නොයෙකුත් බාහිර සිල් වෘත ආරක්ෂා කරමින්, පුද පූජා පවත්වමින් ආගමික කටයුතු සිදු කරනවා. ඉතිරි වැරදි ක්‍රියා සිදු කරන පිරිසට ඒ නරකින් මිදිය යුතුය යන උනන්දුව කිසිදා ඔවුන් තුල ඇති නොවන්නේ, තමන් ඒ නරකින් මිදී යහපත් ක්‍රියා සිදු කළද, පෙර කරන ලද නරක ක්‍රියා නිසා තමාට කිසිදා ගැලවීමක් නොලැබේය යන ආකල්පය සමාජය විසින්ද ඔවුන් තුලට ඒත්තු ගන්වා තිබෙන නිසයි. තවද එවැනි අයට යහපත් ආකල්ප ගොඩනගා නැගීම සඳහා ප්‍රමාණවත් දැනීමක් ලබාගැනීමට හැකි පුද්ගලයෙක් තම පවුල තුලින් හෝ බාහිර සමාජයෙන් හෝ ඔවුන් හට මුණ නොගැසීම සුලභ කාරණයක් බවට පත්වෙමින් තිබෙනවා.
බුදුන් වහන්සේ කර්මය සහ විපාකය සම්බන්ධව පෙන්වා දී තිබෙන කරුණු අවබෝධ කර ගැනීමට සහ ඒ ගැන විශ්වාසයක් ඇති කර ගැනීමට හැකිවන්නේ ඒ නිවැරදි ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබී, ඒ ගැන සිහියෙන් යුතුව අසාගෙන නුවණින් මෙනෙහි කරන කෙනෙකුට පමණකි.
එය එසේ වුවද, කෙනෙක් විශ්වාස කළද, නොකළද, තමන් සිතින් කයින් වචනයෙන් සිදුකරනු ලබන සෑම ක්‍රියාවක් අනුව ඇතිවන එහි විපාකය තමන් පසුපස ඒම වැළැක්වීමට සමතෙක් මේ ලෝකය තුල ඇත්තේ නැහැ.
“කම්මානා වත්තති ලොකො කම්මනා වත්තති පජා,
කම්ම නිබන්ධනා සත්තා රථස්සාණීව යායතො”
සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවෙන් තමයි ලෝකය පවතින්නේ,
සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවෙන් තමයි සත්ව සමූහය පවතින්නේ.
කෙනෙක් සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවන්ට අදාළ විපාකය,
ඒ සත්වයා අතනොහැර පසුපස එල්ලී ගමන් කරන්නේ
කරත්තයක රෝදය සවිවෙලා තියන කඩ ඇණය අනුවම රෝදය කරකැවෙනවා සේ.
~වාසෙට්ඨ සූත්‍රය
බෞද්ධයන් යයි තමන්ව හඳුන්වාගන්නා බහුතර පිරිසක් ‘තමන්ගේ සිත හෝ කය වත් මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ’ යනුවෙන් තමන් විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්නා ආකාරය ඉගැන්වූ බුදුන් වහන්සේව හැඳින්වූයේ, තමන්ගේ
කුලය-රට ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට ගිය පුද්ගලයෙක් ලෙසටයි.
විඩූඩභ කුමාරයා ශාක්‍යයන් නැසීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයට වැඩම කළ බුදුන් වහන්සේ විසින් ‘කිඹුල්වතින් එන සුළඟත් සනීපයි’ යනුවෙන් ප්‍රකාශ කළා යයි, සඳහන් කරමින් ධම්ම පද අටුවා කථාවක ශත වර්ෂ ගණනාවක් ඔස්සේ සිංහල බසට පරිවර්ථනය වී, අතින් අත ලියවෙමින් පැමිණි කතාවක ඇති වචන පේලි දෙකක් පමණක් හුවා දක්වමින් අනික් ජාතීන් විනාශ කර හෝ අපේ රට බේරාගත යුතුය යන වෛරී සහගත සිතිවිලි ඉතාමත් පහත් ආකාරයට සමාජය තුල පැතිර වූයේ බුදුන් වහන්සේගේ ධර්මයේ හුළඟක් වත් ස්පර්ශ නොවී තුබූ නිසා බව තේරුම් ගත යුතුයි.
2019 වසරේ මේ ගැන මට අසන්නට ලැබුණු දිනයේ සිට මා විසින් බොහෝ ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසූ විට, ඒ සියලු දෙනාම පැවසුවේ ‘ඔව් බුදු හාමුදුරුවන් මෙසේ පවසා තිබෙනවා’ යන්නයි. නමුත් ‘ඒ කොතනකද සඳහන් වන්නේ’ යන්න විමසූ විට ඔවුන් පැවසුවේ ‘ඒක නම් මතක නැහැ’ යනුවෙනි. අවසානයේ මාස කීපයකට පසු හමුවූ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් විමසූ විට ප්‍රකාශ කළේ ඒ ගැන සඳහන් වී තිබෙන්නේ ධම්ම පදයේ බවයි. නමුත් උන් වහන්සේද ඒ ප්‍රකාශය සඳහන් වෙන නිශ්චිත නිදාන කතාව ගැන දැන සිටියේ නැත. අවසානයේ ධම්ම පදයේ ඇති සෑම නිදාන කතාවක්ම මා විසින්ම කියවා බලා ඒ ප්‍රකාශය යයි පැවසෙන කතාව සොයා ගත්තෙමි. එය සඳහන් වන්නේ මෙසේයි.
| එ දවස අලුයම් වේලෙහි ලොව බලා වදාරන මාගේ සවාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට නෑයන්ට වන්නට යන මේ විනාශය දක්නට ලැබින. මා, මේ වේලෙහි නෑයන්ට සංග්‍රහ කරන්නට වටී ය’ යි පෙරවරුයෙහි සිඟා වලඳා අවසන් කොට ගඳකිළියෙහි සැතපී ඉඳ සවස්වේලෙහි අහසින් වැඩ කිඹුල්වත අසල තුනී සෙවන ඇති එක් ගසක්මුල වැඩ හුන් සේක. විඩූඩභයාගේ රාජ්‍ය සීමාව අසල ගනසෙවන ඇති ලොකු නුගගසෙක් ඇත්තේ ය. විඩූඩභයා බුදුරජුන් දැක ලඟට ගොස් වැඳ ‘ස්වාමීනි! මොකද මේ, තද අව්වේ තුනී සෙවන ඇති ගසමුල වැඩහුන් සේක්, මේ හොඳට සෙවන ඇති නුගගසමුල වැඩ හිඳිනු මැනැවැ’ යි කී ය. ‘මහරජ! එසේ වේවා, නෑයන්ගේ සෙවන සිහිල් ය’ යි වදාළ කල්හි ‘නෑයන් රකින්නට වැඩි සේක් වනැ’ යි සිතා බුදුරජුන් වැඳ පෙරළා සැවැත්නුවරට ම ගියේ ය. බුදුරජානන් වහන්සේ ද අහසින් දෙව්රමට වැඩි සේක. නැවැතත් විඩූඩභ තෙමේ ශාක්‍යයන් කළ වරද සිහි කොට දෙවන තෙවනවරත් නික්ම ආයේ ද, බුදුන් දැක පළමු සේ පෙරළා ගියේ ය. එහෙත් සතරවනවර ද නැගී ආයේ ය. එකල බුදුරජානන් වහන්සේ ශාක්‍යයන් පෙර කළ කර්‍ම බලා වදාරන සේක්, ඔවුන් පෙර එක් අත්බවෙක කුඩමස්සන් මරන්නට ගඟක විෂ, වෙඩි බැහූ බවත් එය වළකන්නට බැරි පාපකර්‍මයක් බවත් දැක සතරවනවර එහි නො වැඩි සේක. |

මෙහි සඳහන් වන කාරණය කියවන ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි, මේ කතාවට අනුව එදා බුදුන් වහන්සේ විසින් සිදු කළා යයි පැවසෙන ප්‍රකාශය සත්‍ය වශයෙන්ම සිදු කළ එකක් නම්, එසේ පවසා ඇත්තේ සම්‍යක් ප්‍රයෝගයක් ලෙසට බව. නමුත් මෑතදී ඒ ප්‍රකාශය, අවභාවිතා කරමින් අවියක් ලෙස යොදාගත්තේ මනුෂ්‍යයන් තුල වෛරය වැපිරීම සඳහායි.
2019 ශ්‍රී ලංකාව තුල ඇතිවීමට ගිය විශාල ආගම් වාදී අරගලය උද්දීපනය කිරීමට අවභාවිතා කළ, ‘කිඹුල් වතින් එන සුළඟත් සනීපයි’ යනුවෙන් වැකිය සඳහන් වෙන සූත්‍රයක් හෝ ගාථාවක් හෝ ජාතක කතාවක් හෝ ගැන, ඒ පහත් ක්‍රියාව මෙහෙය වූ සහ අනුමත කළ බහුතර ස්වාමීන් වහන්සේලාවත් නොදැන සිටියහ.
බහුතර බෞද්ධ පිරිසද එවැනි වෛරී සහගත අදහස් පිලිගැනීමට සහ අනුමත කිරීමට තරම් අඥාන වූයේ තමන් අදහන ශාස්තෘන් වහන්සේ ගැන කිසිදු අවබෝධයක් ඔවුන් තුල නොමැති වීම නිසා සහ ඒ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීම සඳහා අත්‍යාවශ්‍ය ආකාරවතී ශ්‍රද්ධාව ඔවුන් තුල නොමැතිවීම නිසයි.
බුදුන් වහන්සේ විසින් මීට වසර දහස් ගණනකට උඩදී සිදුකලා යයි ධම්ම පදයේ සඳහන් වන ‘මහරජ! එසේ වේවා, නෑයන්ගේ සෙවන සිහිල් ය’ යන ප්‍රකාශයේ අරමුණ පවා වෙනස් කර බුදුන් වහන්සේ ද තම රට රැකීමට පෙරමුණ ගත්තා, ඒ නිසා අපිද අපේ රට පිට ආගමිකයන්ගෙන්, පිට ජාතීන්ගෙන් රැකගතයුතුය යනුවෙන් මුලු බෞද්ධ සමාජයේම මනස විකෘර්ති කළ ‘කිඹුල් වතින් එන සුළඟත් සනීපයි’ යන වැකිය සමාජ ගත කළේ තමන්ගේ අභිලාශයන් උදෙසා බුදුන් වහන්සේව අවභාවිතා කරමින් සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම විකෘර්ති කරමිනි.
ත්‍රිපිටකයේ සඳහන් පාලි සූත්‍ර සිංහලට පරිවර්ථනය කිරීමේදී බොහෝ අඩුපාඩු සිදුවී තිබෙන බව ධර්ම අවබෝධය හා පාලි දැනුම තිබෙන කෙනෙකුට හොඳින් අවබෝධ වෙන කරුණක්. අඩුම තරමින් අනිච්ච-දුක්ඛ-අනත්ත යන වචන තුන වත් නිවැරදි ආකාරයට අර්ථ කථනය කරගැනීමට නොහැකි වී තිබෙනවා. සෑම කෙනෙකුම අනිකාගේ වැරදි පෙන්වමින් තම තමන්ගේ පිරිස් ගොඩ වැඩිකරගැනීමේ අරමුණෙන් සිදුකරන විවිධාකාර ධර්ම විකෘර්ති කිරීම් නිසා ඒ ඒ අය විසින් විශාල ලෙස අකුසල් රැස් කර ගන්නා ආකාරය හොඳින් විද්‍යමාන වෙනවා.
එසේ නම් තේරුම් ගත යුතුයි වර්ථමාන ධම්ම පද අටුවා කතා වලට අත්වී ඇති ඉරණම කුමක්දැයි යන වග.
බුදුන් වහන්සේ වැඩ සිටි කාල වකවානුව අද වනතෙක් නිශ්චිතව තීරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එසේ නම් ධම්ම පද අටුවා කථා ගැන කියනුම කවරේද?
ත්‍රිපිටකයේ දහස් ගණන් තිබෙන සූත්‍ර වල සඳහන් සියලුම දේශනා තුලින් බුදුන් වහන්සේ දේශනා කර තිබෙන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ගැන හෝ තමන්ගේ කය සහ සිත වත් මගේ යයි උපාදානය කරගන්න එපා යයි සිදු කළ අනුශාසනා ගැන හෝ වෙනුවට ධම්ම පදයේ සඳහන් වෙන ගාථා 423 ක් අතරින්, එක ගාථාවක නිදාන අටුවා කතාවක පේලි දෙකකින් කියවෙන දෙයක් පමණක් ඉස්මතු කරගනිමින් පසු ගිය වසර 3-4 කට උඩදී සිදුකරගත් විනාශයන්ට හේතු වී තිබෙන්නේ ධර්මය කියවා දැනගැනීමට නොහැකි වූ නිසා නොව කියවූ ධර්මයෙන් තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ කරගැනීම උදෙසා තමන්ට අවශ්‍ය ආකාරයට විකෘර්ති කර ගැනීමට හැකි කොටස් පමණක් ඉස්මතු කර ගැනීම නිසා බව තේරුම් ගත යුතුය.
“න අත්තහෙතු න පරස්ස හෙතු
න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා”
තමන්ගේ හෝ අනුන්ගේ හෝ
අවිද්‍යාව නිසා මගේ යයි අල්ලා ගත් පුත්‍රයන්ගේ හෝ
අයිති දේවල හෝ රටේ හෝ
අභිවුර්ධිය උදෙසා
වැරදි නරක හිංසා ක්‍රියා සිදු කිරීමට නොපෙළඹෙන
ඔහු ශීලවන්ත, ප්‍රඥාවන්ත, ගුණවන්ත කෙනෙක් වන්නේය.
~පණ්ඩිත වග්ගය- ධම්ම පදය
නමුත් මෙවැනි බෞද්ධයන් විසින් බුදු හාමුදුරුවන්ට සිදුකරන අගෞරවය තරම්, ඉන් සියයෙන් කොටසක් වත් වෙනත් ආගම් වල පූජ්‍ය පක්ෂය ඔවුන්ගේ ශාස්තෘන් වහන්සේලාට තබා බුදුන් වහන්සේට හෝ සිදුකරන බවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මෙලෙස බුදුන් වහන්සේගේ ධර්මය ලෝකයා ඉදිරියේ අවඥාවට ලක් කරමින් හැසිරෙන්නේ බෞද්ධයන් යයි කියාගන්නා බහුතර ගිහි පැවිදි දෙකොටස මිස වෙනත් කිසිම ආගමිකයෙක් නම් නොවේ. නමුත් දැඩි අන්තවාදී ආගමික පිරිස් හැරුණු විට අනිකුත් සියලුම ආගමිකයන් බුදුන් වහන්සේට ගෞරව කරන බව දැකගැනීමට හැකි කාරණයක්. ඒ ඔවුන් සලකන්නේ බුදුන් වහන්සේගේ නිවුණු සැනසුණු ස්වභාවයටයි.
වර්ථමානයේ දකින්නට ලැබෙන තවත් අතිශය ඛේදනීය කාරණයක් වන්නේ බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රධාන පෙලේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වී තිබීමයි.
නිවී සැනසීම සඳහා දේශනා කළ බුදුන්ගේ ධර්මය, නොයෙකුත් මාධ්‍ය ඔස්සේ මෙන්ම, පදික වේදිකාවේ භාණ්ඩ අලෙවි කරන ආකාරයටම අන්තර් ජාලය ඔස්සේ විවිධ ගිණුම් හරහා ප්‍රචාරය කරන්නේ ආරම්භයේදී මෙන්ම අතරමැදදී ද දැන්වීම් ප්‍රචාරය කරමින්ය. ඒ දැන්වීම් අතර කාන්තාවන්ගේ සනීප ආරක්ෂක තුවා ප්‍රවර්ධනය වැනි වූ දැන්වීම්ද ප්‍රචාරය කිරීම මොන තරම් ඛේදනීයද? වර්ථමානයේ ජනප්‍රිය පැවිදි පාර්ශවය මෙන්ම සමාජයේ සිල්වතුන් මෙන් පෙනී සිටින ගිහි පාර්ශවයේද ප්‍රධාන යැපීම් මාර්ගය වී තිබෙන්නේ බුදුන්ගේ ධර්මය අලෙවි කිරීමයි. ඒ ගිහි සහ පැවිදි පිරිස්, එක් අයෙකුට විවිධ නම් යටතේ ගිණුම් කීපය බැගින් පවත්වා ගනිමින් බුදුන්ගේ ධර්මය යයි ඔවුන් විසින් කට පාඩම් කරගත් කුමක් හෝ පවසමින්, වෙළඳ දැන්වීම් තුලින් මුදල් උපයීම සිදුකරන්නේ කර්මය හෝ කර්ම ඵලය ගැන අබමල් රේණුවක හෝ තරම් තැකීමක් නැති තරමට හිරි ඔත්තප්ප දෙකෙන් තොරවීම නිසා සහ ඔවුන්ට අඩුම වශයෙන් ලෞකික සම්මා දිට්ඨිය හෝ නැති නිසා බව, විද්‍යාමාන වන කරුණකි.
අද ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් කල්ලි විසින් සිදුකරන්නේද ඔවුන් විසින්ම මීට වසර 22 කට පෙර විනාශ කළ බාමියන් බුදුපිලිම වහන්සේලා, වර්ථමානයේ සංචාරකයන්ට ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීමයි.
ඔවුන් සියල්ලන්ටම වපුරන දේ අනුව අස්වැන්න නෙලාගැනීමට සිදුවනු ඇත. ඔවුන් දැන දැන වපුරන දේ, ඔවුන් මෙන්ම යම් යම් ලාභ අපේක්ෂාවෙන් ඔවුන් වටා සිටින පිරිසද නෙලා ගන්නවා සේම, කිසිදු අවබෝධයකින් තොරව ධර්මය සොයමින් ඔවුන් පසු පස යන තවත් අහිංසක පිරිසකටද නෙලාගැනීමට සිදුවන්නේය. දැන කළද, නොදැන කළද විපාකය තීරණය වන්නේ අකුසල චෛතසිකයේ ප්‍රමාණය අනුවයි. වපුරන කෙනා හට අවිචි මහ නරකාදියෙන් මෙහාට ගැලවීමක් නැති වන විට, නෙලා ගත් කෙනා හට තිරිසන් ලෝකයෙන් මෙහාට වත් ගැලවීමක් තිබේද යන්න සැක සහිතය.
“අනික්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති”
පඬුපොවන ලද වස්ත්‍රයක් හැඳගත් රාග ද්වෙශාදී කෙලෙස් වලින් තොර නොවූ කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තම ඉන්ද්‍රියයන් දමනය කිරීම නොකරන්නේ නම්,
ඒ ඔහු කසාවත් දැරීමට සුදුසු වන්නේ නැහැ.
~යමක වග්ගය-ධම්ම පදය
බාහිතපාපො’ති බ්‍රාහ්මණො සමචරියා සමණො’ති වුච්චති.
පබ්බාජයත්තනො මලං තස්මා පබ්බජිතො’ති වුච්චති.
අකුසල් බහා තැබූ, සන්සුන් ධාර්මික උතුම් පැවැත්මක් ඇත්තාට
ශ්‍රමණයා යයි කියනු ලැබේ.
ගිහි ගෙයින් නික්මී වසන, කෙලෙස් මලින් පිරි කෙනාට පැවිද්දා යයි කියනු ලැබේ.
~බ්‍රාහ්මණ වග්ගය- ධම්ම පදය
අසතං භාවනමිච්ඡෙය්‍ය පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.
සිහි නුවණින් කටයුතු නොකරන, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන,
භික්ෂූන් පිරිවරා ඉන්න පැවිද්දා, පන්සල්වලද, අනුන්ට පූජා කරන දේවලද, අධිපතිකම අපේක්ෂා කරනවා.
මමෙව කත මඤ්ඤන්තූ ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු කිච්චාකිච්චෙසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පො ඉච්ඡා මානො ච වඩ්ඪති.
මේ සියල්ල මා විසින්ම කරන ලදැයි ගිහි-පැවිදි දෙකොටසටම හැඟිය යුතුයි.
ලොකු හෝ කුඩා කිසියම් ඕනෑම කටයුත්තක් වුවද මා විසින්ම කළ යුතුයි.
මෙලෙස මේ අඥානයා ගොඩනගා ගන්නා සිතිවිලි නිසා ඔහු තුල තෘෂ්ණාවද, මානයද තව තවත් වැඩෙනවා.
~බාල වග්ගය – ධම්ම පදය
බුදුන් වහන්සේ සහ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවභාවිතා කරන රටක් හා ජාතියක් ලොව ඇත්නම් ඒ මා දන්නා තරමින් ශ්‍රී ලංකාව සහ බහුතර ගිහි-පැවිදි සිංහල බෞද්ධයන්ය.
බුදුන් වහන්සේගේ ධර්මය මෙතරම් විකෘර්ති වී ඇති යුගයක නිවැරදි ධර්මයක් කෙසේ තෝරාගන්නද?
මා විසින් මෙවැනි පොතක් ලිවීමට තීරණය කළේත්, ඒ සඳහා තෝරාගත් සූත්‍ර තිස් හතක් පරිවර්තනය කරන ලද්දේත්, පසුගිය වසර 4-5 ක් පුරා බෙෳද්ධයන් යයි හඳුන්වාගන්නා බොහෝ ගිහි පැවිදි පිරිස් හැසිරෙන ඛේදනීය තත්වය දැක මා තුල ඇතිවූ ධර්ම සංවේගය නිසාමය. මේ සිදුවීම් දෙස ඉතා හොඳින් නිරීක්ෂණය කළ මට හැඟුනේ, බෞද්ධයන්ගෙන් බහුතරයක් ඔවුන් තුල කිඳාබැස සිටින දැඩි තෘෂ්ණාවට අනුව ගොඩනැගුණු ආකල්ප වලට ගැලපෙන ධර්මය යයි කියා කුමක් හෝ පවසන දේශකයින් වටා එක්රොක් වෙමින් තමන්ගේ කරගත් කල්ලි ගොඩනගා ගෙන ගොඩනැගිලි සහ විසිතුරු දේ සඳහා හැකිතරම් මුදල් සම්මාදම් කරමින්, ඔවුන්ට මෙන්ම පැවිදි සමාජයටද සතර අපාය කරා යාම සඳහා මාර්ගය සකසමින් සිටින බව සහ ඉතා ස්වල්ප දෙනෙක් පමණක් සත්‍ය වූ බුදු දහම සොයමින් ඉබාගාතේ ඇවිදිමින් නොයෙක් දෙනා පසුපස යමින් අසරණ වී සිටින බවත්ය.
ඒ නිසාම හැකි ආකාරයෙන්, බුදුන් වහන්සේගේ සත්‍ය ධර්මය යනු කුමක්දැයි, පෙන්වාදීමට කටයුතු කළ යුතු බවට මම අධිෂ්ඨාන කර ගත්තෙමි.
එදින සිට ‘අති පූජණීය පිරිත් පොත් වහන්සේ’ සම්පාදනය කර අවසන් කිරීම දක්වා දෙවියන්ගෙන් ලැබුණේ ඉතා විශාල උපකාරයකි. විශේෂයෙන් සිහිපත් කළ යුතුයි, කෙනෙක් බුදුන් දුටුව දා සිට දෙවියන් ඇදහීමක් හෝ දෙවියන්ගෙන් කිසිදු පිහිටක් හෝ උපකාරයක් අයදින්නේ නැති බව. බුදුන් දුටුව දා සිට නිවන් මාර්ගයේ යන ඕනෑම පින්වතෙකුට ධර්මය එළිදැක්වීම සඳහා දෙවියන් උපකාර කරන්නේ ඒ ධර්මය ඔවුන්ටද දැන ගැනීමට ඇති උනන්දුව නිසාය. එය ත්‍රිපිටකය තුලින්ද සහතික වෙන කාරණයකි. විශේෂයෙන්ම ශක්‍ර දෙවියන් සිල්වතුන්ට නමස්කාර කරන බව දැනගත යුතුයි.
බුදුන් වහන්සේ විසින් තම ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් ලෙස හඳුන්වනු ලැබුවේ කුමන ආකාරයේ ගති ලක්ෂණ, හැසිරීම් සහිත පුද්ගලයෙකුට දැයි මුනි සූත්‍රය, නාලක සූත්‍රය, වාසෙට්ඨ සූත්‍රය, ගුහට්ටක සූත්‍රය, ශාක්‍ය කෝලිය දිය දබරය, ආලවක සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, පුරාභේද සූත්‍රය, සල්ල සූත්‍රය, මොනෙය්‍ය සූත්‍රය යන සූත්‍ර කියවා වටහා ගැනීමට ධර්මය ගැන නොදන්න ඕනෑම ආගමක ජාතියක කුලයක මනුෂ්‍යයෙකුට හැකියාව ලැබෙනවා.
ඒ අනුව වටහා ගත යුතුයි, බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අසා දැන ගෙන ඒ අනුව කටයුතු කරන කෙනෙකු පමණක් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වනවා මිස බෞද්ධයෙකුයයි හඳුන්වා ගත් පමණින් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීමට නොහැකි බව.
“එයට හේතුව නම් බුදුන් වහන්සේ බෞද්ධයෙකු නොවන නිසයි”.
“ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං,
සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා,
ධම්මෙ සතී බ්‍රාහ්මණ වුත්තිරෙසා”
ලාභ ලැබීමේ අරමුණෙන්, ධර්මය පවසා, ලබා ගන්න ආහාර මට කැප නැහැ, ප්‍රඥාවන්තයා ඒ ධර්මය ඒ ආකාරයට සලකන්නේ නැහැ.
විපතට වැටෙන්න නොදී රක්නා චෛතසිකය ඇති බුදු වරු, ලාබ සත්කාර ලැබීම සඳහා ධර්මය දේශනා කිරීම දුරු කළ, යහපත් උසස් පැවතුම් ඇති අයයි.
~කසීභාරද්වාජ සූත්‍රය
එසේ නම් ත්‍රිපිටකයේ මේ සූත්‍ර ගැන දැනුමක් ඇති විශේෂයෙන් බහුතර පැවිදි සමාජය ඇතුළු ගිහි සමාජය තුල අද ඇතිවී තිබෙන පිරිහීමට හේතුව කුමක් විය හැකිද?
මෙයට විශේෂ හේතුවක් වශයෙන් සැලකිය හැකි එක කාරණයක් නම් ඒ ඔවුන් තුල පවතින තණ්හා-දෘෂ්ඨි-මාන වල දැඩි බව නිසා උපතින් උරුම වූ ආගමද අනිකුත් සියලුම මගේ යයි කියාගන්නා දේවල් ලෙසින්ම දැඩිව උපාදානය කරගනිමින් තමන්ට රිසිසේ අවභාවිතා කිරීම නිසා ඔවුන්ව අභිසංස්කාර මාරයාගේ ග්‍රහණයට හසුවී තිබීමයි. ඒ නිසා ඔවුන්ට ඒ ඔවුන්ගේ ශාස්තෘන් වහන්සේ කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. ඒ ශාස්තෘන් වහන්සේ ධර්මයෙන් උගන්වා ඇති දේ විශ්වාස කිරීමට අවශ්‍ය නොවෙන තත්වයට ඔවුන්ව පත් වී තිබෙනවා.
ඔවුන් විසින් සිදු කරන අකුසල ක්‍රියා වලට ඒ මොහොතේම විපාක නොලැබීම නිසා කර්මය සහ කර්ම ඵල හෙවත් විපාක ගැන විශ්වාස නොකරමින්, අවිද්‍යාවෙන් අන්ධව ලෞකික සම්මා දිට්ඨයෙන්ද තොරව කටයුතු කරමින් සිටිනවා.
“පාපො’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ පාපො පාපානි පස්සති”
කෙනෙකු විසින් කරන පාපී ක්‍රියා වලට දුක් විපාක විඳීමට නොලැබෙන තාක් කල් ඔහු ඒ පව් කම් දකින්නේ සැපයි සුබයි ලෙස.
ඔහුට එහි දුක් විපාක ලැබෙන්න පටන් ගත් දා සිට තමයි ඔහු දකින්නේ ඔහු විසින් සිදුකළ ඒ පාප ක්‍රියා වල බරපතල බව.
~පාප වග්ගය- ධම්ම පදය
සිදු කරන පව් වලට හෝ පින් වලට කල් ගතවී විපාක ලැබීමට හේතුව කුමක්ද?
කසාවතක් දරමින් මහණ දම් පුරන්නට ලැබෙන්නේ, පෙර ජීවිත වල රැස් කරන ලද අප්‍රමාණ කුසල් සම්භාරය හේතුවෙනි. කිසිදු අඩුවකින් තොර ශරීර අංග ඇති මනුෂ්‍ය ජීවිතයක් ලැබ යහපත් භූමියක උපත ලැබීමට වාසනාව ලැබෙන්නේද, ධනයෙන් හෝ බලයෙන් හෝ වත්කමෙන් හෝ පිරිස් බලයෙන් හෝ උගත් කමෙන් හෝ යම් කිසි හැකියාවකින් හෝ ඒ කිහිපයකින් හෝ ඒ සියල්ලෙන්ම හෝ පරිපූර්ණ වන්නේද, පෙර ජීවිතවලදී රැස්කරන ලද අප්‍රමාණ පින් සහ කුසල් සම්භාරයන් හේතුවෙනි.
ඒ නිසා ඒ කුසලයේ බලය පැවැත්වෙන තාක් කල් සහ පින ගෙවී අවසන් වන තෙක්, දැන් ඔවුන් විසින් සිදුකරන පාප ක්‍රියාවල විපාක වලට ඔවුන් වෙතට පැමිණෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් දවසක මේ ජීවිතය තුලදීම හෝ මරණාසන්න මොහොතේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ තමන් තුල තිබූ කුසල් සහ පින් ගෙවී අවසන් වූ වහාම, මෙතෙක් කාලයක් තම වාරය එනතුරු බලාගෙන සිටි අකුසල් විපාක, ඔහු කරා පැමිණෙන්නේ පිරුණු ජලාශයක වාන් දොරටු විවෘත කළ වහාම ජලය පහලට ඇද හැලෙන තරම් වූ වේගයෙනි.
“න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්‍ථඪිතො මුච්චෙය්‍ය පාපකම්මා”.
අහසෙහි හෝ සමුද්‍රය මධ්‍යයේ හෝ ගල් ගුහාවක හෝ
වෙනත් කිසිම භුමි ප්‍රදේශයක් නැහැ,
කෙනෙකුට තමන් සිදුකල පාප ක්‍රියාවෙන් නිදහස් වී සිටීමට.
~පාප වග්ගය- ධම්ම පදය
නමුත් අද වර්ථමානයේ තමන්ව සම්මා දිට්ඨික මිනිසුන් යයි හඳුන්වාගන්නා සමහර සිංහල බෞද්ධයන් සිදුකරන පිංකම් දෙස නුවණින් කල්පනා කළහොත් අවබෝධ කරගැනීමට හැකිවෙනවා, ඔවුන් විසින්ම මිත්‍යා දෘෂ්ඨිකයන් යයි හඳුන්වන අන් ආගමික හෝ අන්‍ය ජාතීන් සිදුකරන පිංකම් වලටත් වඩා තමන් විසින් සිදුකරන පිංකම්, ගෞරවයෙන් සහ බුද්ධිමත් බවින් ඉතා පහල මට්ටමක පවතින බව.
වර්ථමානයේ ඉතාමත් පූජණීය පුණ්‍ය භූමි වල මෝස්තරයට මෙන් සිදුකෙරෙන විශාල පිංකම් වලට පසු ඒ ස්ථාන පිරිසිදු නොකිරීම නිසා සහ ඒ ඒ ස්ථාන වල ගොඩගැසෙන කැලි කසල නිසා ඒ පරිසරයන් වලට සහ එහි වෙසෙන සත්ව ප්‍රජාවන්ට විශාල ලෙස හානි සිදු වෙනවා. ඒ ගැන නොසළකා හැර සිදු කරන පිංකම් නිසා තමන්ට සිදුවන අකුසලය ගැන නොතැකීමද අවිද්‍යාවයි. ගමේ පන්සල හෝ විහාරයේ සිදුකරන දානමය පිංකම් වලින් පසුව ඒ ස්ථානයන් පිරිසිදු නොකිරීම නිසා ඒ ස්ථාන වල මීයන්, කැරපොත්තන් වැනි සතුන් බෝවීමට ඉඩහැරීමෙන්ද තමන් සිදුකරගන්නේ අප්‍රමාණ අකුසලයක් බව නොදැනීමද අවිද්‍යාවයි.
සංඝ රත්නය උදෙසා පිරිනමන දානයේ ආහාර පාන මෙන්ම ස්වාමීන් වහන්සේලාද, ඡායාරූප ගත කර අන්තර් ජාලයට මුදා හරින පිරිස් අඩුම තරමින් උන් වහන්සේලාගේ ආත්ම ගරුත්වය හෝ පුද්ගලිකත්වය ගැන හෝ සැළකීමක් කරන්නේ නැහැ.
තමන් සිදු කරන්නේ පුද්ගලික දානයක් වුවත්, ඒ සිවුර දරා සිටින්නේ දුසිල්වත් කෙනෙකු වුවත්, ඔහුටද ආත්ම ගෞරවයක් තිබෙන බව අමතක නොකළ යුතුයි. එය එසේ නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පිරි නමන දානයකදී තමන් කොතරම් ගෞරවයකින් ඒ ආහාර පානාදිය පිරිනැමිය යුතු ද?
සාමාන්‍ය ගිහියෙකුට කරන උපකාරද ප්‍රසිද්ධියේ සිදුකිරීමෙන් හෝ ඡායාරූප ගත කරමින්, වීඩියෝ කරමින් අන්තර් ජාලයට මුදාහැරීමෙන් හෝ සිදුකරන්නේ ඒ දානය ලබන ලද තැනැත්තාගේ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ආත්ම ගෞරවය සහ පුද්ගලිකත්වය කෙලෙසීමකි. තවද ඒ දායකයා වන තමන්ගේ වත් පොහොසත් බව, සමාජ තත්වය, හෝ ත්‍යාගශීලී භාවයත් ග්‍රාහකයාගේ අසරණ බව, කුලෑටි බව, හෝ දුගී දුප්පත් භාවයත් පෙන්වමින් සිදුකරන්නේ තමන් විසින් තමන්ව රවටාගැනීමකි.
ඊට හේතුව නම් වත්පොහොසත් කම හෝ දුගී අසරණ බව හෝ සදාකාලික නැති බව නොදන්නා අවිද්‍යාවයි. තමන්ගේ මාන්නය සහ අවිද්‍යාව අනුව ක්‍රියාකිරීම නිසා ඒ දානමය පිංකමෙන් ලබාගත හැකි වටිනා ආනිශංස ද තමන්ට අහිමි කරගන්නා බව නොදැන සිටීමද අවිද්‍යාවයි.
දානය යනු අතහැරීමකි. එය ඡායාරූප ගතකර අන් අයට පෙන්වනවා නම් එහි අතහැරීමක් සිදුවන්නේ කෙසේද? එනම් ඒ දානය බුද්ධියෙන්ද හීන වී ඇත.
වර්ථමානයේ සිදුකරන ගෞරවයෙන්ද, බුද්ධියෙන්ද, මනුෂ්‍යත්වයෙන්ද හීන වූ දාන පිංකම් නිසා තමන්ට පිං අත්වෙනවා යයි කෙනෙක් සිතනවා නම් ඒ කෙනා තමන්වම රවටා ගන්නා කෙනෙකි. එනම් තණ්හාව මුල් කරගනිමින් සිදුකරන එවැනි දානමය පිංකම් නිසා අප්‍රමාණ අකුසල් සම්භාරයක් රැස්කර ගන්නා බව නොදැන සිටීමෙන් තමන් හට සිදුවන්නේ තව තවත් අවිද්‍යාවේම බැසගැනීමටයි.
තමන් දුන් දේ සසරේ කවරදාකදී හෝ ලැබෙන බව ඒකාන්තයෙන්ම සිදුවනවා සේම තණ්හාව මූලික කරගනිමින් මෙවැනි ආකාරයට සිදුකරන දානාදී පිංකම් නිසා තමන්ට සුගතියක් අත් නොවන බවද ඒකාන්ත වෙනවා.
“මේ මොහොතේ මෙවැනි දානමය පුණ්‍ය ක්‍රියාවක් සිදුකිරීමට තරම් මා හට මනුෂ්‍ය ජාතියක්ද, කුසල චෛතසිකයක්ද, ආර්ථිකයක් හැකියාවක්ද ලැබුනේ පෙර ජීවිත වලදී මා විසින්ම ගොඩනගා ගන්නා ලද යහපත් සිතිවිලි නිසා මෙන්ම සිදුකර තිබූ දානමය පිංකම් නිසා බවත්, මේ අන්‍යන්ගේ උපකාරයක් ලැබීමට සිදුවී ඇති තැනැත්තාට එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඔහු පෙර ජීවිත වලදී දන් දීම් පිංකම් සිදු නොකළ නිසා හෝ ඒ සිදුකළ ක්‍රියාවක් නිවැරදිව සිදුනොකළ නිසා බවත්” මෙනෙහි කරමින් තව තවත් සිත පහදවාගෙන නිහතමානීව ඒ දානමය පිංකම් සිදු කළ යුතුයි.
එලෙස අවිද්‍යාවෙන් සහ මාන්නයෙන් තොරව ප්‍රඥාව මුල්කරගෙන සිදුකරන දානමය පිංකම් නිසා සුගතිගාමී වීමටත්, නිවන් අවබෝධ කරගැනීමටත් මග සැලසෙන මහත් ඵල මහානිශංස අත්වේ.
යස්ස දානෙන සීලෙන සංයමෙන දමෙන ච,
නිධී සුනිහිතො හොති ඉත්ථියා පුරිසස්ස වා.
මානුස්සිකා ච සම්පත්ති දෙවලොකෙ ච යා රති,
යා ච නිබ්බාන සම්පත්ති සබ්බමෙතෙන ලබ්භති.
තමන්ගේ අත්හැරීමේ ගුණය-සිල්වත් බව-සිත කය වචනය දමනය කර සංවර කර ගැනීම තමයි, ගැහැණියකට හෝ පුරුෂයෙකුට, මතුවටත් පිහිටක් ලෙස රැස්කර, මනාව තැන්පත් කරගත හැකි නිධානයක් වන්නේ.
මනුෂ්‍ය භාවයක් ලැබීමත්, දිව්‍ය සැප සම්පත් ලැබීමත්,
නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට ලැබීමත්, යන මේ සියල්ල මේ පුණ්‍ය නිධානයේ ආනුභාවයෙන් ලබන්නට හැකිවෙනවා.
~නිධිකණ්ඩ සූත්‍රය
මීට කලකට පෙර ධර්ම පොත් ලියමින් මුදලට අලෙවි කළ, තමන් රහතුන් යයි කියාගත්, සිල්වතුන් යයි කියාගත්, පැවිදි පිරිස් වලට අත්වී ඇති ඛේදණීය ඉරණම අද වර්ථමානයේ දකින්නට ලැබෙනවා. සමහරුන් මනස අවුල්වූ ආකාරයට හැසිරෙන බව දකින්නට හැකිවෙනවා. තවත් සමහරුන්ට එදා තිබුණු ගෞරවය අහිමි වී තිබෙන බව දකින්නට හැකිවෙනවා.
2019 බුදුන්වහන්සේටත් බුදුන් වහන්සේගේ ධර්මයටත් අගෞරව කරමින්, වරක් වැන්දොත් සියලු පවු දුරුවෙනවා යයි පැවසූ බුදුන් වැඩියායයි සැලකෙන පුණ්‍ය භූමිය කෙළෙසමින් සිදුකළ සහ ඊට අනුබල දුන් සියල්ලටම අවසානයේ අත්වූ ඉරණම ගැන නැවත නැවත ලියා විග්‍රහ කිරීමට අවශ්‍ය නොවන්නේ එය ඉතිහාසයේ කළු අකුරෙන් ලියවී ඇති නිසාය. බුදුන්ගේ නම විකුණමින් සිදුකළ ඒ ගරුක අකුසලයේ විපාකය දිට්ඨ ධම්ම වේදනීය ගෙවන්න සිදුවුනා සේම සංසාරයේ තව බොහෝ කාලයක් සතර අපාගත වෙමින් ගෙවීමට සිදුවනු නොඅනුමානය.
එසේනම් නුවණින් අවබෝධකරගන්න, කෙදිනක හෝ විපාකය ලබාදීමට බලාපොරොත්තුවෙන් ඒ ඒ කෙනා විසින් සිදුකරණ ලද ක්‍රියාව හා සමාන ප්‍රතිඵලයක් ඒ සියලු දෙනාම පසුපස ඒකාන්තයෙන්ම ගමන් කරන බව.
එදා ඇෆ්ගනිස්ථානයේ පිහිටා තිබූ ඉතාමත් ඉහල වටිනාකමකින් යුතු බාමියන් බුදු පිලිම විනාශ කළ තලෙයිබාන් කල්ලිවලට, අද ඒ බුදු පිලිමවල ඉතිරි වී ඇති කොටස් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදල් අය කරමින් ඔවුන්ගේ බඩ වියත රැකගැනීමට සිදුවීමද ඒ සිදුකළ කර්මයට අනුව විපාක ලැබීමකි.
මොහොතකට නැවතී සිතන්න, අතීත අප්‍රමාණ කුසල් සම්භාරයක් නිසා ලැබුණු මනුෂ්‍ය උපත නැවත සතර අපාය වෙත තල්ලු කර ගන්නවාද කියා.

