ප්‍රවර්ග
මජ්ඣිම නිකාය

ඉසිගිලි සූත්‍රය

මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-උපරිපණ්ණාස පාළි-අනුපද වග්ගය- පසේ බුදුවරයන් වහන්සේලාගේ නම් මෙන්ම, ඒ උත්තමයන්ගේ ගුණයන්ද පෙන්වා දෙමින් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.

මා විසින් මෙසේ අසන ලදී,
වරක් බුදුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහි වාසය කරන කාලයක, “මහණෙනි” යයි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
එවිට භික්ෂූන්ද ‘යහපති, ස්වාමීනි’ යයි පිළිතුරු දුන්හ.
“මහණෙනි, ඔබලා වේභාර පර්වතය දන්නවා නොවේද?”
‘එහෙමයි, ස්වාමීනි’
“අද එය වේභාර නමින් හැඳින්වූවත්, මීට පෙර කාලවල එය වෙනත් නමකින් තමයි හැඳින්වූවේ. වෙනත් නමකින් තමයි එය ප්‍රසිද්ධ වෙලා තිබුනේ.
මහණෙනි, ඔබලා පාණ්ඩව පර්වතය දන්නවා නොවේද?”
‘එහෙමයි, ස්වාමීනි’
“අද පාණ්ඩව නමින් හැඳින්වූවත්, මීට පෙර කාලවල එය වෙනත් නමකින් තමයි හැඳින්වූවේ. වෙනත් නමකින් තමයි එය ප්‍රසිද්ධ වෙලා තිබුනේ.

මහණෙනි, ඔබලා වේපුල්ල පර්වතය දන්නවා නොවේද?”
‘එහෙමයි, ස්වාමීනි’
“අද එය වේපුල්ල නමින් හැඳින්වූවත්, මීට පෙර කාලවල එය වෙනත් නමකින් තමයි හැඳින්වූවේ. වෙනත් නමකින් තමයි එය ප්‍රසිද්ධ වෙලා තිබුනේ.

මහණෙනි, ඔබලා ගිජ්ජකූට පර්වතය දන්නවා නොවේද?”
‘එහෙමයි, ස්වාමීනි’
“අද එය ගිජ්ජකූට නමින් හැඳින්වූවත්, මීට පෙර කාලවල එය වෙනත් නමකින් තමයි හැඳින්වූවේ. වෙනත් නමකින් තමයි එය ප්‍රසිද්ධ වෙලා තිබුනේ.

මහණෙනි, ඔබලා ඉසිගිලි පර්වතය දන්නවා නොවේද?”
‘එහෙමයි, ස්වාමීනි’
“මහණෙනි, මේ ඉසිගිලි පර්වතය වනාහි මේ ඉසිගිලි නමින්ම තමයි මීට පෙරත් හැඳින්වූවේ, ඉසිගිලි නමින්ම තමයි එය ප්‍රසිද්ධ වෙලා තිබුනේ.”

“මහණෙනි, බොහෝ කාලයට පෙර එනම් ඈත අතීතයේ දී සිදුවූවක් මම ඔබලාට කියන්නම්,

මේ ඉසිගිලි පර්වතයේ එකල පසේ බුදුවරුන් පන්සිය දෙනෙක් වාසය කළා. ඒ පසේ බුදු වරු එම පර්වතයට පැමිණීම දකින්න පුළුවන්, නමුත් ඒ පසේ බුදුවරයන්, පර්වතයේදී දකින්න ලැබෙන්නේ නැහැ. මේ දකින මනුෂ්‍යන් කියන්න පටන් ගත්තා, ‘මේ ස්ථානය ඉර්ෂි වරුන් ගිලගන්නවා’ කියා.
අන්න ඒ විදියට මේ පර්වතයට නම පට බැඳුනා ‘ඉසි ගිලි’ යනුවෙන්.
මහණෙනි, මම කියන්නම් ඒ පසේ බුදුවරයන්ගේ නම්, මම මනාකොට ඒ පසේ බුදු වරයන්ගේ ගුණය ප්‍රකාශ කරන්නම්, මම ඒ පසේ බුදුවරයන් ගැන දේශනා කරන්නම්”,

“මහණෙනි, මම මේ කියන දේට හොඳින් සවන්දෙන්න”. බුදුන් වහන්සේ භික්ෂුන්ට පැවසූ සේක.
‘එහෙමයි, ස්වාමීනි’ යයි භික්ෂූන් පිළිතුරු දුන්හ.

“මහණෙනි, ‘අරිට්ඨ’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘උපරිට්ඨ’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘තගර සිඛී’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘යසස්සී’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘සුදස්සන’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘පියදස්සී’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘ගන්ධාර’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘පිණඩෝල’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘උපාසභ’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘නීත’නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘තථ’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘සුතව’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මහණෙනි, ‘භාවිතත්ත’ නම ඇති පසේ බුදුන් මේ ඉසිගිලි පර්වතයේ වාසය කලහ.
මේ සසරට ඇලුණු සත්වයා දුර්වල කරන්නා වූ කෙලෙස් නැති කර, තෘෂ්ණා රහිත වී තනි තනිවම තමා විසින්ම වැරදි මගෙන් මිදී, සත්‍යාවබෝධ ඥානයට පත්වූ, ශෝක කිරීමට ඇති හේතු ඉවත් කිරීම නිසා මුළුමනින්ම දුකින් මිදුණු, උතුම් වූ මනුෂ්‍යයන් වන ඒ පසේ බුදුවරයන් වහන්සේලාගේ නමින් කරන මේ ගුණ වර්ණනාවට හොඳින් සවන්දෙන්න.

අරිට්ඨ, උපරිට්ඨ, තගර සිඛී, යසස්සී,
සුදස්සන, පියදස්සී යන බුදු වරුන්ද,

ගන්ධාර, පින්ඩෝල, උපාසභ, නීත,
තථ, සුතව, භාවිතත්ත, යන බුදුවරුද,

සුම්භ, සුභ, මෙථුල, අට්ඨම යන බුදුවරුද,
තවද මෙඝ, අනිඝ, සුදාඨ සහ
හිංගු ද , හිංග ද, යන
භව තෘෂ්ණාව සිඳලූ මහානුභාව සම්පන්න පසේ බුදුවරයන්ද ,

චුල්ල ජාලිනි, මහා ජාලිනි යන මුනිවරුන්ද, අට්ඨක බුදුන්ද,
තවද කෝසල, සුබාහු, උපනේමිස, නේමිස,
සන්තචිත්ත, සච්ච, තථ යන කෙලෙස් මුළුමනින් පහකළ
ප්‍රඥාවන්ත වූ පසේ බුදුවරයන්ද,

කාල, උපකාල, විජිත, ජිත ද, අංග, පංග, සහ ගුත්තිජිත යන
මාරයාගේ බලයට වත් නොපැරදී,
අප්‍රමාදව සසර දුක්‌ රැසට මුල් වන තෘෂ්ණාව නුවණින් දැක ගෙන
එය මුළුමනින්ම දුරු කල පසේ බුදුවරයන්ද,

පසේ බුදුවරු සමුහයක් පැවතෙන
සරභංඝ, ලෝමහංස, උච්චංග යන
තෘෂ්ණා දෘෂ්ඨින් දුරුකර නිකෙලෙස් වූ පසේ බුදුවරුන්ද,
සිතේ හටගත් මානද බැඳීම්ද බිඳ දමා
කෙලෙසුන්ගෙන් මිදුණු විමල සහ කේතුම බුදුවරුන්ද,
උතුම් වූ කෙතුම්බරාග, මාතංග යන
නිවන් මගේම ගමන් කල නැවත චුතියක් ඇතිවීම නැතිකල පසේ බුදුවරුද,
යහපතෙහි පිහිටියාවූ සුමංගල, දබ්බිල යන පසේ බුදුවරුද,
නොඉවසමින් නිවනෙහි ඇලුනාවූ සෝරත බුදුන්ද,
දුරන්නය, සඞ්ඝ, අථොපි, උච්චය, අපර, මුනි, සය්හ, අනොමනික්කම,
ආනන්ද, නන්ද, උපනන්ද, යනාදී දොළොස් බුදුවරුන්ගෙන්
අවසාන දේහය දැරූ භාරද්වාජ බුදුන්ද,

භවයට ඇති බැඳීම ඉතිරියක් නැතුව සිඳලූ, බෝධි, මහානාම බුදුවරුද,
එසේම උත්තර, කේසී, සිඛී, සුන්දර, භාරද්වාජ, තිස්ස,
උපතිස්ස යන බුදුවරුද,
තෘෂ්ණාව මුළුමනින්ම සිඳලූ
උපසීදරී සහ සීදරී යන පසේ බුදුවරයන්ද,

රාගය දුරු කල අහු සහ මංගල යන බුදුන්ද,
දුකට මුල වන තෘෂ්ණාව සිඳ
නිවණ නමැති ශාන්ත බවට පැමිණියාවූ
උපොසථ, සුන්දර, සච්ච නම ඇති පසේ බුදුන්ද,

රාගය දුරු කල ජේත, ජයන්ත, පදුම, උප්පල ද,
පදුමුත්තර, රක්ඛිත, පබ්බත ද, මානත්ථද්ධ, සොභිත යන බුදු වරුද,
මනාසේ සිත මුදවාගත් කණ්හ බුදුන්ද,

යන මේ අප්‍රමාණ වූ මහානුභාව ඇති
පසේ බුදුවරයන් වහන්සේලා භව තෘෂ්ණාව දුරුකළසේක.
ප්‍රමාණ කල නොහැකි තරමේ වන්දනාවට පාත්‍රවූ
ඒ මහා ඉර්ෂි බුදුවරු සියලු ඇලීම් දුරුකර පරිනිර්වාණයට පත් වූ සේක.