මේ සූත්‍රය දීඝ නිකායේ-මහාවග්ග පාළි-බුදුන් වහන්සේ සහ ආර්ය සංඝ රත්නය සමග සියලු දෙවියන්, බ්‍රහ්මයන්, අමනුස්සයන් එකට එක් රැස් වෙන මහා රැස්වීම දිනයේ සිදුවූ සිද්ධිය පිලිබඳ පෙන්වා දෙන සූත්‍රය බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ කපිලවස්තු නුවර එක්තරා වනයක ශ්‍රේෂ්ඨ වූ අරහත් භාවයට පැමිණුනාවූ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා සමග වැඩ වාසය කළ සේක.
ඒ එක දවසක දස දහසක් ලෝක ධාතුන් වල සිට බොහෝ සෙයින් දේව සමූහයන්, බුදුන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේලා දැකීමට පැමිණුනහ.
එදින ශුද්ධාවාස බ්‍රහ්මලෝක වල සිටි දෙවියන් සතර දෙනෙකුට මෙවැනි අදහස් පහළ විය.
“භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ කපිලවස්තු නුවර එක්තරා වනයක ශ්‍රේෂ්ඨ වූ අරහත් තත්වයට පැමිණුනාවූ භික්ෂූන් වහන්සේලා පන්සියයක් පමණ සමග වැඩ වාසය කරනවා. දස දහසක් ලෝක ධාතුන් වල සිට බොහෝ සෙයින් දෙවියන්, ඒ බුදුන් සහ භික්ෂූන් වහන්සේලා දැකීමට පැමිණෙනවා, අපිත් යන්න ඕන බුදුන් වහන්සේ බැහැ දකින්න, එසේ ගොස් අපි උන්වහන්සේ ගැන අපිට ඇති අවබෝධයත් ගෞරවයත් ගැන වෙන වෙනම පද්‍යයන්ගෙන් ප්‍රකාශ කරන්න ඕන” යනුවෙන්.
එසේ සිතූ ඒ දෙවියන් ශක්තිමත් පුරුෂයෙක් කිසිදු අපහසුවකින් තොරව තමන්ගේ නවා ගෙන සිටි අතක් දිග හැරීමට හෝ දිග හැරගෙන සිටි අතක් නැවීමට ගන්නා කාලය තරම් වූ සුළු වෙලාවක් තුල, ඒ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙන් පිටවී බුදුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියහ.
එසේ පෙනී සිට භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් ඉඳ, එක් දේවතාවෙක් මෙසේ පද්‍යයකින් උන්වහන්සේට නිර්භයව ප්‍රකාශ කර සිටියහ.
“නිර්වාණ අවබෝධයට පත්වූ අප්‍රමාද වූ ඒ භික්ෂු සංඝයා ගෙන් සමන්විත ඒ පින්වත් සත්ගුණවත් පිරිස පිරිවරාගෙන මේ මහා වනයෙහි වැඩ සිටින ඔබ වහන්සේ බැහැ දැකීමට විශාල වශයෙන් රැස් වී ඇති දෙවියන් සමූහය අතරට අපිදු පැමිණියෙමු”.
ඉක්බිති අනෙක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙසේ පද්‍යයකින් නිර්භයව පැවසුවේය.
“ඉතා සුළු කෙලෙසක් නිසා හෝ අටලෝ දහමින් කම්පා නොවනසේ
තම සිත පුරුදු කරමින් හික්මවාගෙන ඉන්ද්‍රියයන් රැකගත්, භව තෘෂ්ණාව දුරුකළ ඒ භික්ෂූන් ප්‍රඥාවන්තයි”.
එවිට තවත් දෙවියෙක්ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙසේ පද්‍යයකින් නිර්භයව පැවසුවේය.
“රාග ද්වේශ මෝහාදී කෙලෙස් හුල් සිඳ දමා, අවිද්‍යාව නමැති බැමි බිඳ දමා,
ඉන්ද්‍රඛීලයක් සේ මුල් බැසගෙන සිටි තෘෂ්ණාව මුළුමනින්ම සිතින් උදුරා දැමූ, ඒ භික්ෂු සංඝයා මනාසේ හික්මුණු ළදරු ඇත් පැටවුන්සේ, නිර්මල පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිකාවකින් හැසිරෙයි”.
ඉක්බිති අනෙක් දෙවියාද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙසේ පද්‍යයකින් නිර්භයව පැවසුවේය.
“යම් කෙනෙක් අවබෝධයෙන් බුදුන් සරණ ගියෙහිද, ඒ පුද්ගලයා කිසිකලෙක අපායට නම් නොයන්නේය, ඔහු යම් දවසක මනුෂ්‍යය ශරීරයෙන් ඉවත්වූ කෙනෙහිම දේව ශරීරයක් ලබන්නේය”.
මෙවිට බුදුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කළහ.
“මහණෙනි, දස දහසක් ලෝක වල සිට බොහෝ සෙයින් දේව සමූහයන් මේ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා බැහැ දැකීමට රැස් වී සිටිනවා. මේ ආකාරයටම අතීතයේ පහල වූ බුදුවරුන් ඇතුළු ඒ ආර්ය සංඝ රත්නය බැහැ දැකීමට මේ ආකාරයේම දේව සමූහයාගේ රැස්වීම් පැවතී තිබෙනවා, අනාගතයේ පහල වෙන බුදුවරුන්ටද, ඒ බුදුවරුන් ඇතුළු ඒ ආර්ය සංඝ රත්නය බැහැදැකීමට මේ ආකාරයේම දේව සමූහයාගේ රැස්වීම් පැවැත්වීම සිදුවෙනවා.
මහණෙනි, මම මේ දෙවියන්ගේ නම් කියන්නම්, ඔවුන්ගේ යසස ගැන, අලංකාරය ගැන විස්තර කරන්නම්, ඔවුන්ගේ නම් ගැන සඳහන් කරන්නම්,
මහණෙනි, හොඳින් අහගන්න, හොඳින් මෙනෙහි කරන්න, මම මේ කියන දෙය ගැන”.
‘එහෙමයි, ස්වාමීනි’ යි භික්ෂූන් පිළිතුරු දුන්හ.
බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මේ ගුණ ගායනය හොඳින් දැන කරන්නෙමි.
යම් තැනක පොලව ආශ්‍රිතව බූමාටු දෙවියන් වෙසෙන තැන්
ආශ්‍රිතව ඇති ගල් ගුහාවල නිවන් පිණිස සිත යොමුකළ සංසිඳුවන ලද සිත් ඇති භික්ෂූන් වැඩ වාසය කරනවා.
සැඟවී සිටි සිංහයෙක් අභිමුව දී ලොමුදැහැ ගැන්වීම පවා වලක්වා ගැනීමට සමර්ථ, ඉතා පිරිසිදු නිර්මල වූ ඉතා ප්‍රසන්න වූ තෘෂ්ණා රහිත සිත පවත්වාගනිමින් මේ භික්ෂු සංඝයා වැඩ වාසය කරනවා”.
කපිල වස්තුවේ මේ වනයේ භික්ෂූන් පන්සියයකටත් වැඩියෙන් බොහෝ සිටින බව දැනගෙන, ඒ ශ්‍රාවක පිරිස අමතා භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක.
“මහණෙනි, මේ ඉතා අලංකාර දිව්‍ය සමූහය ගැන දිවැසින් දැකගන්න”.
එවිට ඒ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ අනුශාසනාව අසා, ඒ දෙවියන් සියසින් දැක ගැනීමට වීර්යය කළහ.
එවිට රහතුන්ට ඒ දෙවියන් දැක ගැනීමට නුවණ පහල විය.
ටික දෙනෙක් සියයක් දෙවියන්ද, තවත් කෙනෙක් සැත්තෑ දහසක්ද
තව කෙනෙක් එක් සිය දහසක්ද මේ දෙවිවරුන්ව දුටුවෙහිය.
තවත් අල්ප වූ දෙනෙක් සියලු දිශාවන්වල පැතිරගිය අනන්ත වූ දෙවි සමූහයා දුටුවෙහිය.
“නිවණ සඳහා නියම වන සියලු දේ ගැන මනාසේ අවබෝධ කරගෙන දැන ගත්තෙමි, එහෙයින් මේ ශාසනයේ සියලුම ශ්‍රාවක සමූහය අමතන්නෙමි,
දෙවියන් ඉතා සුන්දර වූ, අලංකාර වූ, කයක් ඇත්තන් බව දැනගන්න, මහණෙනි, මගේ වචනයෙන් ඔවුන්ගේ ඒ ශෝභාව වර්ණනා කරන්නම්,
මහත් වූ ඉර්ධි සම්පන්න වර්ණවත් ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
මේ කපිල වස්තු භුමියේ වාසය කරන සත් දහසක් පමණ යක්ෂයින්
ඉතා සතුටින් මේ වනයේ භික්ෂු සමාගමට පැමිණුනා,
හිමාලයේ වාසය කරන හය දහසක් පමණ නොයෙක් වර්ණවත් වූ,
ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
යක්ෂයින් ඉතා සතුටින් මේ වනයේ භික්ෂු සමාගමට පැමිණුනා,
සාතාගිර පර්වතයේ වාසය කරන තුන් දහසක් පමණ නොයෙක් වර්ණවත් වූ,
ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
යක්ෂයින් ඉතා සතුටින් මේ වනයේ භික්ෂු සමාගමට පැමිණුනා,
මෙපරිද්දෙන් දහසය දහසක් පමණ නොයෙක් වර්ණවත් වූ,
ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
යක්ෂයින් ඉතා සතුටින් මේ වනයේ භික්ෂු සමාගමට පැමිණුනා,
වෙස්සමිත්ත පර්වත වැසි පන්සියයක් පමණ නොයෙක් වර්ණවත් වූ,
ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් වූ ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
යක්ෂයින් ඉතා සතුටින් මේ වනයේ භික්ෂු සමාගමට පැමිණුනා,
රජගහ නුවර වේපුල්ල පර්වතයේ සියදහසකට වැඩි යක්ෂයන් පිරිවරාගෙන වාසය කරන කුම්බීර යක්ෂ රජ නම් ඔහුද, මේ භික්ෂු රැස්වීමට එක්වුණා.
නැගෙනහිර දිශාව පාලනය කරන ඒ දිශාවට අධිපති හා ගාන්ධර්වයන්ට අධිපති, ධ්‍රැතරාෂ්ඨ නම් මහා යක්ෂ රජ යසසින් පිරුණු කෙනෙක්.
ආශ්චර්යමත්යයි කියන ලද තැතිගන්නා ශබ්ද කරන,
මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති යයි හඳුන්වන ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් වූ ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
ධ්‍රැතරාෂ්ඨ නම් මහා යක්ෂ රජ
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා,
දකුණු දිශාව පාලනය කරන ඒ දිශාවට අධිපති හා කුම්භාණ්ඩයන්ට අධිපති,
විරුඪ නම් මහා යක්ෂ රජ යසසින් පිරුණු කෙනෙක්.
ආශ්චර්යමත්යයි කියන ලද තැතිගන්නා ශබ්ද කරන,
මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති යයි හඳුන්වන ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් වූ ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
විරුඪ නම් මහා යක්ෂ රජ
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා,
බස්නාහිර දිශාව පාලනය කරන ඒ දිශාවට අධිපති හා නාගයන්ට අධිපති,
විරූපාක්ෂ නම් මහා යක්ෂ රජ යසසින් පිරුණු කෙනෙක්.
ආශ්චර්යමත්යයි කියන ලද තැතිගන්නා ශබ්ද කරන,
මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති යයි හඳුන්වන ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් වූ ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
විරූපාක්ෂ නම් මහා යක්ෂ රජ
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා,
උතුරු දිශාව පාලනය කරන ඒ දිශාවට අධිපති හා යක්ෂයන්ට අධිපති,
කුවේර නම් මහා යක්ෂ රජ යසසින් පිරුණු කෙනෙක්.
ආශ්චර්යමත්යයි කියන ලද තැතිගන්නා ශබ්ද කරන,
මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති යයි හඳුන්වන ඉර්ධි සම්පන්න වූ, වර්ණවත් වූ ආලෝකයෙන් බබලන යසස් ඇත්තා වූ,
කුවේර නම් මහා යක්ෂ රජ
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා,
නැගෙනගිරට අධිපති ධ්‍රැතරාෂ්ඨ, දකුණු දිශාවට අධිපති විරුඪ
බස්නාහිරට අධිපති විරූපාක්ෂ, උතුරු දිශාවට අධිපති කුවේර
යන ඒ මහා රජවරු හාත්පස සිව් දිසාවම බබලවාලමින්
ඒ කපිලවස්තු වනයේ පෙනී සිටියහ.
ඒ සිව් මහා රජවරුන්ගේ දාසයින් වන අපරාධකාරී, ඇස්බැන්දුම් කරන, පහත් ලෙස හැසිරෙන වංචාකාර, කයිරාටික
මායා, කුටෙණ්ඩු, විටෙණ්ඩු, විටුච්ච, විටුටො සමග
චන්දන, කාමසෙට්ඨ ද, කින්නුඝණ්ඩු සහ නිඝණ්ඩු ද
පනාද, ඔපමඤ්ඤ ද, දේව සුත ද, තව මාතලී නම් සක්‍ර දෙවිදුන්ගේ රථ පදවන්නාද,
චිත්‍රසේන නම් ගන්ධර්වද, බට වලට අධිපති ජනේසභ රජද
සූර්යවච්චසා සමග පලමු වරට එකට ගමන් ගැනීමට අවස්ථාව උදාකර ගත් පංචසිඛ නම් ගන්ධර්වද, යන මේ නොයෙකුත් රජවරුද, ගන්ධර්වයන්ද රජුගේ සේවක පිරිසද, ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
නාගසා විලේ සිටින නාගයෝ ද, විශාලා නුවර නාගයෝ ද,
තච්චක නම් නාගයාද සමග පැමිණුනා,
කම්බලස්සතර ද, පායාගාද යන නාගයන්
ඔවුන්ගේ බොහෝ ඥාතීන්ද සමග බියෙන්, බියෙන් පැමිණුනා.
යසස් ඇති යාමුනා සහ ධතරට්ඨ නාගයන්ද
එරාවන මහා නාගද, මේ සමාගමයට පැමිණුනා.
නා රජ වහා අල්ලාගෙන යා හැකි හොඳින් පෙනීමද ඇති
පියාපත් සහිත දිව්‍ය පක්ෂියෙක් වන චිත්‍රා නම් ගුරුළා
වන මැද අහසෙහි පියාඹමින් සිටියා.
බුදුන් සරණ ගොස් සිටි ගුරුළා නා රජුට බිය නැති කර ආරක්ෂාව සැලසුවා.
මෘදු වචනයෙන් කැඳවීම් කර නාගයාත්, ගුරුළාත් බුදුන් දැකීමට ගියා.
සුර අසුර යුද්ධයෙන් ජයග්‍රාහී වූ ශක්‍ර දේවේන්ද්‍රයා නිසා
සමුද්‍රය ආශ්‍රිතව ඉන්න අසුරයන් වන
ඉර්ධි සම්පන්න, යසස් ඇති ශක්‍ර දේවේන්ද්‍රයාගේ සහෝදරයන්ද,
කාලකඤ්ච, මහාභිස්ම, දානවෙඝස
වෙපචිත්තිද, සුචිත්ති ද, පහාරාද ද, යන අසුරයන්ද, මාරයාද එක්ව
සියල්ලෝම වෛර සහගතයි හඳුන්වන
බලි නම් අසුරයාගේ සියයක් පමණ පුතුන්ද,
සමාගමයට එක්වුනහොත් හොඳයයි කියමින්
බලිගේ සේනාවෙන් සන්නද්ධ වී රාහු අසුරයා වෙත පැමිණ,
ඔවුන් සියල්ලන්මද එකට පැමිණුනා.
එදින ආපෝ ධාතුවට, පඨවී ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට අධිපති දෙවියන්ද, යසස් ඇති වරුණ, වාරුණා, සොමොච දෙවියන්ද, සමග එක්ව යසසින් පිරුණු මෙත්තා, කරුණා, කායිකා දෙවියන්ද, යන දස දෙනා
දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව
යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්,
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
වෙණ්හු දෙවියන්ද, සහලි සහ අසම යන දෙවියන් දෙදෙනාද,
සඳු දෙවියන් පෙරටු කොට සඳ මඬලේ දෙවියන්ද,
හිරු දෙවියන් පෙරටු කොට හිරු මඬලේ දෙවියන්ද,
නැකත්වලට අධිපති නැකත් දෙවියන් පෙරටුකරගෙන
වලාහක දෙවියන්ද, දෙවියන්ට ශ්‍රේෂ්ඨ වන සක්‍ර දෙවේන්ද්‍රයාද,
යන දස දෙනා, දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව
යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්,
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
ඉක්බිති සහභු දෙවියන් පර්වතයක් ගිනි ගන්නාසේ බැබලෙමින් ආලෝකමත්ව පැමිණුනා.
අරිට්ඨකද රොජ ද යන දෙවියන් නිල් මහනෙල් මල් සේ පෙනී සිටියා.
වරුණ දෙවියන්ද, ධම්මා දෙවියන් හා එක්ව අච්චුත සහ අනෙජක දෙවියන්ද,
සූලෙයියරුචිර සමග වාසව, අනෙසින
යන දෙවියන් දස දෙනා, දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්, ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම
ඛිඩ්ඩාපදුසික, මනොපදුසික දෙවියන්ද,
තවද හරය, ඒ ලොහිතවාසින දෙවියන්ද,
පාරග, මහාපාරග යන ඒ යසසින් පිරුණු දෙවියන්
දස දෙනා, දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව
යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්,
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
සුක්ක, කරුම්හ, අරුණ යන දෙවියන් වෙඝනස දෙවියන්ද කැටුව
ඔදාතගය්හ, පාමොක්ඛ සහ විචක්ඛණ දෙවියන්
සැමදා ප්‍රීතියෙන් ඉන්න හාරගජ සහ යසසින් පිරි මිස්සක දෙවියන්ද
ගොරවමින් යම් දිසාවකට වැසි වස්සවන පජ්ජුන්න දෙවියන්ද
යන දස දෙනා, දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව
යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්,
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
යසසින් පිරි ඛේමිය, තුසිත, යාම, කට්ඨක යන දෙවියන්ද,
ලම්බීතක, ලාමසෙට්ඨ, ජොතිනාම සහ ආසව යන දෙවියන්ද,
නිම්මානරති දෙවියන්ද, තව පරනිම්මිත දෙවියන්ද,
යන දස දෙනා, දස දෙසින් නානාප්‍රකාර අලංකාර වර්ණයන්ගෙන් යුතුව
යසසින් පිරුණු, ඉර්ධිසම්පන්නව, නොයෙකුත් වර්ණයන්ගෙන් බබලමින්,
ඉතා සතුටින් මේ වනයේ රැස්වූ භික්ෂු සමාගමට පැමිණුනා.
දේව කොටස් හැටක දෙවියන් සියලු දෙනා, නා නා වර්ණයන්ගෙන් බැබලෙමින්, ඒ තම තමන් හා සමාන අනිකුත් දෙවිවරුද කැටුව පැමිණුනා.
“කාමාදී කෙලෙස් නමැති ඕඝය තරණය කර, නැවත උපතට හේතුවන තෘෂ්ණාව මුලුමනින් දුරුකර, අන්ධකාරය දුරු කරමින් දිදුලන චන්ද්‍රයා සේ,
අවිද්‍යා අන්ධකාරය දුරුකරමින්, සසර දුකින් එතෙර වූ බුදුන් වහන්සේ දැකීමට පැමිණියෙමු” යි කියමින්,
මනා පැවතුම් ඇති ඉතා උසස් බ්‍රහ්ම තෙමේද, ඔහුගේ පුත් ඉද්ධිමත ද,
සනංකුමාර බ්‍රහ්මයාද යන මේ තුන්දෙනාද වනයේ මේ රැස්වීමට පැමිණුනා.
දහසක් බ්‍රහ්මලෝක වලට අධිපති යසසින් පිරුණු මහා බ්‍රහ්මයා
විශාල ආලෝකයකින් බැබලෙමින් තැතිගන්නා තේජස් ඇතිව පෙනී සිටින්නෙක්.
මෙහි ඊශ්වර, වසවර්ති මාරයා වෙන වෙනම එනවා දකිනවා.
දෙවියන් බ්‍රහ්මයන් හැට තුන් දෙනා සමග ගෙන යා හැකි මධ්‍යස්ථ පිරිවර සෙනග ද පැමිණ සිටියා.
තවද ඒ මනවඩන ශක්‍රයා ඇතුලු දෙවියන් බ්‍රහ්මයන් සහිත සියලු දෙනා ඉදිරියට මද පින් ඇති, පවිටු වසවර්ති මාරයා, පසෙකින් මාරසේනාව ද සමග පැමිණුනේ,
‘එව අල්ලා ගනුව, බැඳ ගනුව, තොප විසින් රාගයෙන් බැඳියවූ,
හාත්පසින්ම සිරකොට කිසිවෙකුට රාගයෙන් නිදහස් වීමට ඉඩ නොතබව්’
යන විලාශයෙන්.
ඇත්තෙන්ම එතන සිටි උතුම් වූ භික්ෂු පිරිස, පවිටු වූ ඒ මාර සේනාවට අවනත නොවෙන තරමට තමන්ගේ සිත සංවර කරගෙනයි සිටියේ.
එකල්හි පවිටු මාරයා, තමාගේ කැමැත්ත ඉටු කර ගත නො හැකි වූ නිසා,
යම් සේ ගුගුරමින් විදුලු කොටමින් වර්ෂාව ඇතිවිට හමන මේඝ හුළඟ මෙන්,
අත්ල පොලවේ ගසා භය කර මාර සේනාවද සමග නොපෙනී ඉහලට ඇදී ගියා”.
| මෙහිදී මේ අදහසින් විස්තර වන්නේ අලංකාර, යසස් ඇති දෙවි බඹුන්ගේ දැකීම හමුවේ වත් භික්ෂූන් වහන්සේලාගේ සිත, රාග-ද්වේශ-මෝහයෙන් මුසපත් නොවී සිටීමට තරම්, එදා ඒ බුදුන්ගේ ශ්‍රාවක වහන්සේලා රාග-ද්වේශ-මෝහ කෙලෙස් ප්‍රහාණය කර බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිව සිටි බවයි. |
මේ සිදුවූ සිද්ධිය මනාසේ නියම ආකාරයෙන් දැන, දැක ගත් බුදුන් වහන්සේ
ඒ අවස්ථාවේදීම, එහි සිටි සියලුම ශ්‍රාවක භික්ෂු පිරිසට මෙසේ ආමන්ත්‍රණය කලා.
“මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන
ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනාව පිළිපැද, රාග-ද්වේශ-මෝහාදී
ඒ කෙලෙස් මාර සේනාව ඉක්මවන්න.
බුදුන්ගේ අනුශාසනාව අසා නොනිදා හෝ, ඉඳ ගත් ඉරියව්වෙන්ම පමණක් හෝ සිටිමින්, කෙලෙසුන් තැවීම පිණිස වීර්යය කිරීමෙන්, තමන්ගේ
රෝම කූපයක් හෝ කම්පනයට පත් නොකරවන, මුළුමනින්ම තෘෂ්ණාවෙන් තොර වන, ඒ උතුම් අරහත්වයට පත්වීමට හැකියාව ලැබෙයි.
මෙසේ කෙලෙස් තවන වීර්යයෙන් කටයුතු කර, රාග-ද්වේෂ-මෝහ නමැති කෙලෙස් මාර සේනාව හා සටන් වැද, තෘෂ්ණාව මුළුමනින්ම දුරුකිරීම නමැති ජයග්‍රහණය අත් කර ගැනීම නිසා, අතීතයේ ඇතිවූ සියලු භය වලින් මුළුමනින්ම මිදී සතුටින් වාසය කරන ඒ ප්‍රඥාවන්තයා, තම ශාස්තෘන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෙකි”.