ප්‍රවර්ග
ඛුද්දක නිකාය

රතන සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- බුද්ධ-ධම්ම-සංඝ යන ත්‍රිවිධ රත්නයේ ස්වභාවයත් ආනුභාවයත් පෙන්වා දෙමින් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.

මෙහි රැස් වී සිටින, අහසෙහි පොළොවෙහි හැසිරෙන සත්වයනි, අමනුෂ්‍යයනි, ඒ ඔබ සියලු දෙනාම යහපත් සිත් ඇත්තෝ වෙත්වා! තවද මම මේ මනාකොට පෙන්වාදෙමින් පවසන කාරණයට හොඳින් සවන් දෙත්වා!

ඔබලාගේ නොසංසිඳුනු බව නිසා හිරිහැර, විපත් සිදු කරන අමනුෂ්‍යයිනි, මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී කරන්න!
දිවා රෑ දෙකේ ඔබලාට බලි පඬුරු පුජා සිදුකරන ඒ ඔවුන්ව,
අප්‍රමාණව ආරක්ෂා කරන්න!

මෙලොව හෝ අන් ලෝකයක හෝ ඇති වටිනාම වස්තුව හෝ
දිව්‍ය ලෝකයේ ඇති වටිනාම යම් මානික්‍යයක් හෝ
තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බවේ වටිනා කමට,
සම කල නොහැක්කේය.
ඒ උතුම් බුද්ධ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

රාගය මුළුමනින්ම දුරුකිරීමෙන් සංසිඳවාගත් සිත් ඇතිව දුකෙන් මිදෙන, නැවත ඉපදීමකට හේතු සකස් නොකරන, නිවණ සාක්ෂාත් කරගැනීමට හැකිවන, ශාක්‍යමුණි තෙමේ විසින් දේශනා කල ඒ උතුම් ධර්මයට සම කිරීමට වෙනත් කිසිදු ඉගැන්වීමක් නැත්තේය,
ඒ තරම් උතුම් වන ඒ ධර්මයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

ශ්‍රේෂ්ඨ වූ බුද්ධ තෙමේ, අනිවාර්යයෙන්ම එළඹවාගත හැකි
ඒ සුපිරිසිදු වූ සිත එකඟ කිරීමක් ගැන වර්ණනා කලේද,
එවැනි වූ ධ්‍යානයක් හෝ භාවනාවක් හෝ ලොව විද්‍යාමාන වන්නේ නැත.
එවැනි වූ උතුම් ධර්ම රත්නය හා සමාන කිසිවක් නොම ඇත්තේය,
ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

මනා සිහියෙන් යුත් සත් පුරුෂයන් විසින් ප්‍රශංසා කරනු ලබන,
අවස්ථා හතරක යුගල ලෙස පිලිවෙලින් ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ හා ගමන අවසන් කළා වූ, උසස්ම භවයන් අටට පමණක් ඇතුලත් වන
ආර්ය පුද්ගලයන්ගෙන් සමන්විත වන ඒ සුගතයන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝ රත්නයේ මහානුභාවය නිසා, ඒ සංඝ රත්නයට,
ගිහියන් විසින් තමන්ගේ මෙලොව පරලොව සුභ සිද්ධිය උදෙසා සිදුකරන සිවුපස පූජාවන්ගෙන්, ඒ ගිහියන්ට මහත් වූ ආනිශංස, මහත් වූ කුසල් වඩා ගැනීමට හේතුවේ.
එවැනි වූ ඒ උතුම් සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

යම් කෙනෙක් සිත ස්ථිර අධිෂ්ඨානයක මනාකොට පිහිටුවාගෙන
ගිහි ගෙයින් නික්මී සුගතයන් වහන්සේගේ ශාසනයට එළඹියා නම්,
ඒ උතුම් වූ අරමුණෙහිම බැසගෙන ප්‍රතිපදාව අනුව යන්නේ නම්,
ඔහුට සියලු කෙලෙසුන්ගෙන් මිදී හිත සම්පූර්ණයෙන්ම ඇලීම් ගැටීම් වලින් මුදවාගෙන, නිර්වාණය භුක්තිවිඳීමට හැකි වන්නේය.
ඒ නිසාම උතුම් වන ඒ සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

යම් සේ පොලව යටට බොහෝ ගැඹුරට බැසගත් ඉන්ද්‍රඛීලයක්
සිවු දෙසින් හමන මහා සුලඟකට හෝ නොසෙල්වෙන්නාසේ,
යම් ආර්ය පුද්ගලයෙක් චතුරාර්ය සත්‍ය මනාකොට නුවණින් අවබෝධ කරගත් නිසා, ඒ තෙමේද බුදුන් දහම්, සඟුන් කෙරෙහි ඉන්ද්‍රඛීලයක් සේ ඇතිකරගන්නා වූ අචල විශ්වාසයක් ඇතුව දිවි ගෙවන්නේය.
ඒ තරම් උතුම් වන සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

යම් මේ පෘතග්ජන පුද්ගලයෙක් ගිහිගෙයින් නික්මී කෙලෙස් ප්‍රහාණය කිරීමේ අරමුණෙන්ම ශාසනයට ඇතුල් වී, බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීම නිසා අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට ඇතුලත් වුනත්, නරකාදී සතර අපායෙන් නොමිදුන කෙනෙකි.
නමුත් ඒ ආර්ය පුද්ගලයා, බුදුන් වහන්සේ මනාකොට දේශනා කරන ලද ධර්මය තමාගේ නුවණින්ම අවබෝධ කරගැනීමෙන් පසු, සෝවාන් ඵලයට පත්වූ දා සිට සතර අපායෙන් මිදුණු පුද්ගලයෙක් වන්නේය. එනම් ඔහු උතුම් වූ භව හතෙන් පළමු වන භවය වන සෝවාන් ඵලයට පත්වූ අයෙකි.
එම උතුම් භව හත නම් සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ග ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ග ඵලය, අනාගාමි ඵලය, රහත් මාර්ග ඵලය, රහත් ඵලය නම් වේ. මෙයින් පසු ඔහුගේ වීර්යයේ මන්දෝත්සාහී බව නිසා සසරේ කොතරම් පමා වුවත්, නැවත කිසිදා සෝවාන් ඵලයට වඩා පහත භවයක ඉපදෙන්නේ නැති බව නියතයක් වේ. එනම් ඔහුට නැවත කිසිදා සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔහු නැවත සතර අපාය හෝ දුගතියක හෝ ඉපදෙන්නේ ද නැත. ඔහු ඉන් පසු කවර සුගතියක කොපමණ වාරයක් ඉපදුනත්, ඔහුගේ වීර්යයට අනුකූලව සෝවාන් ඵලයේ හෝ ඉන් ඉහල භවයක ඉපදීම සිදුවේ.
ඒ නිසාම ඒ සංඝ රත්නය උතුම් වන්නේය. ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයා නිවැරදි වූ දෘෂ්ඨිය ලැබීමත් සමගම
මෙතෙක් කාලයක් තමා දරා සිටි අවිද්‍යා සහගත හිස් දෘෂ්ඨියෙන් ඉවත්වීමත්,
තමා මෙතෙක් කාලයක් දුකින් මිදීමට අනුගමනය කල හුදු වෘත හෝ හිස් ප්‍රතිපදා අතහැරීමත් සිදු වනවා සේම, මෙතරම් කාලයක් බුදුන් වදාළ ධර්මය ගැන සහ එය අන් ඉගැන්වීම් වලින් වෙනස් වන්නේ කෙසේද, හෝ ඒ බුදුන් වදාළ ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කල හැකි එකක්ද හෝ
එසේ නම් ඒ කෙසේද හෝ දැයි යන්න ගැන, යම් සැකයක් තිබුනේ නම් එම සැකය පහවී යාමත්, විද්‍යාමාන වන්නේය.
ඒ ආර්ය පුද්ගලයා අතින් ආනන්තර්ය පාප කර්මයන් සිදු වීම නොවන නිසාම හේ සතර අපායෙන් මිදුණු අයෙක් වන්නේය.
ඒ නිසාම ඒ සංඝ රත්නය උතුම් වන්නේය. ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

ඒ සෝවාන් වූ පුද්ගල තෙමේ තම කයින්, වචනයෙන් හෝ සිතින්
කිසි ලෙසකින් හෝ පාපී ක්‍රියාවක් සිදුවුන හොත්, තමන් අතින් සිදුවූ ඒ වරද තමන් වෙතින් හෝ අනුන් වෙතින් සඟවාගෙන නොසිට, ඒ වරද ඉතා ඉක්මණින් නිවැරදි කර ගන්නේ, බුද්ධාදී රහත් උතුමන් විසින් එසේ කෙලෙස් සඟවා සිටීම නොකළ යුත්තක් බව පෙන්වා දී ඇති නිසයි, ඒ නිසාම ඒ සංඝ රත්නය උතුම් වන්නේය. ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

ගිම්හාන ඉර්තුවේ පළමු ගිම්හාන මාසයේ වන ලැහැබ් වල ඇති ගස් වල සුපිපි රිකිලි අතු හිරු එලියට දිලිසෙන්නේ යම් සේද, බුදුන් වහන්සේ දේශනා කල නිවණට ගමන් කල හැකි මාර්ගය, අන් සියලු ඉගැන්වීම් අතුරින් ඉස්මතු වී බබලන්නේය.
ඒ උතුම් වූ බුද්ධ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

උතුම් වූ නිවණ දන්නා වූ උතුම් වූ නිවණ දේශනා කළා වූ,
උතුම් වූ නිවණ් මග පෙන්නා දුන්නා වූ, උතුම් ධර්මයක් දේශනා කළා වූ
තුන් ලෝකයටම අග්‍ර වූ, බුදුන් වහන්සේ උතුම් රත්නයක් වන්නේය.
ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

පෙර කර්ම ක්ෂය කළා වූ, නව කර්ම නොකරන්නා වූ, මතුවටද කර්ම කිරීමට ඇති හේතු නැති කරා වූ,
මතු භවයන් සඳහා නොඇලුණු සිත් ඇති නිසා, පුනරුප්පත්තියට හේතු නැති කළාවූ, ක්ෂීණ වූ ප්‍රතිසන්ධි බීජ හේතුකොට ගෙන ප්‍රඥාවන්ත රහත් තෙම,
තෙලුත් තිරත් අවසන් වී නිවී යන පහනක් සේ පිරිනිවන් පා සසර ගමන කෙලවර කරනු ලබන්නේය.
ඒ නිසාම ඒ සංඝ රත්නය උතුම් වන්නේය. ඒ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා!

මෙහි රැස් වී සිටින, අහසෙහි පොළොවෙහි හැසිරෙන සත්වයනි, අමනුෂ්‍යයනි, දෙවි මිනිසුන් විසින් පුද දෙන්නා වූ
තථාගත බුදු පියාණන් වහන්සේට නමස්කාර කිරීමෙන්, ඔබලාට යහපතක්ම සිදුවේ!

මෙහි රැස් වී සිටින, අහසෙහි පොළොවෙහි හැසිරෙන සත්වයනි, අමනුෂ්‍යයනි, දෙවි මිනිසුන් විසින් පුද දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ
ධර්ම රත්නයට නමස්කාර කිරීමෙන්, ඔබලාට යහපතක්ම සිදුවේ!

මෙහි රැස් වී සිටින, අහසෙහි පොළොවෙහි හැසිරෙන සත්වයනි, අමනුෂ්‍යයනි, දෙවි මිනිසුන් විසින් පුද දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ
ශ්‍රාවක සංඝ රත්නයට නමස්කාර කිරීමෙන්, ඔබලාට යහපතක්ම සිදුවේ!