මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්ත නිපාතය-උරග වර්ගය-ආළවක සූත්‍රයේ අඩංගු බුදුන් වහන්සේ සහ ආලවක අතර ඇතිවූ ධර්මය පිළිබඳ සංවාද කොටස පමණක් බව සිහි තබාගන්න.
| මේ සූත්‍රයේ කියවෙන ආලවක යක්ෂයා හට මාර්ග ඵල අවබෝධ කරගැනීමට තරම් කුසල් ඇති බව දිවසින් දුටු බුදුරජාණන් වහන්සේ, කිසිවකුට අවසරයක් නැතිව ඇතුල් වීමට නොහැකි, ඒ යක්ෂයාගේ භවනට ඇතුළු වූයේ, ඒ යක්ෂයා නැති අවස්ථාවකයි. එහි පැමිණි යක්ෂයා, බුදුන් වහන්සේ දැක, ඉතා කෝපයට පත් වී බුදුන් වහන්සේට පිටවන ලෙස පැවසූ විගසම, ඉවසීමෙන් ඉතා ශාන්ත වූ ගමනින් එයින් පිටවන උන් වහන්සේ දැක, පැහැදීමක් ඇතිවී ඒ පැමිණ සිටියේ යම් හෝ ආනුභාවයක් සහිත කෙනෙක් බව වටහා ගත්තා. මේ නිසාම ඒ බව තව දුරටත් ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා ඒ යක්ෂයා, බුදුන් වහන්සේට නැවතත් ඇතුලට පැමිණෙන ලෙස දන්වා සිටියා. නැවතත් බුදුන් වහන්සේ ඉතා ශාන්තව භවන ඇතුලට වැඩියා. මේ දර්ශනයෙන් තව තවත් බුදුන් වහන්සේ ගැන ප්‍රසාදයක් ඇතිවුණත්, ඒ ගැන තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා නැවත නැවතත් එලියට යන ලෙසත්, ඇතුලට පැමිණෙන ලෙසත්, ඒ ආලවක, බුදුන් වහන්සේට අණ කරනවා. තුන් වන වාරයෙන් පසු බුදුන් වහන්සේ එයින් පිටවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වනවිට ඒ ආලවක තුල, මේ බුදුන් වහන්සේ යනු ඉතා ආනුභාවසම්පන්න පුද්ගලයෙක් යයි යන හැඟීම ඇතිවී තිබුණු නිසා, ඔහු කියනවා “ එහෙනම් මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, එසේ උත්තර දීමට නොහැකි උනොත්, මම ඔබව අල්ලා පොලවේ ගසනවා” යනුවෙන්. එවිට බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා “ මා හට එවැනි දෙයක් කිරීමට තරම් සමත් කෙනෙක් මේ ලොව තුල නැහැ, නමුත් මම ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්” යයි, කියා. මෙතැන් සිට ඇතිවන්නේ බුදුන් වහන්සේ සහ ආලවක අතර ඇතිවූ ඒ සංවාදයයි. එය කියවූ පසු ඔබට වැටහේවි ‘මේ ආලවක යක්ෂයා යනු කොතරම් ප්‍රඥාවක් තිබුණු කෙනෙක් දැයි’ කියා. |
ආලවක-
පුද්ගලයෙකුට ලැබිය හැකි වටිනාම ශ්‍රේෂ්ඨ ධනය කුමක්ද?
සැප ලැබීමට නම් කුමක් කල යුතුද?
ඒකාන්තයෙන්ම සැනසීම ලැබිය හැකි වන, විඳීම කුමක්ද?
කුමන ආකාරයකට ජීවත්වන්නෙකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වේද?
බුදුන් වහන්සේ-
කෙනෙකුට ලැබිය හැකි වටිනාම ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාවයි.
ධර්මයට අනුව පුහුණු වී මනාකොට හැසිරෙන විට, සැපය ලබාගත හැකිවෙයි.
චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමෙන්, ඒකාන්තයෙන්ම සැනසීම ලැබිය හැකිවෙයි.
එළඹ සිටි සිහියෙන් යුතුව මනා ප්‍රඥාවෙන් ජීවත් වන කෙනාගේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ.
ආලවක-
කාම ක්ලේෂා දී සැඩපහරවල් ජය ගන්නේ කෙසේද?
සංසාරය නමැති මහා සාගරයෙන් එතෙර වන්නේ කෙසේද?
ජාති-ජරා-බ්‍යාධි වැනි දුක් වලින් මිදෙන්නේ කෙසේද?
තණ්හා-දෘෂ්ඨි-මාන වලින් මිදී මුළුමනින්ම සිත පිරිසිදු කරගන්නේ කෙසේද?
බුදුන් වහන්සේ-
බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳව ඇතිකරගන්නා අවබෝධය නිසා ගොඩ නගා ගන්නා ශ්‍රද්ධාව ඇතිව, ඒ ධර්මය අනුව පිලිපැදීමෙන් තමයි, රාග-ද්වේශ-මෝහ නමැති කෙලෙස් සැඩපහරවල් ජය ගැනීමට හැකිවන්නේ.
අප්‍රමාදව, ඒ රාග-ද්වේශ-මෝහ නමැති කෙලෙස් සැඩපහරවල් ජය ගැනීමෙන් තමයි, සංසාරය නමැති මහා සාගරයෙන් එතෙර වීම කල යුත්තේ,
දැඩි අධිෂ්ඨානයත්, උත්සාහයත්, ඇතිකරගැනීමෙන් තමයි, සියලු දුකින් නිදහස් වීමට හැකි වන්නේ.
එළඹ ගත් සිහියෙන් සිටිමින්, “මමය-මගේය-මගේ ආත්මය” යයි තමා උපාදානය කරගෙන සිටින සිත-කය දෙස නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින්, ඒවායේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම නමැති ප්‍රඥාවෙන් තමයි, තණ්හා-දෘෂ්ඨි-මාන වලින් මිදී මුළුමනින්ම සිත පිරිසිදු කරගැනීමට හැකිවන්නේ.
ආලවක-
ඒ ප්‍රඥාව කෙසේ ලැබිය හැකිද?
ඒ ශ්‍රද්ධා ධනය කෙසේ ලැබිය හැකිද?
ඒ යසස කීර්තිය කෙසේ පැමිණේද?
කෙසේද හිතවත් කම් බැඳ තබාගන්නේ?
මමය හැඟෙන ලෝකයෙහි හෝ අන් අය නිසා හෝ ශෝක නොකර සිටිය හැක්කේ කෙසේද?
බුදුන් වහන්සේ-
රාග-ද්වේශ-මෝහාදී කෙලෙස් නසන, නිර්වාණයට පමුණුවන, ඒ ධර්මයට සිහිය එළඹවාගෙන, උවමනාවෙන් කැමැත්තෙන් සවන් දී, තමාටම ගලපා බලා, නුවණින් විමසමින්, නුවණින් මෙනෙහි කිරීමෙන්, ඒ ප්‍රඥාව ලැබිය හැකියි.
අනික් ධර්මයන් හා ආගමක් සේ සමානව පෙනුනත්, සත්‍යවශයෙන් සමාන නොවන, ඒ සැම අතරින් විශේෂ වන, නිවණට පමුණුවන මේ ධර්මය හඳුනාගෙන, වීර්යයෙන් ඉගනගෙන අවබෝධ කර ගැනීමෙන්, ශ්‍රද්ධාව නමැති ධනය ලබා ගත හැකියි.
චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් තැනැත්තාහට, යසස සහ කීර්තිය පමුණුවයි.
හිතවත් කම් බැඳ තබාගන්නේ පරිත්‍යාගයෙනි.
මනාව ශ්‍රද්ධාව ඇතිකරගත් ගිහි ගෙයි වසන කෙනා
චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම, සිත-කය-වචනය සංවර කර ගැනීම, ධෛර්යය සම්පන්නව තණ්හා-දෘෂ්ඨි-මාන වලින් මිදීම සඳහා උත්සාහ කිරීම, ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි යන උපාදානයෙන් මිදීම නිසා, ඒකාන්තයෙන්ම ඔහුට ශෝක කිරීමට හේතු හටගන්නේ නැහැ.
ඒ නිසා ‘මමය’ හැඟෙන ලෝකයෙහි හෝ අන් අය නිසා හෝ ඔහු ශෝක කරන්නේ නැහැ.
එහෙනම් ඔබට දැන් අවශ්‍ය නම්, අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙනුත් විමසා බලන්න,
ආර්ය සත්‍ය සතර අවබෝධ කරගැනීමත්, සිත-කය-වචනය දමනය කරගැනීමත්, ‘මමය-මගේය-මගේ ආත්මය’ ලෙස ඇති උපාදානය අතහැරීමත්, තරම් ඉවසීම ප්‍රගුණ කරන තවත් දෙයක් තිබේද කියා.
ආලවක-
කුමටද මම දැන් අනෙක් ශ්‍රමණ බ්‍රහ්මණයන්ගෙන් විචාරන්නේ?
මම අද විශේෂයෙන් දැනගත්තා, පරලොව විනාශයට හේතුවෙන කරුණු.
බුදුන් වහන්සේ මේ මගේ භවනට පැමිණීම නිසා
මට අද ලැබුනු මේ අවබෝධය, ඒකාන්තයෙන්ම මම ලැබූ විශාල ලාභයක්.
මම ගමින් ගමට හැසිරෙමින් සම්බුදුන් වහන්සේ නමදිමින් යහපතෙහි හැසිරෙන්නෙමි.