මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- මෛත්‍රිය වැඩීම තුලින් නිර්වාණ සුවය අත්විඳින ආකාරය පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.
මිනිසෙකු වශයෙන් පත්විය හැකි උසස්ම සහ උතුම්ම තත්වය වන ශාන්ත වූ නිවණ, දැන අවබෝධ කිරීමට කැමැත්තෙන් ඒ සඳහා දක්ෂ වීමට නම්, ස්ථිර වූ අරමුණෙහි සිත පිහිටුවාගෙන, ඒ අරමුණෙහි සිත කීකරුව තබා ගත හැකි, තවද දැඩි දෘෂ්ඨි ගත නොවන, තමා පිලිබඳ හීන හෝ අධි මානයක් නැති කෙනෙකු විය යුතුයි.
ලද දෙයින් සතුටු වීමද, සැහැලුවෙන් පෝෂණය වීමට හැකි වීමද, කාර්ය බහුල ජීවන රටාවෙන් මිදුණු සැහැල්ලු දිවි පැවැත්මක් ඇති වීමද, මෙන්ම
සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු වීමද, කුල ගෝත්‍ර වංශ ආදිහි මාන්නය දුරු කර උඩඟු නොවී සිටීමද, තමන් තුල පැවතිය යුතු ගුණාංග වේ.
නුවණ ඇති වෙනත් අයගේ හෙවත් සත් පුරුෂයන්ගේ දෝෂ දර්ශනයට ලක් විය හැකි සුළු හෝ හැසිරීමකින් වුවද වෙන්වෙමින්, සියලු සත්වයාට යහපත සැනසීම පතමින්, ඒ සඳහා තමන්ගේ සිත-කය-වචනය හසුරවමින්, තම ජීවිතය පවත්වා ගැනීමට පුලුවන් විය යුතුයි.
යම් කෙලෙස් නිසා බියට පත්ව ඇති සත්වයන්ද, නිකෙලෙස් වීමෙන් බියෙන් මිදුණු උතුම් තත්වයට පත්වූ උතුමන්ලාද, අනිකුත් සියලුම පණ ඇති, දික් වූ-විශාල වූ-මධ්‍යම වූ-මිටි වූ- ඉතා කුඩාවූ-මහත් වූ යන, ලොකු කුඩා සෑම සියලු සත්වයන්ද,
තමන් දන්නා හඳුනන හෝ නොදන්නා හෝ දුර හෝ ලඟ හෝ වෙසෙන සියලුම සත්වයන්ද, යන පණ ඇති සියලුම ජීවින්ද, ඇසට පෙනෙන සත්වයන්ද, ඇසට නොපෙනෙන දෙවියන් හා වෙනත් අමනුෂ්‍ය සත්වයන්ද, උපත ලබා ඇති සියලු සත්වයන්ද, තවමත් මෙලොව එළිය නොදුටු එහෙත් පිලිසිඳගෙන ඉපදීමට සිටින සත්වයන්ද, යන මේ සියලු සත්වයාම කෙරෙහි ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ යන මෛත්‍රී සහගත සිත පිහිටුවාගත යුතුයි.
මෙයින් මත්තෙහි කිසිතැනකදී හෝ කිසි විටකදී හෝ අන් කිසිවෙකුට අවමන් නොකල යුතුයි. වේදනාව හා වැරදි වැටහීම යන එකිනෙක හා සම්බන්ධ හේතූන් නිසා කෝපයෙන් බැනවැදීම්, වෛර කිරීම් ඇති නොවන ආකාරයෙන් සිහියෙන් වාසය කල යුතුයි.
මවක් තමන්ගේ එකම පුත්‍රයා තම පණ මෙන් රකින්නේ යම් සේද,
ඒ හා සමානවම සියලු සත්වයා කෙරෙහි පවත්වාගත් තමන්ගේ අප්‍රමාණ මෛත්‍රී සහගත සිත ආරක්ෂා කරගත යුතුයි.
සියලු ලෝකයම ‘මම’ යයි හැඟීමෙන්, සියලු දෙනා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත පැතිරවිය යුතුයි. උඩ දිසාවේද, යට දිසාවේද, සෑම සියලු දිසාවලද, ඉන්නා සියලු සත්වයන්ට වෛර කිරීම්, සතුරුකම් කිරීම් වලින් වෙන්වී, බෙදීමකින් තොරව ඒ සැමට එකසේ මෛත්‍රී සිත පැතිරවිය යුතුයි.
නැවතී සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩිවී සිටියත්, හාන්සිවී සිටියත්, නිදීමට ගොස් යම් තාක් නිදි නැතිව සිටියත්, ඒ සියලු අවස්ථාවන්හිදීම මෛත්‍රී සහගත සිත පවත්වාගනිමින් බ්‍රහ්මචාරීව වාසය කල යුතුයි.
“මමය-මගේය-මගේ ආත්මය” යයි යන වැරදි දෘෂ්ඨිය අතහරිමින්, සම්මා දෘෂ්ඨියට පත්වී, නිවැරදි ශීලයේ පිහිටියාවූ මේ උතුම් කෙනා, චතුරාර්ය සත්‍යය අවබෝධ වීමත් සමග කාමයට ඇති දැඩි තණ්හාව දුරුකිරීම හේතුවෙන්, ඒකාන්තයෙන්ම ඉපදීම අවසන් කර, නැවත මවු කුසකට පැමිණීම වලක්වා ගන්නේය.