ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණ මෙනෙහි කරන භාවනා කමටහන

ධම්ම පදය-මාර්ග වග්ගය
කාශ්‍යප බුදුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලේ සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණය මෙනෙහි කර සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට, ගෞතම බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ භාවනා කමටහන

තමන් විසින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි කියමින් උපාදානය කරගන්නා සියල්ල, තමන්ගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස් වන බවත්, ඒ උපාදානය කරගත් තමන්ගේ කැමැත්තද මුල් කැමැත්තට අනුව නොපවතිමින් වෙනස් වන බවත්,
යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
ඒ වෙනස් වීම් නිසා තමාට දුකෙන් පෙළීමට සිදුවූ බව අවබෝධවූ වහාම, ඔහු ඒ සියලු බැඳීම් කෙරෙහි කලකිරෙනවා.
ඒ ආකාරයෙන් කලකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.

තමන් විසින් ‘මමය-මගේය-මගේ ආත්මය’ යයි, කියමින් උපාදානය කරගන්නා සියල්ල නිසා ඇතිවන ඇලීම්-ගැටීම්ද, කැමැති-අකමැති රූප ඒ ආකාරයටම නොපැවතීමද, මුලින් ඇතිවූ කැමැත්ත-අකමැත්ත ඒ ආකාරයටම නොපැවතීමද, යන මේ සියල්ල තමන්ට උරුම කරන්නේ දුකක් බව, යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
දුකට කැමති නැති තමන්ට ‘මමය-මගේය-මගේ ආත්මය’ යනුවෙන් අයිතිකරගන්නා දේවල් නිසාම දුක ඇතිවෙන්නේ නම්, ඒවා ‘මම හෝ මගේ හෝ මගේ ආත්මය’ වන්නේ කෙසේදැයි, තමන්ගෙන්ම නුවණින් විමසමින්, ඒ උපාදානය කරගත් සියල්ල කෙරෙහි කලකිරෙනවා.
ඒ ආකාරයෙන් කලකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.

තමන්ද අන් ලෝකයේ ඇති සියල්ලමද තමාගේ අදහස් හා සිතිවිලිද කැමැත්ත අකමැත්තද යන මේ සියල්ලම හටගත්තා සේම වෙනස් වෙමින් පැවතී නැතිවී යන බව, යම් කලෙක සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන කෙනාට අවබෝධ කරගන්න හැකිවෙනවා.
ඒ ගැන මෙතෙක් කාලයක් නොදැන අවිද්‍යාවෙන් සිටි නිසාම ඇතිකරගත් බැඳීම් නිසා දුක අත්කරගත් බව නුවණින් අවබෝධ කරගෙන, ඒ මමය-මගේය-මගේ ආත්මය යයි, ගොඩනගා ගත් තණ්හා-දෘෂ්ඨි-මාන කෙරෙහි කලකිරෙනවා.
ඒ ආකාරයෙන් කලකිරීම තමයි ඔහුව නිවන් මාර්ගයට පමුණුවන්නේ.