මේ සූත්‍රය දීඝනිකායේ-පාථිකවග්ග පාළි- අමනුස්සයන්ගෙන් ඇතිවිය හැකි බලපෑම් ගැනත්, සත්‍ය වශයෙන්ම බුදුන් සරණ ගිය ශ්‍රාවක, ශ්‍රාවිකාවන් හට ඒ අමනුස්සයන් වන සතර වරම් දෙවිවරුන්ගෙන් රැකවරණයක් සැලසෙන බවත් පෙන්වා දෙන ආටානාටිය පඨම බණවර සහ දෙවන බණවර සූත්‍ර දෙකෙහි එකතුවක් වන බව සිහි තබාගන්න.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක බුදුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළ සේක.
ඒ එක රාත්‍රියක් ඇවෑමෙන්, බුදුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, ඉකුත් රාත්‍රියේ සතර වරම් දෙවිවරු ඔවුන්ගේ මහත්වූ යක්ෂ සේනාවද, මහත්වූ නාග සේනාවද, මහත්වූ ගන්ධබ්බ සේනාවද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවද, සමග සතර දිශාවන්හිම ආරක්ෂක රැකවල් පිහිටුවා, සතර දිශාවෙන් ඔවුන්ගේ භට සේනා පිහිටුවා, සතර දිශාවම ඔත්තු සේවාවලින් ආවරණය කර, අන්ධකාරය ඒකාලෝකමත් කරමින් නා නා වර්ණයන්ගෙන් යුතු ආලෝක වලින් බැබලෙමින්, ගිජ්ජකූට පර්වතය හාත්පසම බබලවාගෙන, මා හමුවීමට පැමිණුනා. ඇවිත් මට වැඳ පසෙකින් හිඳ ගත්තා.
තවද මහණෙනි, ඒ යක්ෂයන්ගෙන් ඇතැම් ටික දෙනෙක් මට වැඳ පසෙකින් හිඳ ගත්තා. ඇතැම් ටික දෙනෙක් මා සමග සුහද බවක් දැක්වූවා,
එසේ සුහදව සුව දුක් විමසා පසෙකින් හිඳ ගත්තා. ඇතැම් ටික දෙනෙක් ඔවුන්ගේ දෙඅත් එක්කොට මා හට නමස්කාර කොට පසෙකින් හිඳ ගත්තා.
තවත් ඇතැම් දෙනෙක් මා හට ඔවුන්ගේ නාම ගෝත්‍ර පවසා පසෙකින් හිඳ ගත්තා. ඇතැම් දෙනෙක් නිශ්ශබ්දව පසෙකින් හිඳ ගත්තා.
මහණෙනි, පසෙකින් හිඳ ගත් වෛශ්‍රවණ මහා රාජයා මා හට මෙසේ පැවසුවා”,
“ස්වාමීනි, මේ උසස් ගණයට අයත් යක්ෂයන්ගෙන් සමහර දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නේ, උසස් යක්ෂයන්ගෙන් තවත් කොටසක් ඔබවහන්සේට අකමැතියි, මධ්‍යම ගණයට අයත් යක්ෂයන්ගෙන් කොටසක් භාග්‍යවතුන් වහන්සේට පැහැදුණත්, තවත් කොටසක් ඉන්නව ඔබ වහන්සේට කැමති නැති. ඒ වගේම පහත් යක්ෂ කොටස් වල සමහර යක්ෂයන් ඉන්නවා ඔබ වහන්සේට කැමති, නමුත් ඒ වගේම ඔබ වහන්සේව අප්‍රිය කරන පහත් යක්ෂයනුත් ඉන්නවා,
බොහෝ සේ යක්ෂයන් ඔබ වහන්සේට කැමති නැහැ.
ඒකට හේතුව කුමක්ද කියනව නම්,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා
ප්‍රාණ ඝාතයෙන් වලකින්න කියල,
අනුන් සතු දේ ගැනීමෙන් වලකින්න කියලා,
කාමයේ වරදවා හැසිරීමෙන් වලකින්න කියල,
බොරු කීමෙන් වලකින්න කියල,
මත් වතුර ප්‍රමාදයට හේතුවෙන බව (නිවැරදි දේ ගැන සිහියෙන් අවබෝධ කරගැනීමට නොහැකි බව) නුවණින් දැක, ඉන් වලකින්න කියල,
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ යක්ෂයන් වනාහි
ප්‍රාණඝාතයෙන් වළකින්නේ නැහැ
සොරකම් කිරීමෙන් වළකින්නේ නැහැ
කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්නේ නැහැ
බොරුකීමෙන් වළකින්නේ නැහැ
ප්‍රමාදයට හේතුවෙන මත් පැන් පානයෙන් වළකින්නේ නැහැ
ඒ නිසයි ඔවුන් අසතුටු වෙන්නේ, අමනාප වෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතා දුෂ්කර කැලෑ ඇතුලාන්ත ආශ්‍රිතව
මනුෂ්‍යයන්ගේ රහසි ගත කටයුතු වලට යොදාගන්නා ස්ථාන වැනි, මනුෂ්‍ය වාසස්ථාන නැති ඉතා නිශ්ශබ්ද, මනුෂ්‍ය කටහඬ නොඇසෙන, තම කායික සහ චිත්ත විවේකයට ඉතාමත් සුදුසු පරිසරයක් සහිත ස්ථානයන්හි, තනාගත් සේනාසනයන්වල වාසය කරනවා.
ඒ ස්ථාන වල යක්ෂයන් බොහෝ පිරිස්ද වාසය කරනවා.
ඔවුන් භාග්‍යවතුන් වහන්සේ යහපත සඳහා දේශනා කරන දේ අප්‍රිය කරනවා.
ඔවුන්ගේ පැහැදීම ඇතිකිරීම සඳහාත්, භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන සිව් වනක් පිරිසට, ඒ යක්ෂයන්ගෙන් පැමිණිය හැකි හිංසා පීඩාවලින් මිදී ආරක්ෂාවෙන් සුවසේ වාසය කිරීම සඳහාත්,
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ආටානාටිය පිරිත දැන වදාරන්න”.
“මහණෙනි, මම ඔහුගේ ඒ වචන නිශ්ශබ්දව ඉවසා සිටියා.
ඉක්බිතිව මහණෙනි, ඒ වෛශ්‍රවණ මහා රජු මම එය පිළිගත් බව දැන, නොනවත්වාම නොපැකිලෙමින් මේ ආටානාටිය පිරිත දැක්වූවා”.
“සෞභාග්‍යයමත් ප්‍රඥා ඇස් ඇති විපස්සී බුදුරදුන් නමදිමු!
කාම ක්ලේශයන්ගෙන් උපන් සියලු සත්වයන්ට හිතානුකම්පී වූ සිඛී බුදුරදුන් නමදිමු!
තපසින් නැහැවුනාවූ වෙස්සභු බුදුරදුන් නමදිමු!
මාර සේනා මඩින ලද කකුසන්ධ බුදුරදුන් නමදිමු!
උසස් දිවියක් ඇතිව විසූ කොණාගම බුදුරදුන් නමදිමු!
සියලු උපධින්ගෙන් මිදුණු කස්සප බුදුරදුන් නමදිමු!
පමුණුවන ලබන සියලු දුක් දුරු කිරීම සඳහා ප්‍රතිපදාව දේශනා කරන
සෞභාග්‍යමත් ශාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේ නමදිමු!”,
“නුවණින් විමසා බලමින් තමා හා ලෝකය ගැන තත් වූ පරිදි අවබෝධ කරගැනීමෙන්, සංසිඳීමට පමුණවන්නාවූ ඒ උතුම් ධර්මය අසා, මිනිස් සමුහයා, සාරයක් නැති දේ දුරු කර උතුම් ශ්‍රේෂ්ඨ රහත් භාවයට පත්වුනාහුය”.
“දෙවියන්ට මිනිසුන්ට අභිවෘද්ධිය පිණිස පහල වූ,
ලෝකයේ යථා ස්වභාවය ඒ ආකාරයටම අවබෝධ කරගැනීමට අවැසි සියලු ඥාණයන්ගෙන් පිරිපුන්, ඒ ඥානයන් අනුවම හැසිරෙන, සාරයක් නැති සියල්ල දුරුකළ උතුම් ශ්‍රේෂ්ඨ ගෞතම බුදුරජ නමදිමු!”,
“ග්‍රහ මණ්ඩලයකින් හෙබි සූර්යයා හිරු උදාව ලෙස ජනයාට පෙනේද,
තවද ඒ උදාවත් සමග රාත්‍රිය අවසන් වේද, ඒ හිරුගේ උදාවත් සමග දවසක උදාව යයි, කියනු ලැබේද,
යන ඒ දිශාවේ විශාල සේ පැතිරුණු ඉතා ගැඹුරු විලක් මෙන් පෙනෙන්නේ, සාගරය බව දැනගන්න.
යසසින් පිරුණු මහා රජෙක් විසින් පාලනය කරනු ලබන ඒ දිශාව,
නැගෙනගිර දිශාව යයි ජනයා විසින් කියනු ලැබේ.
ගන්ධර්වයන්ට (ගන්ධබ්බ යනු අඩු පින් සහිත දේව කොට්ඨාසයක්) අධිපති ‘ධ්‍රැතරාෂ්ඨ’ යයි, නම ඇති ඔහු නැටුමෙහි ගැයුමෙහි ඇලෙමින් ප්‍රීතිමත්ව සැපසේ සිටින ගාන්ධර්වයන්ට අභිශේකව සිටී.
ආශ්චර්යමත් යයි, කියන ලද තැතිගන්නා ශබ්ද කරන, මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති කම දරන, ඒ ධ්‍රැතරාෂ්ඨ නම් මහා රජුට, සත්වයන්ට විපත් පමුණවාලිය හැකි අරූප ධර්ම එකොළහක් ඇති බව, ‘සිත’ නමැති එක අරූප ධර්මයක් පමණක් ඇති මා විසින් අසනු ලැබුවා.
එවැනි වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැහැදී බුදුන් සරණ ගිය,
තමන්ට සාරයක් නොවන දේ දුරු කර, උතුම් ශ්‍රේෂ්ඨ බවට පැමිණ,
බුදුන් වහන්සේ අසලට නොපැමිණිනුනත්, ඈත දුරක සිටියත්, නිතර බුදුන් සිහිකර නමස්කාර කරන්නෙකි.
‘ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර වේවා!
ඒ උතුම් මිනිසාට නමස්කාර වේවා!’ යනුවෙන්.
ඇසූ දුටු ධර්මය අනුව කුසල් අකුසල් ගැන විමසමින් ඒ අමනුෂ්‍ය වූ ධ්‍රැතරාෂ්ඨ මහා රජු නිරන්තරයෙන් බුදුන් සිහිකරමින් මෙසේ කියයි.
‘සර්වඥ වූ ගෞතමයන් වඳිව්, සර්වඥ වූ ගෞතමයන්ට නමස්කාර වේවා!
සර්වඥතා ඥානය අනුවම හැසිරෙන ඒ බුදුන් වහන්සේට නමස්කාර වේවා!’
යම් තැනක ප්‍රේතයන් මෙන් කේලාම් කියන, ඉදිරිපිටදී ගුණ කියා පිටිපා ගියපසු නුගුණ කියන, රෞද්‍ර බව ඇති, ප්‍රාණ ඝාතයේ නියැලෙන, සොරකම් කරන, වංචාකරන, මිනිසුන් සිටින දිශාවක් වන,
යසසින් පිරුණු මහා රජෙක් විසින් පාලනය කරනු ලබන ඒ දිශාව,
දකුණු දිශාව යයි ජනයා විසින් කියනු ලැබේ.
කුම්භාණ්ඩයන්ට අධිපති ‘විරුළ්හ’ යයි, නම ඇති ඔහු
නැටුමෙහි ගැයුමෙහි ඇලෙමින් ප්‍රීතිමත්ව සැපසේ සිටින කුම්භාණ්ඩයන්ට අභිශේකව සිටී.
ආශ්චර්යමත් යයි, කියන ලද තැතිගන්නා ශබ්ද කරන, මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති කම දරන, ඒ විරුළ්හ නම් මහා රජුට, සත්වයන්ට විපත් පමුණවාලිය හැකි අරූප ධර්ම එකොළහක් ඇති බව, ‘සිත’ නමැති එක අරූප ධර්මයක් පමණක් ඇති මා විසින් අසනු ලැබුවා.
එවැනි වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැහැදී බුදුන් සරණ ගිය,
තමන්ට සාරයක් නොවන දේ දුරු කර, උතුම් ශ්‍රේෂ්ඨ බවට පැමිණ,
බුදුන් වහන්සේ අසලට නොපැමිණිනුනත්, ඈත දුරක සිටියත්, නිතර බුදුන් සිහිකර නමස්කාර කරන්නෙකි.
‘ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර වේවා!
ඒ උතුම් මිනිසාට නමස්කාර වේවා!’ යනුවෙන්.
ඇසූ දුටු ධර්මය අනුව කුසල් අකුසල් ගැන විමසමින් ඒ අමනුෂ්‍ය වූ
විරුළ්හ මහා රජු නිරන්තරයෙන් බුදුන් සිහිකරමින් මෙසේ කියයි.
‘සර්වඥ වූ ගෞතමයන් වඳිව්, සර්වඥ වූ ගෞතමයන්ට නමස්කාර වේවා!
සර්වඥතා ඥානය අනුවම හැසිරෙන ඒ බුදුන් වහන්සේට නමස්කාර වේවා!’
ග්‍රහ මණ්ඩලයකින් හෙබි සූර්යයා, හිරු බැසයාම ලෙස ජනයාට පෙනේද,
තවද ඒ බැසයාමත් සමග දවස අවසන් වේද, ඒ හිරුගේ බැසයාමත් සමග රාත්‍රිය උදාව යයි, කියනු ලැබේද,
යන ඒ දිශාවේ මහා විශාල ප්‍රදේශයක පැතිරුණු ඉතා ගැඹුරු විලක් මෙන් පෙනෙන්නේ සාගරය බව දැනගන්න.
යසසින් පිරුණු මහා රජෙක් විසින් පාලනය කරනු ලබන ඒ දිශාව,
බටහිර දිශාව යයි ජනයා විසින් කියනු ලැබේ.
නාගයන්ට (නාගයන් යනු පෙර කුසල් මෙන්ම ද්වේශය නිසා ද්විත්ව රූප මවාගත හැකි අමනුෂ්‍ය කොට්ඨාසයක්) අධිපති ‘විරූපාක්ෂ’ යයි, නම ඇති ඔහු නැටුමෙහි ගැයුමෙහි ඇලෙමින් ප්‍රීතිමත්ව සැපසේ සිටින නාගයන්ට අභිශේකව සිටී.
ආශ්චර්යමත් යයි, කියන ලද තැතිගන්නා ශබ්ද කරන, මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති කම දරන, ඒ විරූපාක්ෂ නම් මහා රජුට, සත්වයන්ට විපත් පමුණවාලිය හැකි අරූප ධර්ම එකොළහක් ඇති බව, ‘සිත’ නමැති එක අරූප ධර්මයක් පමණක් ඇති මා විසින් අසනු ලැබුවා.
එවැනි වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැහැදී බුදුන් සරණ ගිය,
තමන්ට සාරයක් නොවන දේ දුරු කර, උතුම් ශ්‍රේෂ්ඨ බවට පැමිණ,
බුදුන් වහන්සේ අසලට නොපැමිණිනුනත්, ඈත දුරක සිටියත්, නිතර බුදුන් සිහිකර නමස්කාර කරන්නෙකි.
‘ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර වේවා!
ඒ උතුම් මිනිසාට නමස්කාර වේවා!’ යනුවෙන්.
ඇසූ දුටු ධර්මය අනුව කුසල් අකුසල් ගැන විමසමින් ඒ අමනුෂ්‍ය වූ විරූපාක්ෂ මහා රජු නිරන්තරයෙන් බුදුන් සිහිකරමින් මෙසේ කියයි.
‘සර්වඥ වූ ගෞතමයන් වඳිව්, සර්වඥ වූ ගෞතමයන්ට නමස්කාර වේවා!
සර්වඥතා ඥානය අනුවම හැසිරෙන ඒ බුදුන් වහන්සේට නමස්කාර වේවා!’
මමත්වය අයිතිකොට නොගත් යම් ඒ මනුෂ්‍යයන් හෙවත් බුදුවරු පහල වන ප්‍රදේශය අසල, මිනිසුන්ට සිල් ආරක්ෂා කර ගත හැකි යයි, කියන විශාල ලෙස පැතිරුණ කඳු පර්වත වලින් ගැවසුන අලංකාර ප්‍රදේශයකි.
ඒ ප්‍රදේශයේ කිසිවෙකු නගුල් හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් බීජ වැපිරීම සිදු කරන්නේ නැහැ.
කෘෂි කර්මාන්ත නොකළ, ඒ භූමි ප්‍රදේශයෙහි ඉබේ හටගන්නා ධාන්‍ය පොතු හෝ කුඩු හෝ රහිත සුවඳවත් වූ ඇල් වී, එහි සිටින මනුෂ්‍යයන් පරිභෝජනය කරනවා.
එළදෙන එක කුරයක් කර ගනිමින්, ඒ එළදෙන අනුව ගමන් කරන,
සිවුපාවන් එක කුරයක් කර ගනිමින්, ඒ සිවුපාවුන් අනුව ගමන් කරන,
ස්ත්‍රිය වාහනයක් කර ගනිමින්, ඒ ස්ත්‍රිය අනුව ගමන් කරන,
පුරුෂයා වාහනයක් කර ගනිමින්, ඒ පුරුෂයා අනුව ගමන් කරන,
නව යොවුන් ගැහැණු ළමයි වාහනයක් කර ගනිමින්, ඒ නව යොවුන් ගැහැණු ළමයි අනුව ගමන් කරන,
නව යොවුන් පිරිමි ළමයි වාහනයක් කර ගනිමින්, ඒ නව යොවුන් පිරිමි ළමයි අනුව ගමන් කරන,
ඒ ඔහුගේ මෙහෙසිය, සේනාව පිරිවරා ඒ ඒ මිනිසුන් සහ තිරිසන් සතුන් වාහන කර ගනිමින්, ඒ ඒ අය අනුව යමින් හාත්පස සියලු දිශාවන්හි හැසිරෙනවා.
දිව්‍ය ඇත් වාහනය, දිව්‍ය අශ්ව වාහනය වැනි දිව්‍ය යානාවන් එළඹවා ගෙන
රන්සිවිගෙය වැනි ප්‍රාසාදයක, යසසින් පිරුණු ඒ මහා රාජයා වාසය කරනවා.
අහසේ මනාසේ සෑදූ
ආටානාට, කුසිනාට, පරකුසිනාට,
නාටපුරිය, පරකුසිතනාට,
ඒ ඔහුගේ නගරයන් වෙනවා.
ඉහලින් කසීවන්තද, පහලින් ජනොඝම ද,
නවනවුතිය, අම්බරඅම්බරවතිය,
ආළකමන්දා යන නම් ඇති රාජධානී අතර
කුවේර නම් මහරාජයාට ‘විසාණා’ නම් රාජධානියක්ද වෙනවා.
එබැවින් කුවේර නම් වන ඔහු ‘වෛශ්‍රවණ’ යන නමිනුත් හැඳින්වෙනවා.
අසත්පුරුෂ වූ අන්‍යයන්ව පෙලන, නියෝග ප්‍රකාශ කරන,
තතොලා, තත්තලා, තතොතලා,
ඔජසි, තෙජසි, තතොජසී, සූරො, රාජා, අරිට්ඨො, නෙමි යන යක්ෂයන්ය.
යම් තැනක ඇති ජලයෙන් වැහිවලා හැදෙමින් වර්ෂාව ඇතිකරයිද,
ඒ නම් ‘ධරණී’ විලයි.
ඒ විල සමීපයේම යක්ෂයන්ගේ සමිති සමාගම් පැවැත්වෙන ‘භගලවතී’ නම් ශාලාවයි.
එහි සැමදා ඵල හටගන්නා නොයෙක් ගස් වර්ගද, නානා කුරුළු විශේෂ වන මොනරු, කොස්වාලිහිණි, වැනි ඉතා දැකුම් කළු පක්ෂීන් ද, කොවුල් ආදී කොට ඇති මනොඥ වූ පක්ෂීන් ද, යනාදී ඉතා පලබරින් පිරි ගස්වැල් මෙන්ම ඉතා දැකුම්කලු සතුන්ගෙන්ද යුක්ත වූ මනරම් පරිසරයක්ය.
කොවුලන් මෙන් දෝංකාර දෙන ශබ්ද කරන, ඇදෙන තාලයට ශබ්ද නගන
ඔට්ඨව, චිත්තක යන පක්ෂීන්ද එහි සිටී.
වක්ව ඇවිදින කුකුලන්, කෑමට කැලේ තල් රෙහෙනු සොයමින් කම්පාවෙමින් ශබ්දකරයි.
ගිරවුන්, මයිනන්ගේ ශබ්ද ද, ගස් වල අතු ඉති ශබ්ද ද, මිනිසුන්ගේ ශබ්ද ද යන නා නා ශබ්දයන්ගෙන් ද පිරි මේ කුවේර රජුට අයත් පෙදෙස, සියලු කාලයන්හි ම ජලජ පුෂ්පයන්ගෙන් පිරි පියුම් විලක් සේ, ශෝභාමත්ව බබලනවා.
යසසින් පිරුණු මහා රජෙක් විසින් පාලනය කරනු ලබන ඒ දිශාව,
උතුරු දිශාව යයි ජනයා විසින් කියනු ලැබේ.
යක්ෂයන්ට අධිපති ‘කුවේර’ නමින් මෙසේ හඳුන්වන ඔහු
නැටුමෙහි ගැයුමෙහි ඇලෙමින් ප්‍රීතිමත්ව සැපසේ සිටින යක්ෂයන්ට අභිශේකව සිටී.
ආශ්චර්යමත් යයි, කියන ලද තැතිගන්නා ශබ්ද කරන, මේ ඉසුරු විඳින මහත් බල ඇති, අධිපති කම දරන, ඒ කුවේර නම් මහා රජුට, සත්වයන්ට විපත් පමුණවාලිය හැකි අරූප ධර්ම එකොළහක් ඇති බව, ‘සිත’ නමැති එක අරූප ධර්මයක් පමණක් ඇති මා විසින් අසනු ලැබුවා.
එවැනි වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැහැදී බුදුන් සරණ ගිය,
තමන්ට සාරයක් නොවන දේ දුරු කර, උතුම් ශ්‍රේෂ්ඨ බවට පැමිණ,
බුදුන් වහන්සේ අසලට නොපැමිණිනුනත්, ඈත දුරක සිටියත්, නිතර බුදුන් සිහිකර නමස්කාර කරන්නෙකි.
‘ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර වේවා!
ඒ උතුම් මිනිසාට නමස්කාර වේවා!’ යනුවෙන්.
ඇසූ දුටු ධර්මය අනුව කුසල් අකුසල් ගැන විමසමින් ඒ අමනුෂ්‍ය වූ
කුවේර මහා රජු නිරන්තරයෙන් බුදුන් සිහිකරමින් මෙසේ කියයි.
‘සර්වඥ වූ ගෞතමයන් වඳිව්, සර්වඥ වූ ගෞතමයන්ට නමස්කාර වේවා!
සර්වඥතා ඥානය අනුවම හැසිරෙන ඒ බුදුන් වහන්සේට නමස්කාර වේවා!’
ශ්‍රේෂ්ඨ උත්තමයාණෙනි, මේ ආටානාටිය පිරිත භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසටම ආරක්ෂාව රැකවරණය ලැබී, අවිහිංසාවෙන් තොරව සුව පහසුව වාසය කිරීමට උපකාරී වන්නක්.
යම් භික්ෂුවක්-භික්ෂුණියක්-උපාසකයෙක්-උපාසිකාවක්, මේ ආටානාටිය පිරිත මනාසේ ඉගන ගෙන පාඩම් කර ගතහොත්, ඒ අමනුස්ස පීඩා වලින් ගැලවෙන්න පුළුවන්.
ඒ අමනුස්සයන් වන,
යක්ෂයන් හෝ යක්ෂණියන් හෝ බාල යක්ෂ පැටවූ හෝ බාල යක්ෂණි පැටවූ හෝ යක්ෂ මහා ඇමතියන් හෝ යක්ෂ පිරිවර සෙනග හෝ යක්ෂ දාසයන් හෝ
ගන්ධබ්බයන් හෝ ගන්ධබ්බියන් හෝ බාල ගන්ධබ්බ පැටවූ හෝ බාල ගන්ධබ්බි පැටවූ හෝ ගන්ධබ්බ මහා ඇමතියන් හෝ ගන්ධබ්බ පිරිවර සෙනග හෝ ගන්ධබ්බ දාසයන් හෝ
කුම්භාණ්ඩයන් හෝ කුම්භාණ්ඩියන් හෝ බාල කුම්භාණ්ඩ පැටවූ හෝ බාල කුම්භාණ්ඩි පැටවූ හෝ කුම්භාණ්ඩ මහා ඇමතියන් හෝ කුම්භාණ්ඩ පිරිවර සෙනග හෝ කුම්භාණ්ඩ දාසයන් හෝ
නාගයන් හෝ නාගිනියන් හෝ බාල නාග පැටවූ හෝ බාල නාගිනි පැටවූ හෝ නාග මහා ඇමතියන් හෝ නාග පිරිවර සෙනග හෝ නාග දාසයන් හෝ
ඉතා දුෂ්ට වූ සිතින්
භික්ෂූන්-භික්ෂුණියන්-උපාසකයින්-උපාසිකාවන් ගමන් කරන විට, ඒ අනුව ගමන් කරනවා, නැවතී ඉන්න විට එතනට එළඹෙනවා,
වාඩිවෙලා ඉන්න විට ළඟින් හිඳිනවා, නිදාගන්නා විට සමීපයෙන්ම නිදාගන්නවා.
ශ්‍රේෂ්ඨයාණෙනි, එසේ ඔබ වහන්සේගේ භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකාවන්ට පීඩා කරන ඒ ඔවුන්ට, ඒ ආලකමන්දා රාජධානියේ ගම්, නියම් ගම් වාසීන්ගෙන් කිසිදු සැලකිල්ලක්, ගෞරවයක් ලැබෙන්නේ නැහැ.
ඔවුන්ට ඒ භූමියේ වාසය කරන්න ලැබෙන්නේ නැහැ, ඔවුන්ට යක්ෂයන්ගේ රැස්වීමට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ,
තවද උත්තමයනි, ඒ අමනුස්සයන්ට මා විසින් විවාහයට නුසුදුසු කිරීම නිසා විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ,
තවද ශ්‍රේෂ්ඨ උත්තමයනි, ඔවුන්ගේ ආත්මයම අපහාසයට ලක්වෙනවා, නින්දාවට ලක් වෙනවා.
තවද ශ්‍රේෂ්ඨ උත්තමයනි, ඒ අමනුස්සයන්ගේ හිස් මතට හිස් ලෝහ භාජන යටිකුරු කරනවා, තවද ඔහුගේ හිස සත් කඩකට පලනවා.
සංසිඳුණු උත්තමයිනි, අමනුෂ්‍යයින් නො හික්මුණුයි, මනුෂ්‍යයන්ට අවහිර කරනවා, මහත් ශබ්ද කරනවා, ඔවුන් මහා රජට වත් අවනත නැහැ, මහා රජාගේ සෙනෙවියන්ට අවනත නැහැ, මහරජාගේ පහල සෙනවියන්ට අවනත නැහැ.
ඔවුහු වනාහි එසේමයි උත්තමයිනි, මහාරාජ විසින් ඒ අමනුෂ්‍යයන් ‘නෙරපා හරින අය’ යයි කියනු ලැබේ.
උත්තමයිනි, මගධ රටේ බලවත් සොරුන්, ඒ රට පාලනය කරන රජුට අවනත නොවන්නේ යම්සේද, ඒ රජුගේ පිරිසට අවනත නොවන්නේ යම්සේද, ඒ රජුගේ පිරිස යටතේ ඉන්න අනික් පුරුෂයන්ට අවනත නොවන්නේ යම්සේද, මේ සමහර යක්ෂයනුත් එසේමයි.
උත්තමයිනි, මගධ රටේ රජ විසින් ඒ සොරුන් ‘නෙරපා හරින අය’ යයි කියනු ලබන්නා සේමයි, මමද ඒ යක්ෂයින් ‘නෙරපා හරින අය’ ලෙස නම් කරන්නේ .
ඒ ආකාරයට උත්තමයිනි, අමනුෂ්‍යයින් නො හික්මුණුයි, මනුෂ්‍යයන්ට අවහිර කරනවා, මහත් ශබ්ද කරනවා,
ඔවුන් මහා රජට වත් අවනත නැහැ,
මහා රජාගේ සෙනෙවියන්ට අවනත නැහැ,
මහරජාගේ පහල සෙනවියන්ට අවනත නැහැ.
උත්තමයිනි, ඒ නිසයි මහාරාජ විසින් ඒ අමනුෂ්‍යයන් ‘නෙරපා හරින අය’ යයි කියනු ලබන්නේ.
ඒ වනාහි කවරෙක්ද, උත්තමයාණනි,
අමනුෂ්‍යයන් වන යක්ෂයන් හෝ යක්ෂණියන් හෝ බාල යක්ෂ පැටවූ හෝ බාල යක්ෂණි පැටවූ හෝ යක්ෂ මහා ඇමතියන් හෝ යක්ෂ පිරිවර සෙනග හෝ යක්ෂ දාසයන් හෝ
ගන්ධබ්බයන් හෝ ගන්ධබ්බියන් හෝ බාල ගන්ධබ්බ පැටවූ හෝ බාල ගන්ධබ්බි පැටවූ හෝ ගන්ධබ්බ මහා ඇමතියන් හෝ ගන්ධබ්බ පිරිවර සෙනග හෝ ගන්ධබ්බ දාසයන් හෝ
කුම්භාණ්ඩයන් හෝ කුම්භාණ්ඩියන් හෝ බාල කුම්භාණ්ඩ පැටවූ හෝ බාල කුම්භාණ්ඩි පැටවූ හෝ කුම්භාණ්ඩ මහා ඇමතියන් හෝ කුම්භාණ්ඩ පිරිවර සෙනග හෝ කුම්භාණ්ඩ දාසයන් හෝ
නාගයන් හෝ නාගිනියන් හෝ බාල නාග පැටවූ හෝ බාල නාගිනි පැටවූ හෝ නාග මහා ඇමතියන් හෝ නාග පිරිවර සෙනග හෝ නාග දාසයන් හෝ
ඉතා දුෂ්ට වූ සිතින්,
භික්ෂූන්-භික්ෂුණියන්-උපාසකයින්-උපාසිකාවන් ගමන් කරන විට ඒ අනුව ගමන් කරනවා, නැවතී ඉන්න විට එතනට එළඹෙනවා,
වාඩිවෙලා ඉන්න විට ළඟින් හිඳිනවා, නිදාගන්නා විට සමීපයෙන්ම නිදාගන්නවා.
ඒ යක්ෂයන්, මහත් වූ යක්ෂයන්, යක්ෂ සේනාපතීන්, උසස් යක්ෂ සේනාපතීන් යන ඔවුන්ට ඇහෙන්න උස් හඩින්, මේ අමනුෂ්‍යයන් ගැන දොස් කිව යුතුයි,
තමන්ට සිදුවෙන පීඩා ගැන හඬගා කියන්න, මහත් හඬින් කියන්න, මේ ආකාරයට. “මේ තෙමේ යකා විසින් අල්ලාගෙන ඉන්නේ, මේ තෙමේගේ ඇඟට යකෙක් ඇතුල් වෙලා ඉන්නේ, යකෙක් මොහුව පෙලනවා, මේ යකා මොහුව ඉතාමත්ම පෙලනවා, මොහුට හිංසා කරනවා, මේ යකා මොහුට ඉතාමත් හිංසා කරනවා, මේ යකා මොහුව නිදහස් කරන්නේ නැහැ” කියා.
කවරෙක්ද මේ යක්ෂයන්, මහා යක්ෂයන්, යක්ෂ සේනාපතීන්, යක්ෂ මහා සෙනාපතීන් ?
ඉන්ද, සෝම, වරුණ, භාරද්වාජ, පජාපති,
චන්දන, කාමසෙට්ඨ, කින්නුඝන්ඩු, නිඝණ්ඩු,
පනාද, ඔපමඤ්ඤ, දෙවසුත, මාතලී,
චිත්තසෙන යන ගන්ධබ්බ, බට වලට අධිපති ජනෙසභ,
සාතාගිර, හෙමවත, පුණ්ණක, කරතිය, ගුල,
සීවක, මුචලින්ද, වෙස්සමිත්ත, යුගන්ධර,
ගෝපාල, සුප්පගේධ, හිරිනෙත්ති, මන්දිය,
පඤ්චාලචණ්ඩ, ආළවක, පජ්ජුන්න, සුමන, සුමුඛ,
දධිමුඛ, මණි මාණිවර, දීඝ සමග සේරිස්සක
මේ යක්ෂයන්, උසස් යක්ෂයන්, යක්ෂ සේනාපතීන්, උසස් යක්ෂ සේනාපතීන් යන ඔවුන්ට ඇහෙන්න, උස් හඩින් මේ අමනුෂ්‍යයන් ගැන දොස් කියන්න,
තමන්ට සිදුවෙන පීඩා ගැන හඬගා කියන්න, මහත් හඬින් කියන්න
“මේ තෙමේ යකා විසින් අල්ලාගෙන ඉන්නේ, මේ තෙමේගේ ඇඟට යකෙක් ඇතුල් වෙලා ඉන්නේ, යකෙක් මොහුව පෙලනවා, මේ යකා මොහුව ඉතාමත්ම පෙලනවා, මොහුට හිංසා කරනවා, මේ යකා මොහුට ඉතාමත් හිංසා කරනවා, මේ යකා මොහුව නිදහස් කරන්නේ නැහැ” කියා.
“ශ්‍රේෂ්ඨ උත්තමයාණෙනි, මේ ආටානාටිය පිරිත භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසටම ආරක්ෂාව රැකවරණය ලැබී අවිහිංසාවෙන් තොරව සුව පහසුව වාසය කිරීම සඳහායි.
එසේ නම් ශ්‍රේෂ්ඨ උත්තමයාණෙනි, අපිට දැන් යාමට අවශ්‍යයි, අපිට බොහෝ කටයුතු කිරීමට තිබෙනවා”යයි, මා හට පැවසුවා.
“මහරජ ඔබලාට දැන් ඒ සඳහා කාලය එළඹිලා” යනුවෙන් මම ප්‍රකාශ කලා.
“ඉක්බිතිව මහණෙනි, සතර වරම් දෙවිවරු නැගිට මා හට වැඳ, ප්‍රදක්ෂිණා (තම දකුණු අත, ගෞරව කරන කෙනා පැත්තට සිටින සේ, ඒ තැනැත්තා වටේ ඇවිදිමින් ගෞරව කිරීම) කර එතනම අතුරු දහන් වුනා, ඉන් පසු යක්ෂයන්ද නැගිට මා හට වැඳ, ප්‍රදක්ෂිණා කර එතනම අතුරු දහන් වුනා, ටික දෙනෙක් මා සමග සුහදව කතාබහ කොට එතනම අතුරු දහන් වුනා, තවත් ටික දෙනෙක් ඇඟිලි බැඳ ගෙනම නෙරපා හැරියා සේ එතනම
අතුරු දහන් වුනා,
තවත් ටික දෙනෙක් නම් ගොත් පවසා එතනම අතුරු දහන් වුනා,
ටික දෙනෙක් නිශ්ශබ්දවම එතනම අතුරු දහන් වුනා,
මහණෙනි, මේ ආටානාටිය පිරිත ඉගනගන්න,
මේ ආටානාටිය පිරිත හොඳින් හදාරන්න,
මේ ආටානාටිය පිරිත හොඳට තේරුම් ගන්න,
භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන මේ සිව්වනක් පිරිසටම ආරක්ෂාව- රැකවරණය-අවිහිංසාව සලසා ගැනීම සඳහා තමන්ගේ හිත සුව පිණිස මේ ආටානාටිය පිරිත භාවිතා කරන්න.
භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භික්ෂූන් ඒ දේශනාව අසා සතුටට පත් වූහ.