ප්‍රවර්ග
මජ්ඣිම නිකාය

සබ්බාසව සූත්‍රය

මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-මූලපණ්ණාස පාළි-මූලපරියාය වග්ගය-
කෙලෙස් නැති කිරීමට අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රම පැහැදිලි කරන සබ්බාසව සූත්‍රය බව සිහි තබා ගන්න.

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනාථ පිණ්ඩික සිටුතුමා විසින් සාදවා පූජා කරන ලද ජේතවනාරාමයේ වැඩ වාසය කල සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යයි භික්ෂූන්ට ආමන්ත්‍රණය කල සේක.
ඒ භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීනි’ යයි පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කල සේක.
“සියලු කෙලෙස් යටපත් කල යුතු පිලිවෙල මම ඔබලාට දේශනා කරමි. එයට සවන් දෙන්න. මේ කියන දේ හොඳින් මෙනෙහි කරන්න”.
‘හොඳමයි ස්වාමීනි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කල සේක.

මහණෙනි, අවබෝධ කරගන්න-තේරුම් ගන්න, අයට තමයි කෙලෙස් දුරු කරන ආකාරය මම දේශනා කරන්නේ, අවබෝධ නොකරන-තේරුම් නොගන්න අයට නෙවි.
මහණෙනි, කෙලෙස් දුරු කිරීම ගැන මම මේ සිදුකරන දේශනාව, කෙසේද තේරුම් ගන්නේ, කෙසේද අවබෝධ කර ගන්නේ?

නුවණින් මෙනෙහි කරමින් තේරුම් ගෙන අවබෝධ කර ගැනීම ද, නුවණින් මෙනෙහි නොකරමින් තේරුම් නොගෙන අවබෝධ කර නොගැනීම ද, වේ.
මහණෙනි, ඉදින් නුවණින් මෙනෙහි නොකරන කෙනාට නූපන් කෙලෙස් ද උපදිනවා. හටගෙන තිබූ කෙලෙස් දළුලා වැඩෙනවා.
නුවණින් මෙනෙහි කරන කෙනාට නූපන් කෙලෙස් උපදින්නෙත් නැහැ. ඉපදී තිබූ කෙලෙස් ද දුරු වෙනවා.

මහණෙනි, තමන්ගේ යථා ස්වභාවය නිවැරදිව අවබෝධ කරගැනීමෙන් හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමෙන්, දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
සංවරයෙන් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
අවබෝධයෙන් දැනගෙන පරිහරණය කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
ඉවසීමෙන් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
වළක්වා ගැනීමෙන් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
ආදීනව අවබෝධ කර බැහැර කර ගනිමින් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,
නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් තිබෙනවා,

මහණෙනි, මොනවාද තමන්ගේ යථා ස්වභාවය ගැන අවබෝධය ලබාගැනීමෙන් හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමෙන් දුරු කල යුතු කෙලෙස් වන්නේ?

මහණෙනි, ඇසූ පිරූ බව නැති නූගත් පෘතග්ජනයා නිවැරදි උසස් දේ දන්නේ නැහැ,
උසස් ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වෙන්නේ නැහැ,
උසස් ධර්මයේ හැසිරෙන්න දන්නේ නැහැ,
යහපත් මනුෂ්‍යයෙක් යනු කවරෙක්දැයි හඳුනන්නේ නැහැ,
යහපත් මනුෂ්‍යයෙක් වීමට දක්ෂ වෙන්නේ නැහැ,
යහපත් මනුෂ්‍යයෙක් විදියට හික්මෙන්න දන්නේ නැහැ,
මෙනෙහි කල යුතු දේ (අලෝභ-අද්වේශ-අමෝහ) මොනවාද,
මෙනෙහි නොකල යුතු දේ (ලෝභ-ද්වේශ-මෝහ) මොනවාදැයි දන්නේ නැහැ,
මෙනෙහි කරන්නේ හෝ මෙනෙහි නොකරන්නේ මොනවාදැයි ඔහු දන්නේ නැහැ,
යම් වූ මෙනෙහි නොකල යුතු දේ ඔහු මෙනෙහි කරනවා, යම් වූ මෙනෙහි කල යුතු දේ ඔහු මෙනෙහි කරන්නේ නැහැ.
මොනවාද මහණෙනි, ඔහු මෙනෙහි කරන, එහෙත් මෙනෙහි නොකල යුතු දේ?
ඒ ඔහුට මෙනෙහි කරන දේවල් නිසා
නූපන් කාම ක්ලේශයන් හටගන්නවානම්,
ඉපදී තිබූ කාම ක්ලේශයන් වැඩෙනවා නම්,
නූපන් භව ආශාවන් හටගන්නවා නම්,
ඉපදී තිබුණු භව ආශාවන් වැඩෙනවා නම්,
නූපන් අවිද්‍යා සහගත අදහස් ඇතිවෙනවා නම්,
තමන් තුල ඇති අවිද්‍යා සහගත අදහස් වැඩෙනවා නම්,
එ වැනි, මෙනෙහි නොකල යුතු දේ ඔහු මෙනෙහි කරනවා.

මොනවාද මහණෙනි, ඔහු මෙනෙහි නොකරන, එහෙත් මෙනෙහි කල යුතු දේ?
ඒ ඔහුට මෙනෙහි කරන දේවල් නිසා
නූපන් කාම ක්ලේශයන් හටගන්නේ නැතිනම්,
ඉපදී තිබූ කාම ක්ලේශයන් දුරුවෙනවා නම්,
නූපන් භව ආශාවන් හටගන්නේ නැතිනම්,
ඉපදී තිබුණු භව ආශාවන් දුරුවෙනවා නම්,
නූපන් අවිද්‍යා සහගත අදහස් ඔහු තුල ඇතිවෙන්නේ නැතිනම්,
තමන් තුල ඇති අවිද්‍යා සහගත අදහස් ඔහු තුලින් දුරුවෙනවා නම්,
එ වැනි මෙනෙහි කල යුතු දේ ඔහු මෙනෙහි කරන්නේ නැහැ.

ඔහු ලෝභ-ද්වේශ-මෝහාදී කෙලෙස් උපදවන මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කර, අලෝභ-අද්වේශ-අමෝහාදී කෙලෙස් සංසිඳවන මෙනෙහි කල යුතු දේ මෙනෙහි නොකරන නිසා ඔහු තුල කෙලෙස් උපදිමින්, ඒ උපන් කෙලෙස් තව තවත් වැඩෙනවා.

ඔහු මෙසේ අනුවණින් මෙනෙහි කරනවා –
මම අතීතයේ ඒකාන්තයෙන්ම සිටියාද?
මම අතීතයේ ඒකාන්තයෙන්ම සිටියේ නැතිද?
මම අතීතයේ ඒකාන්තයෙන්ම කවරෙක් වෙලා සිටියාද?
මම අතීතයේ ඒකාන්තයෙන්ම කෙසේ සිටියාද?
මම අතීතයේ ඒකාන්තයෙන්ම කවරෙක් වී සිට මට කුමක් සිදුවීද?
මට අනාගතයේදී ඒකාන්තයෙන්ම සිදුවන්නේ කුමක්ද?
මට අනාගතයේදී ඒකාන්තයෙන්ම කිසිවක් සිදු නොවේද?
මම අනාගතයේදී ඒකාන්තයෙන්ම කවරෙක් වේද?
මට අනාගතයේදී ඒකාන්තයෙන්ම කුමක් සිදුවේද?
මම අනාගතයේදී ඒකාන්තයෙන්ම කවරෙකු වී, මට කුමක් සිදුවේද?

දැන් නොහොත් වර්ථමානය නිමිති කරගෙනත් තමා පිලිබඳ සැකකිරීම සිදුවෙනවා-
මම කියල කෙනෙක් ඉන්නවද?
මම කියා කෙනෙක් නැද්ද?
මම කියා කියන්නේ කවරෙක්ද?
මම කියා කියන්නේ කෙසේද?
මේ සත්වයෝ වනාහි කොතන සිට පැමිණියෝද?
ඔවුහු මරණින් මතු කොතනකට යයිද?

එවැනි දෘෂ්ඨින්ගෙන් වසා සිටින ඔහු අනුවණින් මෙනෙහි කරන නිසා තව නොයෙක් දෘෂ්ඨි උපදිනවා.
‘මා හට ආත්මයක් තිබේ’ යනුවෙන් ඒ ඔහු තුල සත්‍යයයි සිතන ස්ථිර වූ දෘෂ්ඨියක් උපදිනවා.
‘මා හට ආත්මයක් නැත’ යනුවෙන් ඒ ඔහු තුල සත්‍යයයි සිතන ස්ථිර වූ දෘෂ්ඨියක් උපදිනවා.
‘තමන්ගේ ආත්මය යයි’ යනුවෙන් ඒ ඔහු තුල සත්‍යයයි සිතන ස්ථිර වූ දෘෂ්ඨියක් උපදිනවා.
‘තමන්ගේ ආත්මය නොවේ’ යනුවෙන් ඒ ඔහු තුල සත්‍යයයි සිතන ස්ථිර වූ දෘෂ්ඨියක් උපදිනවා.
‘තමන් තුල ආත්මයක් නැත’ යනුවෙන් ඒ ඔහු තුල සත්‍යයයි සිතන ස්ථිර වූ දෘෂ්ඨියක් උපදිනවා.

ඉක්බිති ඔහු තුල මෙවැනි දෘෂ්ඨියක් ඇතිවීම සිදුවෙනවා.
“ඒ ඒ සිදුකරන හොඳ හෝ නරක ක්‍රියා අනුව සැප දුක් විපාක විඳින බව දැනගන්නා මේ මගේ ආත්මය වනාහි ස්ථිර වූ, ඒකාන්තයෙන්ම හැම කල්හිම පවත්නා වූ, වෙනස් නොවන ස්වභාවය කොට ගත් නිසා, මම ඉර හඳ සේ වෙනස් නොවෙන ස්ථිර පුද්ගලයෙක්මි” යි යන දැඩිව ගත් දෘෂ්ඨිය ඇතිවෙනවා.
මහණෙනි මෙය නොමග ගිය දෘෂ්ඨිය යයිද, වැරදි දෘෂ්ඨියෙන් වෙලීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් අතරමං වීම යයිද, වැරදි දෘෂ්ඨිය නිසා විකාර වීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් කම්පා වීම යයිද, වැරදි දෘෂ්ඨියෙන් එකට ගැට ගැහිලා යයිද, වැරදි දෘෂ්ඨියෙන් එකට ගැට ගැහිලා එතිලා යයිද, කියනු ලැබේ.
මහණෙනි, ඇසූ පිරූ බව නැති නූගත් පෘතග්ජනයා, ජාති-ජරා-මරණ-ශෝක කිරීම්-වැළපීම්-දුක්-දොම්නස්-වෙහෙසීම් වලින් නිදහස් වෙන්නේ නැහැ. ඔහු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නෙත් නැහැ.

අසන දකින ආර්ය ශ්‍රාවකයා-
යහපත් දේ මොනවාදැයි දන්නවා,
යහපත් කටයුතු වල දක්ෂ වෙනවා,
යහපත් කටයුතු වලම නිවැරදිව හික්මෙනවා,
සත්පුරුෂයෙක් කියා කියන්නේ කවුරුන්ද කියා අවබෝධ කරගන්නවා,
සත් පුරුෂයෙක් වීමට දක්ෂ වෙනවා,
සත්පුරුෂයෙක් විදියට මනාව හික්මෙනවා,
මෙනෙහි කලයුතු ධර්මයන් මොනවාදැයි නුවණින් දැනගන්නවා,
මෙනෙහි නොකළ යුතු ධර්මයන් මොනවාදැයි නුවණින් දැනගන්නවා,
ඔහු මෙනෙහි කරන දේ නුවණින් දකිමින් ඒ මෙනෙහි නොකළ යුතු හෙවත් තමන්ට අයහපත ගෙන දෙන ඒවායයි වැටහුණු විට ඒවා මෙනෙහි කරන්නේ නැහැ,
මෙනෙහි කල යුතු දේවල් හෙවත් තමන්ට යහපත ගෙන දෙන ඒවායයි වැටහුණු විට ඒවා මෙනෙහි කරනවා.

මොනවාද මහණෙනි, මෙනෙහි නොකරන, මෙනෙහි නොකළ යුතු දේ?
මහණෙනි,
යමක් මෙනෙහි කිරීමේදී ඔහුට නූපන් කාමාශාවන් උපදිනවා නම්, ඒ උපන් කාමාශාවන් වැඩෙනවා නම්,
යමක් මෙනෙහි කිරීමේදී ඔහු තුල භවයට කැමැත්තක් ඇතිවෙනවා නම්, ඒ උපන් කැමැත්ත වැඩෙනවා නම්,
යමක් මෙනෙහි කිරීමේදී ඔහුට අවිද්‍යාව ඇතිවෙනවා නම්, ඒ ඇති වූ අවිද්‍යාව වැඩෙනවා නම්,
ඒ තමයි ඔහු මෙනෙහි නොකරන, මෙනෙහි නොකළ යුතු දේ.

මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන, මෙනෙහි කල යුතු දේ මෙනෙහි කරන ඒ ඔහු තුල ඉදින්, නූපන් කෙලෙස් උපදින්නේත් නැහැ වගේම උපන් කෙලෙස් ප්‍රහීණ වෙනවා.

‘මෙයයි දුක කියා කියන්නේ’ යයි ඔහු නුවණින් විමසමින් දුක පිලිබඳ පිරිසිදුව අවබෝධ කරගැනීම සඳහා නුවණින් මෙනෙහි කරනවා.
‘මෙයයි දුකට හේතුව කියා කියන්නේ’ යයි ඔහු නුවණින් විමසමින් දුකට හේතුව වන තෘෂ්ණාව පිලිබඳ නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා නුවණින් මෙනෙහි කරනවා.
‘මෙයයි දුක නැතිකිරීම කියා කියන්නේ’ යයි ඔහු නුවණින් විමසමින් දුක නිරුද්ධ වීමෙන් ඇතිවන සංසිඳීම පිලිබඳ පිරිසිදුව අවබෝධ කරගැනීම සඳහා නුවණින් මෙනෙහි කරනවා.
‘මෙයයි දුක නැති කරන මාර්ගය කියා කියන්නේ’ යයි ඔහු නුවණින් විමසමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිබඳ පිරිසිදුව අවබෝධ කරගැනීම සඳහා නුවණින් මෙනෙහි කරනවා.

මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට තමන් තුල ඇති බැඳීම් හෙවත් සංයෝජන තුනක් දුරු වෙනවා.
එනම්,
සක්කාය දිට්ඨිය හෙවත් කය ‘මම හෝ මගේ’ කියාගන්නා වැරදි අවබෝධය
සීලබ්බතපරාමාස හෙවත් සිත-කය-වචනය යන තුන් දොරේ සිල්වත් බවක් නැති වෘතයන්ට ඇති බැඳීම
විචිකිච්ඡා හෙවත් නිවැරදි අදහස තෝරා බේරා ගැනීමට අපහසු බව

මහණෙනි, මේවා නිවැරදි දෘෂ්ටියෙන් හෙවත් නිවැරදි අවබෝධයෙන් හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ.

මහණෙනි, තම ඉන්ද්‍රියයන් සංවරයෙන් දුරු කල යුතු කෙලෙස් කවරේද?

මහණෙනි, මේ භික්ෂුව මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් ඇස නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා. මහණෙනි, යම් ඒ කෙනෙක් ඇස නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා.
ඇස නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් කණ නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා.
මහණෙනි, යම් ඒ කෙනා කණ නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. කණ නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් නාසය නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා. මහණෙනි, යම් ඒ කෙනෙක් නාසය නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. නාසය නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් දිව නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා.
මහණෙනි, යම් ඒ කෙනෙක් දිව නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. දිව නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් ශරීරය නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා. මහණෙනි, යම් ඒ කෙනෙක් ශරීරය නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. ශරීරය නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

මනා ප්‍රඥාවෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් මනස නමැති ඉන්ද්‍රිය හික්මවමින් සංවර කරගනිමින් වාසය කරනවා. මහණෙනි, යම් ඒ කෙනෙක් මනස නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර නොකර ගනිමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. මනස නමැති ඉන්ද්‍රිය හික්මවා සංවර කර ගනිමින් වාසය කරන්නේ නම් එබඳු සිතේ අසහනය-දාහය ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.

“මහණෙනි යම් කෙනෙක් හික්මෙමින් සංවර නොවෙමින් වාසය කරන්නේ නම් ඔහුට සිතේ අසහනය-දාහය උපදිනවා. හික්මෙමින් සංවර වෙමින් වාසය කරන්නේ නම් ඔහු තුල එබඳු වූ සිතේ අසහනයක්, දාහයක් ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ.
මහණෙනි, මෙය හික්මෙමින් සංවරව වාසය කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ”.

“මොනවාද මහණෙනි, නුවණින් පරිභෝජනය හා පරිහරණය කිරීමෙන් දුරු කල යුතු කෙලෙස්?

මේ මහණ, චීවර දැරීමේදී නුවණින් මෙනෙහි කරනවා. ‘යම් තාක් මා හට දැනෙන සීතලෙන් ඇතිවෙන පීඩාව සමනය කරගැනීමට, උෂ්ණයෙන් දැනෙන පීඩාව සමනය කර ගැනීමට, මැසි මදුරුවන්- සුළඟ-අව්ව-පොලව ආශ්‍රිතව සිටින සතුන් ස්පර්ෂ වීමෙන් වලක්වා ගැනීමට, ශරීරයේ යම්තාක් ලජ්ජා ඇති තැන් ආවරණය කර වසා සඟවා ගැනීමට, තමයි මම මේ චීවරය දරන්නේ, එසේ නැතිව අලංකාරය හෝ ප්‍රතිරූපය පුම්බාගැනීමට නොවේය යනුවෙන්.
පිණ්ඩපාතය ගැනීමේදී නුවණින් මෙනෙහි කරනවා. ‘මම මේ ආහාර ගන්නේ මේ ශරීරයේ ශක්තිය වඩවා ගැනීම පිණිස නොවේ, ශරීරය මත් කර ගැනීම පිණිස නොවේ, ශරීරය සැරසීම පිණිස නොවේ, ශරීරයේ අලංකාරය ඇතිකරගැනීම පිණිස නොවේ’.
‘යම්තාක් මේ මගේ කයේ පැවැත්ම පිණිස, කය පෝෂණය කර ගැනීම පිණිස, බඩගිනි වෙහෙසෙන් වැලකී සිටීම පිණිස, මාර්ග බ්‍රහ්මචරියාව පූර්ණය කිරීම පිණිස තමයි මම මේ ආහාරය උපකාරී කර ගන්නේ’ යනුවෙන්.
‘තවද මා හට පුරාණයේ ඇතිවූ සැප හෝ දුක් හෝ සැපදුක් නැති හෝ වේදනා වලින් හටගත් අහංකාරය නැසීම පිණිසත්, අලුතින් හටගන්නා වේදනා ඉපදීමට ඉඩ නොදීම පිණිසත්, මේ මගේ ජීවිතය නිවැරදි මාර්ගයේ පවත්වා ගනිමින් යහපත් ආකාරයට වාසය කිරීම පිණිසත්, තමයි මම මේ ආහාරය ගන්නේ’ යනුවෙන්.
සේනාසන පරිහරණයේදී නුවණින් මෙනෙහි කරනවා. ‘යම් තාක් මා හට දැනෙන සීතලෙන් ඇතිවෙන පීඩාව සමනය කරගැනීමට, උෂ්ණයෙන් දැනෙන පීඩාව සමනය කර ගැනීමට, මැසි මදුරුවන්- සුළඟ-අව්ව-පොලව ආශ්‍රිතව සිටින සතුන්, වලක්වා ගැනීමට මෙන්ම, යම්තාක් ශීතොෂ්ණාදී ඍතු නිසා හට ගන්නා පීඩාවන් දුරු කරමින් විවේකයෙන් ඵලසමාපත්තියේ වාසය කිරීම පිණිස තමයි, මම මේ සේනාසනය පරිහරණය කරන්නේ’ යනුවෙන්.
බෙහෙත් ඔෳෂධ පරිහරණයේදී නුවණින් මෙනෙහි කරනවා, ‘මා හට නිවණ සාක්ෂාත් කරගන්නා තෙක් ඇතිවන යම් රෝගාබාධයන්ගෙන් ඇතිවන අපහසු වේදනා සංසිඳවා ගැනීම පිණිස, පීඩා බවින් මිදීම පිණිස තමයි, මේ ඖෂධ මට අවශ්‍ය කරන්නේ’ යනුවෙන්.

මහණෙනි, යම් ඒ නුවණින් අවබෝධ නොකරමින් සිව්පසය පරිහරණය කරන කෙනාට දුරු කල යුතු කෙලෙස් දැවිලි හටගත්තද,
ප්‍රත්‍යාවේක්ෂයෙන් සිව්පසය පරිහරණය කරන කෙනාට එබඳු දුරු කල යුතු කෙලෙස් දාහයන් ඇතිවන්නේ නැහැ.
මහණෙනි, මෙය නුවණින් පරිභෝජනය හා පරිහරණය කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ”.

මොනවාද මහණෙනි, ඉවසීමෙන් දුරු කල යුතු කෙලෙස්?

මේ මහණ, නුවණින් ප්‍රත්‍යාවේක්ෂ කරමින් උහුලනවා සීතල-උෂ්ණය- බඩගින්න-පිපාසය.
මැසි-මදුරු-හුළඟ-අව්ව-පොලව ආශ්‍රිතව ඉන්න සතුන්ගේ ස්පර්ශයන්, නො මනා සේ කියන ලද නපුරු වචනද, ශරීරයේ හටගන්නා දරුණු දුක් වේදනාද, උපන් ජාතිය හෝ වර්ගය නිසා ඇසීමට සිදුවන, ජීවිතය තොර කරගැනීමට තරම් රළු වන-කටුක වන-අමිහිරි වන-අකමැති වන දේ ඉවසීමට ඔහුට සිදුවෙනවා.
මහණෙනි, යම් ඒ නොඉවසන කෙනාට දුරු කල යුතු කෙලෙස් දාහයන් හටගත්තද, ඉවසන කෙනාට එබඳු වූ දුරු කල යුතු කෙලෙස් දාහයන් හටගන්නේ නැහැ.
මහණෙනි, මේවා ඉවසීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ.

මොනවාද මහණෙනි, මග හරිමින් දුරු කල යුතු කෙලෙස් යයි කියන්නේ?

මේ මහණ නුවණින් සලකා බලමින්, නපුරු ඇතුන්ව මග හරිනවා, කුලප්පු වූ අශ්වයන්ව මග හරිනවා, කුලප්පු වූ ගොනුන්ව මග හරිනවා, නපුරු බල්ලන්ව මග හරිනවා, සර්පයන් ගැවසෙන-උල්-කටු පඳුරු ඇති නුසුදුසු ස්ථාන මෙන්ම වතුර වලවල්-බෑවුම් ප්‍රපාත-අපිරිසිදු ජලය එක්තැන් වෙන තැන්- කුණු ආදිය ගලා බස්නා වළ වල් ඇති තැන් මග හරිනවා.
එක්ව බ්‍රහ්ම චරියාවේ හැසිරීම සඳහා හිඳ ගැනීමට නුසුදුසු ආසනයද, හැසිරීමට නුසුදුසු ප්‍රදේශද, ආශ්‍රය කිරීමට නුසුදුසු පාප මිත්‍රයන්ද යන ඒ ඔවුන්ගේ යථා ස්වරූපය ඒ ආකාරයටම නුවණින් අවබෝධ කරගන්නා ඒ ප්‍රඥාවන්තයා, නුවණින් සලකා බලමින් එවැනි ආසන, එවැනි ස්ථාන, එවැනි පාප මිත්‍රයන්, මග හරිනවා.
මහණෙනි, නුවණින් අවබෝධ නොකරමින් නුසුදුසු දේ මග නොහරිමින් වාසය කරන කෙනාට දුරු කල යුතු කෙලෙස් දැවිලි හටගත්තද,
නුවණින් සලකා බලමින් නුසුදුසු දේ මග හරිමින් වාසය කරන කෙනාට එබඳු දුරු කල යුතු කෙලෙස් දාහයන් ඇතිවන්නේ නැහැ.

මහණෙනි, මේවා මග හැරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ.

මොනවාද මහණෙනි, බැහැර කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියන්නේ?

මේ මහණ, සිහිය එළඹවාගෙන නුවණින් දකිමින්
තමා තුල හටගන්නා කාම සිතුවිලි නොඉවසනවා-ඉවත් කරනවා-දුරු කරනවා-අවසන් කරනවා-නැවත එවන් කාම සිතිවිලි ඇති නොවීමට වග බලා ගන්නවා.
තමා තුල හටගන්නා නපුරු ක්‍රෝධ සිතුවිලි නොඉවසනවා-ඉවත් කරනවා-දුරු කරනවා-අවසන් කරනවා-නැවත එවන් නපුරු ක්‍රෝධ සිතුවිලි ඇති නොවීමට වග බලා ගන්නවා.
තමා තුල හටගන්නා අනුන්ට හිංසා කිරීමේ සිතිවිලි නොඉවසනවා-ඉවත් කරනවා-දුරු කරනවා-අවසන් කරනවා-නැවත එවන් අනුන්ට හිංසා කිරීමේ සිතිවිලි ඇති නොවීමට වග බලා ගන්නවා.
යම්සේ සිහිය එළඹවා නොගෙන සිටින කෙනෙකුට හටගන්නා බ්‍යාපාද-විහිංසා සිතිවිලි නිසා දුරු කල යුතු කෙලෙස් දැවිලි හටගත්තද,
සිහිය එළඹවාගෙන නුවණින් වාසය කරන කෙනාට එබඳු දුරු කල යුතු කෙලෙස් දාහයන් ඇතිවන්නේ නැහැ.

මහණෙනි, මේවා බැහැර කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ.

මොනවාද මහණෙනි, නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් දුරු කල යුතු කෙලෙස් යයි කියන්නේ?

මේ මහණ, අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ‘සිහිය’තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ඇස-කණ-නාසය-දිව-කය-මනසට හමුවන අරමුණු කෙරෙහි ‘නුවණින් විමසීම’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ‘වීර්යය’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ‘සතුට-සැහැල්ලුව’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ‘අත හැරීම-සංසිඳීම’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන ධ්‍යාන ලැබීමෙන් පසු සිතේ ඇතිවන ‘බලවත් එකග්‍රතාව හෝ නිශ්චල බව’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

අවබෝධයට පත්වීමට අවශ්‍යය අංගයක් වන අතීත හෝ වර්තමාන සැප හෝ දුක් හෝ සොම්නස් හෝ දොම්නස් හෝ කිසිවක නොඇලෙන ‘මධ්‍යස්ථ භාවය’ තමන් තුල පවතිනවා දැයි නුවණින් සලකා බලමින්, සිහිය එළඹවාගෙන, කාය සහ චිත්ත විවේක සුවයෙන්ද, ඇස-කණ-නාසය-දිව-කය-මනස සංවර කර ගනිමින් රාගයෙන් තොරවද, මමය-මගේය-මගේ ආත්මයයි යන තණ්හා-දෘෂ්ඨි-මාන දුරු කරමින් සංසිඳෙමින්ද, අවසාන ඵලය වන නිවණ සඳහා සුදුසුකම් පරිපූර්ණය කරමින් වාසය කරනවා.

සිහිය එළඹවා නොගෙන නැවත නැවත නුවණින් මෙනෙහි නොකරන ඒ යම් කෙනාට දුරු කල යුතු කෙලෙස් දැවිලි හටගත්තද,
සිහිය එළඹවාගෙන නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් වාසය කරන කෙනාට එබඳු දුරු කල යුතු කෙලෙස් දාහයන් ඇතිවන්නේ නැහැ.
මහණෙනි, මේවා නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් දුරු කල යුතු කෙලෙස් යයි කියනු ලැබේ.

මහණෙනි, ‘මම වෙමි’ යනුවෙන් තමන් හඳුන්වාගන්නා කයේ යථා ස්වභාවය ගැන අවබෝධය ලබාගනිමින් ඒ දෘෂ්ඨියෙන් මිදීමෙන් හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, තමන් හට ඒ ඵලය ලබාගැනීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.
ඉන්ද්‍රියයන් සංවරයෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, තම ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.
නුවණින් පරිභෝජනය හා පරිහරණය කිරීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, තමන් එසේ නුවණින් සලකා බලමින් මනා ප්‍රඥාවෙන් යුතුව සිව්පසය පරිභෝජනය හා පරිහරණය කිරීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.

ඉවසීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, තමන්ගේ සිත-කය-වචනය හික්මවා ඉවසීම පුහුණු කිරීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.
මග හැරීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, නුවණින් සලකා බලමින් නුසුදුසු තැන් සහ නුසුදුසු පුද්ගලයන් මග හැරීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.
බැහැර කිරීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, නුවණින් සලකා බලමින් තමන් හට අකුසල් උපද්දවන සිතිවිලි බැහැර කිරීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.
නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් දුරු කළ යුතු යම් කෙලෙස් ඇත්නම්, තම සිහිය එළඹවාගෙන ඒ ඒ ගෙවන මොහොත අකුසල් දුරුකරමින්, කුසල් වඩවමින් ගතකිරීම පිණිස තමා තුල අවබෝධයට පමුණුවන අංග වැඩෙනවාදැයි නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන්මයි, ඒ කෙලෙස් දුරු වීම සිදුවන්නේ.

මහණෙනි මෙය ‘භික්ෂුවක් සියලු කෙලෙස් සංසිඳවමින්, තම ඉන්ද්‍රියයන් හික්මවාගනිමින් වාසය කරනවා’ යයි කියනු ලැබේ. ඒ ඔහු තණ්හාව සිඳ දමන්නේය. බැඳීම් බිඳ දමන්නේය. මනාසේ ඇතිකරගත් අවබෝධය අනුව ඔහුගේ දුක් සියල්ල අවසන් කරන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව සතුටින් පිලිගත්තෝය.

විස්තර කර දැක්වීම
• තම කය ‘මම නොවේ-මගේ නොවේ-මගේ ආත්මය නොවේ’ යන නිවැරදි අවබෝධය ලබා ගැනීම සඳහා, දුරු කළ යුතු වන මිත්‍යා දෘෂ්ඨිය නමැති කෙලෙස් දුරු කිරීමට නම්, නුවණින් සලකා බලමින් ඒ කයේ ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ගැන නිවැරදි අවබෝධය ලබා ගැනීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• පංච කාමයන් කෙරෙහි ඇති උපාදානය වීම නමැති කෙලෙස් දුරු කිරීමට නම්, නුවණින් සලකා බලමින්, ඇස-කණ-නාසය-දිව-කය-මනස යන ඉන්ද්‍රියයන් හා රූප-ශබ්ද-ගන්ධ-රස-ඵොට්ටබ්බ-ධම්ම යන අරමුණු වල ඇති ‘අනිච්ච-දුක්ඛ-අනත්ත’ බව ගැන නිවැරදි අවබෝධය ලබා ගෙන ඒ ආයතන සංවර කර ගැනීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• අසන්තෘප්තිය-අසහනය නමැති කෙලෙස් දුරු කරමින් සැහැල්ලු දිවි පෙවෙතක් ඇතිකරගැනීම සඳහා පමණක් අවශ්‍ය සිව්පසය පරිහරණය-පරිභෝජනය කිරීමට නම්, මනා ප්‍රඥාවෙන් යුතුව ආශ්වාදය-ආදීනවය ගැන නුවණින් සලකා බලා, සිව්පසය පරිහරණය කිරීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• කායික සහ චිත්ත විවේකය ඇතිකරගැනීම සඳහා දුරු කළ යුතු අසන්තෘප්තිය-භිය-පසුතැවීම-දොම්නස-කෝපය නමැති කෙලෙස් දුරු කිරීමට නම්, නුවණින් සලකා බලමින් තමන් තුල ඇති ස්වභාවයේත් අන්‍යන් තුල ඇති ස්වභාවයේත් යථා ස්වභාවය අවබෝධ කරගනිමින් ඉවසීම ඇති කර ගැනීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• කායික සහ චිත්ත විවේකය ඇතිකරගැනීම සඳහා ඉවසීමෙන් දුරු කළ නොහැකි, එහෙත් තමන්ට පාලනය කිරීමටද නොහැකි, බාහිරින් ඇතිවිය හැකි බලපෑම් නිසා තමන් තුල හටගත හැකි කාම ආශාව-භිය-දොම්නස වැනි කෙලෙස් දුරු කිරීමට නම්, ඒ බාහිර පරිසරය හෝ පුද්ගලයන් හෝ සතුන් හෝ මග හැරීමෙන්මයි ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• තමන් තුල කුසලය වඩවා ගැනීම සඳහා දුරු කළ යුතු
කාම සිතුවිලි-නපුරු සිතුවිලි-විහිංසා සිතුවිලි නමැති කෙලෙස් දුරු කිරීමට නම්, සිහිය එළඹවා ගෙන තම සිතට එන සිතිවිලි දෙස නුවණින් දකිමින්, ඒ දුරු කළ යුතු සිතුවිලි හඳුනා ගනිමින්, ඒවා දුරුකරලීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.

• තමන්ට උතුම් වූ රහත් ඵලය සාක්ෂාත් කරගැනීම සඳහා දුරු කළ යුතු තණ්හා-දෘෂ්ඨි-මාන නමැති කෙලෙස් දුරු කිරීමට නම්, සිහිය එළඹවාගෙන නුවණින් සලකා බලමින් තමන් තුල සිහිය පවත්වා ගැනීම,
ඒ ඒ මොහොතේ අරමුණු වන රූප-ශබ්ද-ගන්ධ-රස-ඵොට්ටබ්බ-ධම්ම යන රූපයන්හි ආශ්වාදය ආදීනවය මෙනෙහි කර යථා ස්වභාවය අවබෝධකරගැනීම,
වීර්යය පවත්වා ගැනීම,
සැහැල්ලුව හෙවත් සතුට අත්විඳීම,
මමය-මගේය-මගේ ආත්මයයි යන උපාදානයෙන් මිදීම,
සිතේ එකඟ බව ඇති කරගැනීම,
සැප හෝ දුක යන විඳීම් අන්ත දෙකෙන්ම මිදීම,
යන බෝධි අංග වඩවා ගැනීමෙන්මයි, ඒ කෙනා තුල ඒ කෙලෙස් දුරුවීම සිදුවන්නේ.