
බුදුන් වහන්සේ බෞද්ධයෙක්ද?
කොහෙත්ම නැහැ.
ජීවිතය සතුටින් ගෙවන ආකාරය පෙන්වා දී ඇති බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව
පිළිපැදීමට බෞද්ධයෙකු වීමට අවශ්‍ය වන්නේ නැත.
එසේනම් බෞද්ධයන් යනු කවුද?
බුදුන් දවස බෞද්ධයන් යනුවෙන් හඳුන්වා ගෙන තිබිය හැක්කේ, උපතින් වෙනත් විශ්වාසයන් අදහමින් සිටි, එහෙත් බුදුන් වහන්සේගේ ධර්මය අසා අවබෝධ කරගත් තැන් පටන් උන්වහන්සේගේ ධර්මයට අනුව හැසිරුණු මනුෂ්‍යයන් පිරිසක් විය හැකිය.
වර්ථමාන බෞද්ධයන් යනු බුදුන් දවස අවබෝධයෙන් බුදුන් සරණ ගිය උපාසක උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන, ඒ නිසා මවුපිය උරුමයෙන් ලැබෙන ආගමක් අදහන බෞද්ධ යයි හඳුන්වාගන්නා පිරිසක් වන නමුත් ඉන් ගිහි සහ පැවිදි බොහෝ දෙනෙක්ම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගත යුතු පිරිසක් බව ඔවුන්ගේ හැසිරීම් වලට අනුව දකින්නට ලැබෙන කාරණයක් වනවා.
බුද්ධාගම යනු පරම්පරාවෙන් උරුම කරගත හැකි ආගමක් වුවත්, බුදු දහම යනු සිහි නුවණින් යුතුව අසා දැන ගෙන නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගත යුතු බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි.
බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ බුදු දහම ගැන අවබෝධයෙන් ධර්මයට අනුව තම ජීවිතය පවත්වා ගැනීමෙන් පමණක් වන අතර වර්ථමාන යුගයේ බෞද්ධයෙක් වන්නේ දෙමව්පිය උරුමයෙන් ලැබෙන ආගමක් ඇදහීම නිසා බව දැනගත යුතු වනවා.
එසේ නම් බෞද්ධයා බුදුන් සරණ ගිය ශ්‍රාවකයෙකු වන්නේ කෙසේද?
බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ දේශනා කරන ලද ධර්මය හොඳින් ශ්‍රවණය කරමින් නුවණින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කරන තැනැත්තාට පමණක් තමාගේ අනුගාමිකයෙකු විය හැකි බවයි.
තමන් දේශනා කළ ධර්මයට අනුව ක්‍රියා කරන ගිහි හෝ පැවිදි ශ්‍රාවකයකු වශයෙන් යම් පුද්ගලයකුට තිබිය යුතු ලක්ෂණ සහ හැසිරීම් මොනවාද යන්න පහත සූත්‍රවල ද පෙන්වා දී තිබෙනවා.
‘අති පූජණීය පිරිත් පොත් වහන්සේ’ තුල සඳහන් වන මා විසින් සිංහලට පරිවර්ථනය කර ඇති මුනි සූත්‍රය, නාලක සූත්‍රය, වාසෙට්ඨ සූත්‍රය, ගුහට්ඨක සූත්‍රය, ශාක්‍ය කෝලිය දිය දබරය, ආලවක සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, පුරාභේද සූත්‍රය, සල්ල සූත්‍රය කියවන්න.
බුද්ධ දේශනාව ගැන නොදන්නා ඕනෑම ආගමක, ජාතියක, කුලයක කෙනෙකුට වුවද මෙම සූත්‍ර කියවා බුද්ධ ශ්‍රාවකයෙකු තම ජීවිතය ගත කළ යුතු ආකාරය තේරුම් ගත හැකි වනවා.
බුද්ධ ශ්‍රාවකයෙක් විසින් නුවණින් අසා දැනගත් ධර්මයට අනුව තම ජීවිතය හැඩගස්වා ගත යුතුයි.
ඔහු නොපෙනෙන ජීවියෙකුට හෝ හිංසා කරන්නේ නැහැ.
ඔහු ජීවිතය පවත්වා ගත යුත්තේ මනා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමිනි.
ඔහු ස්වභාව ධර්මයට ගරු කළ යුතු වන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම ස්වභාව ධර්මයේ යථාර්ථය පිළිබඳ වන බැවිනි.
බුද්ධ දේශනාවට අනුව ඔබ පුරුදු පුහුණු වීමට පටන් ගත් මොහොතේ සිටම එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වෙනවා.
ඔබ ඔබේ ඉන්ද්‍රියයන් නිරීක්ෂණය කරමින් ඔබේ සිතුවිලි දෙස නුවණින් බැලිය යුතු වනවා.
ඔබේ සිතුවිලි නුවණින් මෙනෙහි කරන්නේ නම් ‘තමන් කවුද’ යන්න නිවැරදිව හඳුනා ගැනීමට ඔබට හැකිවෙනවා.
ඔබ නුවණින් මෙනෙහි කළහොත්, ‘මගේ’ යැයි අල්ලා ගත් සියල්ල නිසා ඔබට දුක් විඳීමට සිදු වූ බව වටහා ගැනීමට හැකිවෙනවා.
උපාදානයක් ඇති කර ගත් සෑම මොහොතකම ඔබ තුළ ලෝභ – ද්වේෂ සහගත සිතිවිලි පහළ වූයේ ඔබ එම පුද්ගලයා හෝ වස්තුව සදාකාලිකවම හිමිකර ගැනීමට උත්සාහ කළ නිසා බව ඔබට වටහා ගැනීමට හැකිවෙනවා.
ඒ පුද්ගලයා හෝ වස්තුව හෝ ඔවුන් කෙරෙහි ඇති ඔබගේ ආශාව සදාකාලික නොවන බව නුවණින් වටහා ගැනීමට හැකිවුව හොත් ඒ පුද්ගලයන් කෙරෙහි හෝ වස්තූන් කෙරෙහි ඇති බැඳීම් අතහැරෙමින් තමන් තුල සන්සුන් සිතුවිලි ඇති වීමට පටන්ගන්නවා.
ඒ අනුව තමන් තුල හානිකර රාග – ද්වේෂ සිතිවිලි ඇතිවීමට හේතුව හඳුනාගෙන ඒවා නැති කිරීමට පියවර ගත යුතු වෙනවා.
සන්සුන් සිතුවිලි තමන් තුල ඇති වන විට ඒවා තව තවත් වඩවා ගැනීමට කටයුතු කල යුතු වෙනවා.