ප්‍රවර්ග
අංගුත්තර නිකාය

අහිරාජ සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-චතුක්කනිපාත පාළි-පත්තකම්ම වග්ගය- මෛත්‍රිය වැඩීමෙන් සතුන්ගෙන් ආරක්ෂා වෙන ආකාරය පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

මා විසින් මෙසේ අසන ලදී.
බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, සැවැත්නුවර වාසය කල එක්තරා භික්ෂුවක් සර්පයෙකුගේ දෂ්ඨ කිරීම නිසා අපවත් වුනේය. ඉක්බිතිව භික්ෂූන් පිරිසක් බුදුන් වහන්සේ වෙත පැමිණ පසෙකින් අසුන් ගත්හ. එසේ අසුන් ගත් භික්ෂූහු, බුදුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ. “ස්වාමීනි, සැවැත්නුවර භික්ෂුවක් සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා අපවත් වුනේය” යයි.
මහණෙනි, ඔහු සර්ප රාජ කුල සතරට අයත් සර්පයින්ට මෛත්‍රිය පැතිරවූයේ නැහැ. ඉදින් ඔහු, සර්ප රාජ කුල සතරට අයත් සර්පයින් හට මෛත්‍රිය පැතුරුවා නම්, ඔහුට එසේ සර්ප දෂ්ඨ වීමක් නිසා, අපවත් වීමට සිදුවන්නේ නැහැ.

කවරක්ද ඒ සර්ප රාජ කුල සතර?
• විරුපක්ඛ සර්ප රාජ කුලය
• ඒරාපථ සර්ප රාජ කුලය
• ඡබ්‍යාපුත්ත සර්ප රාජ කුලය
• කණ්හාගොතමක සර්ප රාජ කුලය

ඔහු, මේ කියන සර්ප රාජ කුල සතරට අයත් සර්පයින්ට මෛත්‍රිය පැතිරවූයේ නැහැ. ඉදින් ඔහු, මේ කියන සර්ප රාජ කුල සතරට අයත් සර්පයින් හට මෛත්‍රිය පැතුරුවානම්, ඔහුට එසේ සර්ප දෂ්ඨ වීමක් නිසා මිය යාමට සිදුවන්නේ නැහැ.

“මහණෙනි, මම ඔබලාට අනුදැන වදාරන්නම්, මේ සතර සර්ප රාජ කුලයන් වෙත මෙත් සිත පැතිරවීමෙන් තම ඉඳුරන් රැක ගැනීම මෙන්ම, තමාට රැකවරණය, ආරක්ෂාව සලසා ගන්නා ආකාරය”.

මම විරුපාක්ෂ සර්ප රාජ කුලයේ සත්වයන්හට මෛත්‍රී කරමි,
මම ඒරාපත සර්ප රාජ කුලයේ සත්වයන්හට මෛත්‍රී කරමි,
මම ඡබ්‍යාපුත්ත සර්ප රාජ කුලයේ සත්වයන්හට මෛත්‍රී කරමි,
මම කණ්හාගොතමක සර්ප රාජ කුලයේ සත්වයන්හට මෛත්‍රී කරමි,

පාද රහිත සියලු සත්වයන්ට මම මෛත්‍රී කරමි
සියලු දෙපා සත්වයන්ට මම මෛත්‍රී කරමි
සියලු සිවුපා සත්වයන්ට මම මෛත්‍රී කරමි
සියලු බොහෝ පා ඇති සත්වයන්ට මම මෛත්‍රී කරමි

කිසිදු පාද නැති සත්වයෙකුගෙන් හෝ මා හට හිංසාවක් නොමවේවා!
කිසිදු දෙපා සත්වයෙකුගෙන් හෝ මා හට හිංසාවක් නොමවේවා!
කිසිදු සිවුපා සත්වයෙකුගෙන් හෝ මා හට හිංසාවක් නොමවේවා!
කිසිදු බොහෝ පාද ඇති සත්වයෙකුගෙන් හෝ මා හට හිංසාවක් නොමවේවා!

සසරට ඇලුනු සියලු සත්වයන්ද, සියලු පණ ඇති සත්වයන්ද,
සියලු අමනුස්සයන්ද, අවසේස සියලු සත්වයන්ද, හට
පාපී සිතිවිලි ඇති නොමවේවා!
යහපත් සිතිවිලිම ඇතිවේවා!

බුදුගුණ අනන්තයි! දහම් ගුණ අනන්තයි! සංඝ ගුණ අනන්තයි!
සංඛ්‍යාවක් කිව නොහැකි තරම් බඩගාන සත්වයින්ගෙන්ද,
ගෝනුස්සන්, පත්තෑයන්, මකුළුවන්, හූණන්, සිකනලුන්, මීයන්ගෙන්ද,
මම ආරක්ෂාව සලසා ගත්තෙමි.
මම රැකවරණය සලසා ගත්තෙමි.
කෙලෙස් නිසා හටගත් බිය මා වෙතින් දුරුවේවා!
මම ඒ බුදුන් වහන්සේට නමස්කාර කරමි!
සත්බුදුවරයන් වහන්සේට නමස්කාර කරමි!