Categories
ඛුද්දක නිකාය

ගුහට්ඨක සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ගය-තණ්හාවෙන් වැසී, ශෝක කරමින්, සසරේ ඇවිදින සත්වයාට ඉන් මිදෙමින් ශෝක පරිදේවයන්ගෙන් මිදෙන ආකාරය පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

  1. අධික තෘෂ්ණාව නිසා හික්මවා නොගත් ඉන්ද්‍රියයන් ඇති මිනිසා නමැති සසරට තව තවත් ඇලෙන සත්වයා, “මම යයි-මගේ යයි-මගේ ආත්මය යයි” යන අධික මානයක් ඇතිකරගෙන මෝහයෙන් මුලා වී සිටිනවා.
  2. එසේ “මම” යයි හඳුන්වා ගන්නා කොටස් වල යථා ස්වරූපය දෙස නුවණින් බලා ප්‍රත්‍යක්ෂව ඒ ගැන අවබෝධ කර ගැනීමට අවශ්‍ය කාය සහ චිත්ත විවේකය නැති නිසා, සිහිය උපදවාගනු නොහැකිව කාම ලෝකයේ මුසපත් වෙමින් නිද්‍රාවට පත්වී විනාශයටම පත්වෙනවා.
  3. ලෞකික සැපයට හේතුවන භව තෘෂ්ණාවෙන් මිදීමට අපහසුකම නිසා ඉන් මිදිය නොහැකිව, සසරේ කොතරම් දුකක් වින්දත්, නැවත නැවත ඒ දුක ගෙන දෙන ලෞකික සැපයම පතමින් තෘෂ්ණාවේම බැස ගන්නවා. ප්‍රඥාවන්තයින්ගේ අවවාද පිළිනොගෙන, සිහි එළඹවා ගත නොහැකිව, කාමයෙහි ගිජුවෙමින් සසරටම ඇලුණු මේ අඥාන පුද්ගලයා, මරණින් පසු සැප ඇති කවර හෝ භවයක ඉපදුනත්, විලාප නගා හඬන වැලපෙන දුකම පමුණුවා ගනු ලබනවා.
  4. එබැවින් මේ විෂම ලෝකයේ ඇති දුකෙන් මිදී උතුම් තත්වයට පත්වීම සඳහා හික්මෙන ඒ යහපත් මනුෂ්‍යයා, රහතුන් වැනි ප්‍රඥාවන්තයින් විසින් අනුමත නොකරන ලද, සුළු හෝ වැරදි හැසිරීමක යෙදීමට හේතුවක් ඇතිවෙන්නේ නැහැ.
  5. හාත්පස ලෝකයම අටලෝ දහමෙන් කම්පාවෙන සුළු බව නුවණින් නිරීක්ෂණය කර, මේ භවයට හේතුවන තණ්හාව දුරුකරන්න.
    කාම රාගයෙන් මුලාවුණු හීන මිනිසා, භවයෙන් භවයට ගෙනයන දුකම උරුම කරන තණ්හාව දුරු නොකරමින්, මාරයාගේ කට අභිමුව සිට වහසි බස් කියවනවා.
  6. “මම යයි-මගේ යයි-මගේ ආත්මය යයි” යන උපාදානය නිසා, සිඳී යන වතුර වලක සිටින මාළුවකු ගැහෙන සේ, තමන් නිතරම ‘කැමති දේ අහිමිවේවි යයි-නැතිවේවි යයි-නොලැබේවි යයි’ හෝ ‘අකමැති දේ ලැබේවි යයි- අකමැති දේ ඇති වේවි යයි’ හෝ යනුවෙන් භයෙන් ගැහෙමින් සිටින බව නුවණින් දකින්න. එසේ දකිමින් “මම යයි-මගේ යයි-මගේ ආත්මය යයි” යන උපාදානය නැතිකර, භවයට ආශා කිරීමෙන් වලකින්න.
  7. කාම සුකල්ලිකාණු යෝගය හෝ අත්තකිලමතානු යෝගය හෝ යන අන්ත දෙක සඳහාම ඇති කැමැත්ත දුරු කර, ආයතන හයට රූප ස්පර්ශ වන විට තමන් තුල හටගන්නා හැඟීම් දෙසද, ඒවාට ඇති කැමැත්ත හෝ අකමැත්ත නිසා ඇතිවන උපාදානයන් හේතුකොට ගෙන තමා තුල ඇතිකරගන්නා සිතිවිලි දෙසද, සිහියෙන් දකින්න.
    ඒවා ඇතිවී පැවතී නැතිවී යන ආකාරය නුවණින් අවබෝධ කරගනිමින්, ඒ රූප කෙරෙහි නො ඇලී මෙතෙක් තමා ස්ථිර ආත්මයක් ඇති කෙනෙකු යයි සිතා ගොඩ නගාගත් අදහස් ගැන කලකිරෙන්න. එතැන් පටන් අසන දකින දේ සිහියෙන්, නුවණින් ගලපා නිරීක්ෂණය කරමින් ලබාගන්නා යථා අවබෝධය නිසා, ප්‍රඥාවන්තයෙකු නම්, ඉතා සුළු වූ දෙයක හෝ නොඇලී, සිහිය එළඹවාගෙන වාසය කරන්නට පටන් ගනියි.
  8. “මම යයි-මගේ යයි-මගේ ආත්මය යයි” මෙතෙක් කලක් උපාදානය කරගෙන සිටි තමන්ගේ සිත සහ කය මෙන්ම, බාහිර පණ ඇති-පණ නැති රූප වල යථා ස්වරූපයද නුවණින් හඳුනාගෙන, ඒ කිසිවක “මම හෝ මගේ හෝ මගේ ආත්මය” කියා ගත හැකි කිසිවක් නොමැති බව ප්‍රත්‍යක්ෂව නුවණින් අවබෝධ කර ගන්නා ප්‍රඥා වන්තයා, මේ රාග-ද්වේෂ-මොහාදී කෙලෙස් දුරුකර, නැවත ඒ කිසිවක් කෙරෙහි අයිතියක් ගල්වාගන්නේ නැහැ. කාමාදී කෙලෙස් නමැති උල්, මුලින්ම උදුරා දැමීම නිසා අප්‍රමාද වූ සිහියෙන් හැසිරෙන ඒ පණ්ඩිතයා, මේ ලෝකයේ කිසිවක් හෝ අන් ලෝකයක් හෝ වෙනුවෙන් කැමති වෙන්නේ හෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading