මේ සූත්‍රය මජ්ඣිම නිකායේ-මජ්ඣිමපණ්ණාස පාළි-බ්‍රාහ්මණ වග්ගය- බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.
වාසෙට්ඨ විසින්
“ත්‍රිවිද්‍යාව, අනුදැනීම (ඉගන ගැනීම) සහ ප්‍රතිවේදය (පිලිපැදීම) යන දෙකම සම්මර්ශනය කල අපි,
මම පොක්කරසාති බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක්, මේ ඉන්න තරුණයා තාරුක්ඛ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක්.
යම් ඒ ත්‍රිවිද්‍යාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය යයි කියන ලද සියලු ව්‍යාකරණ, ගාථා හොඳින් හදාරමින් ඒ ගුරුතුමා හා සමානවම මම හොඳින් ඒවා කීමට සමර්ථ වෙමි.
ඒ ඔවුන්ගේ කුල භේදයන් ගැන ඇති අදහස් සම්බන්ධයෙන් මම ඔබ ගෞතමයන් සමග විවාදයක් කරන්නේ නැහැ.
“බ්‍රාහ්මණයෙක් වෙන්නේ උප්පත්තියෙන්” යයි කියා භාරද්වාජ මෙසේ කියනවා,
මම කියනවා ඒක කර්මය නිසයි කියල මගේ දැනුමේ හැටියට.
අපි දෙදෙනාගෙන් එක් කෙනෙකු හෝ එය හරිහැටි දැනගැනීමට හෝ අවබෝධ කර ගැනීමට සමර්ථ නැහැ,
ඒ නිසා මනාසේ අවබෝධ කල, අභිවෘද්ධි ඇති උත්තමයාගෙන් විමසා දැනගැනීමට පැමිණියෙමු.
අන්ධකාරය දුරුකරමින් බැබලෙන චන්ද්‍රයා සේ ලෝකයාගේ අවිද්‍යා අන්ධකාරය දුරුකරන්නා වූ, අන් ලෝකයන්හි සත්වයන් පවා නමස්කාර කරන, ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කරන්නෙමු.
උපතින් බ්‍රාහ්මණයෙක් වෙනවද එහෙම නැත්නම් කර්මය නිසා එය සිදුවෙනවද කියා,
හරි ආකාරව අවබෝධකර නොමැති නිසා නොදන්නා වූ අපි,
‘ඒ බ්‍රාහ්මණයෙක් වන්නේ යම්සේ දැයි දැනගැනීමට’,
ලෝකයාට ඇසක් සේ පහල වූ ගෞතමයන් වහන්සේගෙන් විමසන්නෙමු.
බුදුන් වහන්සේ විසින්
එසේනම් මම ඔබට නා නා කුල ගෝත්‍ර බෙදා වෙන්වූ සත්‍ය වූ ආකාරය අනුපිළිවෙලින් හොඳින් පැහැදිලි කර කියා දෙන්නම්.
තණකොල- පැලැටි- ගස් වර්ග- වැල් වර්ග- යන ශාක කුලය ගැන හිතන්න. ඒවා ශාක යන එකම කුලයේ වුවත්, ඒ තණකොල-පැලැටි-ගස් වර්ග-වැල් වර්ග වල හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම ශාක කුලයට අයත් වුවත්, ඒ ඒ වර්ගයන්ට අයත් පැලැටි-ගස්-වැල් ආදියෙහි, ඒවාට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා, අපිට පුළුවන් ඒවා වෙන් කර හඳුනා ගන්න, මෙය තණකොළ, මෙය කලාඳුරු, මෙය පොල්පලා, මෙය නුග, මෙය සමන්පිච්ච ආදී ලෙස.
| මෙහිදී පාලියෙන් ඇති ගාථා වල සඳහන් නොවන සමහර ගස් වැල් වල සහ සත්වයින්ගේ නම්, මා විසින් එකතු කර තිබෙන්නේ, කියවන ඕනෑම තරා තිරමේ කෙනෙකුට බුදුන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබූ කාරණය තවත් හොඳින් වටහා ගැනීමට උපකාරයක් වශයෙනි. |
නැවත, පලඟැටියන්-කුහුඹුවන්-පනුවන් වැනි යම් තාක් කුඩා කෘමි සතුන් ගැන හිතන්න, ඔවුන් එකම කෘමින් යන කුලයට අයත් වුවත්, ඒ පලඟැටියන්-කුහුඹුවන්-පනුවන්ගේ හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම කෘමි කුලයට අයත් වුවත්, ඒ ඒ සත්ව වර්ගයට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා අපිට පුළුවන් ඔවුන්ව වෙන් කර හඳුනා ගන්න, මේ පණුවෙක්, මේ මදුරුවෙක්, මේ මැස්සෙක්, මේ පලඟැටියෙක්, මේ කුහුඹුවෙක් ආදී ලෙස.
එලෙසින්ම නොයෙකුත් ලොකු කුඩා සිව්පා සතුන් ගැන හිතන්න. ඔවුන් එකම සිව්පා යන කුලයට අයත් වුවත්, ඒ බල්ලන්, පූසන්, අලි ඇතුන්, වඳුරන්ගේ හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම සිවුපා කුලයට අයත් වුවත්, ඒ ඒ සත්ව වර්ගයට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා, අපිට පුළුවන් ඔවුන් වෙන් කර හඳුනා ගන්න, මේ බල්ලෙක්, මේ පුසෙක්, මේ අලියෙක්, මේ ඇතෙක් ආදී ලෙස.
බඩගා යන නොයෙකුත් උරග සතුන් වර්ග ගැන හිතන්න. ඔවුන් එකම උරග යන කුලයට අයත් වුවත්, ඒ නයා, කිඹුලා, ගැරඬියා, මාපිලා, තලගොයාගේ හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම උරග කුලයට අයත් වුවත්, ඒ ඒ සත්ව වර්ගයට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා, අපිට පුළුවන් ඔවුන් වෙන් කර හඳුනා ගන්න, මේ නයා, මේ කිඹුලා, මේ ගැරඬියා, මේ මාපිලා, මේ තලගොයා ආදී ලෙස.
තවද ජලයේ හැසිරෙන නොයෙකුත් මත්ස්‍ය වර්ග ගැන හිතන්න. ඔවුන් එකම මත්ස්‍ය යන කුලයට අයත් වුවත්, ඒ දැල්ලා, ඉස්සා, බලයා, කෙලවල්ලා, මෝරා, තෝරාගේ හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම මත්ස්‍ය කුලයට අයත් වුවත්, ඒ ඒ සත්ව වර්ගයට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා, අපිට පුළුවන් ඔවුන් වෙන් කර හඳුනා ගන්න, මේ දැල්ලා, මේ ඉස්සා, මේ බලයා, මේ කෙලවල්ලා, මේ මෝරා, මේ තෝරා ආදී ලෙස.
පියාපත් ගසමින් අහසේ හැසිරෙන කුරුල්ලන් ගැන හිතන්න. ඔවුන් එකම පක්ෂීන් යන කුලයට අයත් වුවත්, ඒ ගිරවා, මයිනා, මොනරා, කුකුලා, රාජ අලියාගේ හැඩයන් වල ගැලපීමක් දකින්න ලැබෙන්නේ නැහැ.
එකම පක්ෂීන් කුලයට අයත් වුවත්, ඒ ඒ සත්ව වර්ගයට ආවේනික වන වෙනස් හැඩයන් තියන නිසා අපිට පුළුවන් ඔවුන් වෙන් කර හඳුනා ගන්න, මේ ගිරවා, මේ මයිනා, මේ මොනරා, මේ කුකුලා, මේ රාජ අලියා ආදී ලෙස.
මේ ආකාරයට ශාක කුලයට අයත් ශාක අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, සිවුපාවන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, උරගයන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, කෘමි සතුන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, උරගයන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, මත්සයන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, පක්ෂීන් අතර මේ තරම් ආවේනික වෙනස් කම් දකින්න ලැබුනත්, මනුෂ්‍ය කුලයට අයත් මනුෂ්‍යයන් වර්ග කර හඳුනා ගත හැකි ආවේනික ලක්ෂණයන් මනුෂ්‍ය කුලයට නැහැ.
හිසෙහි හෝ කෙස් වල හෝ කණෙහි හෝ ඇසෙහි වත්,
කටෙහි හෝ නාසයෙහි හෝ තොලෙහි හෝ ඇස් බැමි වල වත්, වෙනස් ආකාර දකින්න ලැබෙන්නේ නැහැ.
තවද බෙල්ලෙහි වත්, උරහිසෙහි වත්, බඩෙහි වත්, පිටෙහි වත්
කෙනෙකු උපදින ස්ත්‍රී නිමිත්තෙහිවත්, පයොදරවලවත්, සැඟවුණු අවයවයෙහිවත්, ස්ත්‍රී පුරුෂ එක්වීම් වලවත්, වෙනස් ආකාර දකින්නට නැහැ.
එසේම අත් පා ඇඟිලි නියපොතු කෙන්ඩ, කලවාවලවත්
පේන හැඩයෙන්වත්, හැසිරීමෙන්වත්, අනික් සත්ව වර්ගවල මෙන්,
මිනිසුන් අතර වෙනස් කම් දකින්න නැහැ.
මනුෂ්‍යාගේ ශරීරයේ දකින්න ලැබෙන දෙයකින්, ඔහුව වෙන් කර හඳුනා ගන්න ක්‍රමයක් නැහැ.
ඔහු කරන රැකියාව අනුව හෝ ඔහුගේ හැසිරීම අනුව ඔහුව හඳුන්වනවා.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි ගව පාලනය-කෘෂි කර්මාන්තය වැනි රැකියාවක් ආශ්‍රය කොට ගෙන ජීවිකාව පවත්වා ගන්නවා නම්,
ඔහුව ‘වැවිලි කරන්නා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි චිත්‍ර ශිල්පය හෝ දුනු ශිල්පය හෝ වෙනත් ශිල්ප හෝ ආශ්‍රය කොට ජීවිකාව පවත්වා ගන්නවා නම්,
ඔහුව ‘ශිල්පියා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි වෙළඳාම් ආශ්‍රය කොට ජීවිකාව පවත්වා ගන්නවා නම්, ඔහුව ‘වෙළෙන්දා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි අන් අය යටතේ සේවය කර ජීවිකාව පවත්වා ගන්නවා නම් ඔහුව ‘සේවකයා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි සොරකම් කොට ජීවිකාව පවත්වා ගන්නවා නම්
ඔහුව ‘සොරා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි ආයුධ ගෙන ආරක්ෂක සේවය කොට ජීවිකාව පවත්වා ගන්නවා නම් ඔහුව ‘යුධ භටයා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි යාග හෝම කොට ජීවිකාව පවත්වා ගන්නවා නම් ඔහුව ‘පූජකයා’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
වාසෙට්ඨ, කෙනෙක් වනාහි ගම රට පරිභෝග කොට ජීවිකාව පවත්වා ගන්නවා නම් ඔහුව ‘රජ’ ලෙස හඳුන්වනවා මිස, “බ්‍රාහ්මණයෙක්” කියල හඳුන්වන්නේ නැහැ.
මවු කුසක හටගෙන යෝනියෙන් ඉපදිලා, රාග-ද්වේශ-මෝහ නමැති කෙලෙස් ඇතුව ඇලීම් සහිතව ඉන්න කෙනාට “බ්‍රාහ්මණයා” කියල මම කියන්නේ නැහැ.
“මමය-මගේය” කියා හැඟීමෙන් කිසිවක් අල්ලා නොගන්නා,
සියලු කෙලෙස් දුරු කල,
ඒ ඔහුට තමයි මම “බ්‍රාහ්මණයා” කියන්නේ.
සියලු සංයෝජනයන් සිඳ දමා, තෘෂ්ණාවෙන් පීඩිත නොවී
සියලු ඇලීම් දුරු කර, සියල්ලෙන් වෙන් වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
වර පට සිඳ දමා ගත් අශ්වයෙක් අනුක්‍රමයෙන් දමනය කර ගන්නා සේ,
රාග-ද්වේශ-මෝහාදී ක්ලේශයන් අනුක්‍රමයෙන් දුරු කර, සියලු දුක්වලින් මුළුමනින්ම මිදී අවබෝධයට පත්වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
ආක්‍රෝෂ-නින්දා-අපහාස-හිංසා, හමුවේ නොසැලෙමින්, කෝපයට පත්නොවන බල හමුදාවක් සේ ඉවසීමේ බලය පුහුණු කල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
උඩඟු නොවන මෛත්‍රී සහගතව සිල්වත්ව හික්මුණු,
අවසන් ශරීරය දරන රහතන් වහන්සේට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
නෙලුම් කොලය ජලය නොරඳව ගන්නා සේ,
ඉදිකටු තුඩ මත, අබ ඇටය නොරඳව ගන්නා සේ,
කාමය නො තවරගන්නා,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
දුක යනු කුමක්දැයි, ප්‍රත්‍යක්ෂව අවබෝධ කර, ඉන් මිදීම සඳහා
සියලු බැඳීම්-ඇලීම් වලින් වෙන්වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
යා යුතු-නො යායුතු මාර්ගයන් නිවැරදිව තෝරා ගැනීමට දක්ෂ ව,
පිලිවෙලින් රහත් ඵලයට එළඹෙන ගැඹුරු නුවණක් ඇති ප්‍රඥාවන්ත,
ඒ ඔහුට, මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
ගිහි ජීවිතය හා සම්බන්ධය අතහැර, නොබියව බ්‍රහ්මචාරී ජීවිතයකට ඇතුළුවී
තමාගේ යනුවෙන් වාසස්ථාන අයිතිකර ගැනීමක් නැති, ලද දෙයින් සතුටු වන අල්පේච්ඡ ජීවිතයක් ගතකරන,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
දඬු මුගුරු බහා තැබූ නිසා කෙලෙස් සහිත සත්වයන් හෝ කෙලෙස් ප්‍රහීණ කල උතුමන් හෝ යන සියලු ප්‍රාණීන් හට, හිංසාවක්-පීඩාවක් හෝ නැසීමක් සිදු නොකරන,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
තමන්ට සතුරු කම් කරන අය කෙරෙහි සතුරු නොවී සිටිය හැකි, තමන්ට හිංසා පීඩා කරද්දීත් ඒවා ඉවසා දරා ගෙන සංසිඳීමට පත් වීමට හැකියාව ඇති, කෙලෙස් සහිත බලවත් හැඟීම් නැතිකල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
ඉදිකටු තුඩ මත අබ ඇටය නො රැඳෙන්නා සේ, තමන් තුල රාගය-ද්වේශය-මානය-ගුණමකු බව, තමන් වෙතින් ඉවත් කරන ලද,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
රළු අදහස් නැති-අවබෝධ කරවීමට පහසු නම්‍යශීලී-සත්‍ය වචන ප්‍රකාශ කරන-කිසිදු දෝෂාරෝපණයට භාජනය නොවන,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන හෝ යහපත හෝ අයහපත ඇතිකරන, කුඩා වූ ලාභයක් හෝ මහත් වූ ලාභයක් ඇති අන් අයට අයත් දෙයක් ඒ ඔවුන් විසින් නොදෙන කල, ඒ කිසිවක් හොරෙන් හෝ බලහත්කාරයෙන් නොගන්නා,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
තමන්ගේ ගැන හෝ අන් කිසිවක් ගැන ලෝභයක් දක්නට නැති,
කැමති-අකමැති දෙකෙන්ම මිදුණු,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
‘මමය-මගේය’ යන තෘෂ්ණාව නැති කළ ඔහු තුල, අන් අය කෙරෙහි තෘෂ්ණාවක් ඇතැයි කියා සැක කිරීමට හේතුවක් නැහැ.
පිලිවෙලින් නිවණ සාක්ෂාත් කල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
පින්කම්ද, පවුකම්ද යන දෙකෙහිම ඇති ආශාව ඉක්මවූ,
කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් පාරිශුද්ධත්වයට පත්වූ, ශෝක නොකරන්නා වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
පැහැදිලි අහසේ බබලන අති ප්‍රසන්න පූර්ණ චන්ද්‍රයා සේ,
භව තෘෂ්ණාව දුරුකර පාරිශුද්ධත්වයට පත් වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
මෝහයෙන් මුලාවීම නිසා, ඉතාමත් දුෂ්කර වූ ද කටුක වූ ද සංසාරයේ ඇවිද යන බව, නුවණින් අවබෝධ කරගෙන, සංසාරය ඉක්මවා පරතෙර නම් නිවණට පැමිණි ඒ ඥානවන්තයාගේ නිකෙලෙස් බව ගැන කුමක් කියන්නද.
එසේ ඒ “මමය-මගේය-මගේ ආත්මය” යයි අල්ලාගත් තෘෂ්ණාවෙන් මිදී නිවණට පත්වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
ඒ පහත් කාමය විනාශ කර බ්‍රහ්මචාරී පැවිදි ජීවිතයක් ගත කරමින්
කාම භවය ප්‍රහීණ කල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
ඒ පහත් තෘෂ්ණාව විනාශ කර බ්‍රහ්මචාරී පැවිදි ජීවිතයක් ගත කරමින්
භව තණ්හාව ප්‍රහීණ කල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
මනුෂ්‍ය ලෝකයට ඇති ආශාව දුරු කර, දේව ලෝකයන් කෙරෙහි ඇති ආශාව ද ඉක්මවා, සියලු ලෝකයන් කෙරෙන් සිත මුදවා ගත්තාවූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
කාමය කෙරේ ආශාව දුරුකර, ‘මමය-මගේ’ යයි මෝහයෙන් මුලාවී අල්ලා ගෙන සිටි සියල්ල ගැන කලකිරී, කෙලෙස් දුරු කර, අධික වීර්යයකින් කෙලෙස් සහිත සියලු ලෝකය මැඩ පැවැත් වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
මැරෙන සත්වයාට ස්ථිරවම නැවත උපතක් තිබෙන බව මනාසේ දැන අවබෝධ කරගෙන, එයින් මිදී නැවත උපත නැති කල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
දෙවියෙක් හෝ ගන්ධබ්බයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ ලෙස වත් නැවත නොඉපදෙන සේ ආශ්‍රවයන් ක්ෂ්‍ය කළ රහතන් වහන්සේ වන,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
අතීත-අනාගත-වර්ථමාන කිසිවක්, තණ්හා-දෘෂ්ඨි-මාන වශයෙන් නොගන්නා නිසා කිසිදු ඇලීමක් හෝ ගැටීමක් නැති,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
බර අදින ගොනෙකු සේ අධික වීර්යයක් ඇතුව තෘෂ්ණාව පරාජය කර
සිනාවෙන් මුව සරසා ගත්, උතුම් අවබෝධයට පත්වූ,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
තමන්ගේ පෙර භවයන් ගැනද, දිව්‍ය ලෝක ගැනද, අපායන් ගැනද, නුවණින් දැක ගත් නැවත ඉපදීම නැතිකල,
ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.
පුරාණයේදී ආමන්ත්‍රණය සඳහා සකස් කර ව්‍යවහාරයට යොදා ගත් නාමයන්, ඒ ඒ පසු කාල වලදී උස්-පහත්-සම බව දැක්වීම සඳහා යොදා ගෙන ඇත.
මෙසේ බොහෝ කාලයක් මුළුල්ලේ පැවති ඒ වැරදි අවබෝධයේ දැනුම
වන “ඉපදීමෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා” යන කීම නොදත යුතු, නොකිය යුතු වන එකක්.
උපතින් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ, උපතින් බ්‍රාහ්මණයෙක් නොවෙන්නෙත් නැහැ.
සිත-කය-වචනය සංවරයෙන් ක්‍රියා කිරීම නිසා බ්‍රාහ්මණයෙක් වෙනවා,
සිත-කය-වචනය සංවරයෙන් තොරව ක්‍රියා කිරීම නිසා බ්‍රාහ්මණයෙක් නොවෙනවා.
ගොවියෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
ශිල්පියෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
වෙළෙන්දෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව, මෙහෙකරුවෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
සොරෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
හමුදා භට ආරක්ෂකයෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
පූජකයෙක් කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
රජ කියා හඳුන්වන්නේ ඔහු කරන කටයුත්ත අනුව,
මේ ආකාරයට කෙනෙක් කරන ක්‍රියාවේ යථා ස්වභාවය ගැන නුවණින් දකින ප්‍රඥාවන්තයා,
හේතු ඵල දහමට අනුව ඒ ඒ කෙනා කරන ක්‍රියාවත්, ඊට ලැබිය හැකි ඵලයත් ගලපා බැලීමට දක්ෂ වෙමින්, තමන් ක්‍රියා කල යුතු-නොකළ යුතු අකාරය ගැන අවබෝධ කරගන්නවා.
සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවෙන් තමයි ලෝකය පවතින්නේ, සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවෙන් තමයි සත්ව සමූහය පවතින්නේ.
කෙනෙක් සිතින්-කයින්-වචනයෙන් සිදුකරන ක්‍රියාවන්ට අදාළ විපාකය, ඒ සත්වයා අතනොහැර පසුපස එල්ලී ගමන් කරන්නේ කරත්තයක රෝදය සවිවෙලා තියන කඩ ඇණය අනුවම රෝදය කරකැවෙනවා සේ.
සිත-කය-වචනය සංවර කර ගනිමින්, බ්‍රහ්මචරිය ශීලයේ හික්මෙන ප්‍රඥාවන්තයාට තමයි, ශ්‍රේෂ්ඨ “බ්‍රාහ්මණයා” කියල කියන්නේ.
වාසෙට්ඨයෙනි, සිත-කය-වචනය යන තුන්දොරෙහි මනාව හික්මෙමින්,
නැවත උපතක් ඇතිවීම නැතිකරන, නිර්වාණය සාක්ෂාත් කල හැකි ත්‍රිවේදය, විශේෂයෙන් දැන අවබෝධ කරගැනීමට ඔබ දක්ෂ විය යුතුයි”.