ප්‍රවර්ග
ඛුද්දක නිකාය

විජය සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-උරග වග්ගය- කය ගැන නිවැරදිව අවබෝධ කර ගනිමින්, මමත්වයෙන් මිදිය යුතු බව පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

ඇවිදින, නැවතී සිටින, ඉඳ ගෙන, සැතපී ඉන්න, නැවෙන, දිගහැරෙන මේ කයේ හැම ඉරියව්වක්ම ඒ කයේ සිදුවන චලනයන් බව වටහා ගන්න.

ඇට මස් නහර එකතුව සෑදුනු මස් කොටස, සම නමැති පොත්තකින් ආවරණය වුන නිසා, මේ කයෙහි යථා ස්වරූපය දැකිය නොහැකි වේ.

එහි ඇති අතුනු බහන්, ආමාශය, අක්මාව, මුත්‍රාශය, හෘදය, පපු මාංසය, වකුගඩු, බඩවැල්ද යන මස් ලේ නහර කොටස් ද,

එහි ඇති සොටු, කෙල, දහඩියද, තෙල්ද,
ලේ, හැරව, පිතද යන, ඒ ශරීරය යට පත් කර ගත් දේද වන,

නිතරම නව දොරකින් ගලන වැගිරෙන අසූචිද,
ඇසෙන් පිටවන කබ හා කණෙන් පිටවන කලාඳුරු ද,

නාසයෙන් පිටවන සොටු ද,
මුඛයෙන් පිටවන පිත-සෙම මෙන්ම සමහර දිනෙක වමනය ද,
කයෙන් දහඩිය හා කුණු ද,

මොලයෙන් පිරුණු හිස් කුහරය සහිත හිසක්ද ඇති මේ කය,
අවිද්‍යාවෙන් අන්ධවූ බාලයා සුභ දායක අභිවුර්ධියක් සේ පිළිගනී.

යම් කලෙක හෙතෙම මරණයේ නින්දට වැටුණු පසු, ඉදිමී ඉතා නිල් පැහැ වූ ඔහුගේ ඒ ශරීරය, ඥාතීන් විසින් කිසිදු අපේක්ෂාවක් රහිතව, සොහොනට ගෙන ගොස් විසිකර දමනවා.

එහිදී බල්ලන්-සිවලුන්-වෘකයන්-පනුවන්-කපුටන්-ගිජුලිහිණියන්, ආදී තවත් අනෙකුත් සතුන්ද විසින් ඒ ඔහුගේ සිරුර කා දමනු ලබනවා.

බුදුන්ගේ අනුශාසනා වලට හොඳින් සවන්දී, ප්‍රඥාව ඇති කරගත් භික්ෂුව, ඒ යථා ස්වභාවය නුවණින් දැක අවබෝධ කර ගන්නවා.

යම්සේ මේ කය නවදොරකින් වැගිරෙන අසූචියෙන් පිරුණු ආකාරයේ එකක් බවත්, ඒ ආකාරයෙන් පවතින මේ කය, මරණින් පසු කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි නිසා තමන්ගේ ආදරණීයයන් විසින්ම සොහොනට විසිකර දමනු බවත් සිහිකරමින්,
ශරීරය යනු අවසානයේදී නොයෙකුත් සතුන්ට ආහාරයක් වන ස්වභාවයක් ඇති එකක් බව අවබෝධ කරගැනීමෙන් පසු, මේ තමන්ගේ ද අනුන්ගේද කය දෙස නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කර ගලපා බලා තව තවත් ඒ ගැන අවබෝධ කරගනිමින්, ප්‍රඥාවන්තයා විසින් ඒ කයට ඇති කාම රාගය දුරු කරනවා.

ප්‍රඥාව උපදවාගෙන, කාම රාගයේ නොඇලුණු භික්ෂුවට, නැවත උපතක් නැති අමුර්තවූ නිර්වාණ ශාන්තියට එළඹීමට හැකිවෙනවා.

අසූචියෙන් පිරුණු, දෙපා සහිත මේ කය තැනින් තැනින් වැගිරෙන නොයෙක් අප්‍රිය සහිත කොටස් නිසා, හාත්පසම දුර්ඝන්ධයෙන් පැතිරී යනවා යයි මෙනෙහි කරමින්,

එබඳුවූ මේ කය “මම” යයි උඬගු කමින් හඟිමින්, අනුන් පහත් කොට අවමන් කිරීම, අඥාන කම හැර වෙන කුමක්දැයි ප්‍රඥාවන්තයා විසින් අවබෝධ කරගන්නවා.