Categories
අංගුත්තර නිකාය

මොනෙය්‍ය සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-තික නිපාත පාළි-අපායික වග්ගය-
ශ්‍රාවකයෙකු විසින් තම වචනය, කය සහ මනස හික්මවිය යුත්තේ කෙසේදැයි පෙන්වා දෙමින් බුදුන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍රය බව මතක තබා ගන්න.

“මහණෙනි, උතුම් හික්මීමක් ඇතිකර ගැනීම සඳහා තුන් ආකාරයක හික්මීමක් සිදු කර ගත යුතුව ඇත.
කවරක්ද ඒ තුන?

  1. කයෙන් හික්මීම
  2. වචනයෙන් හික්මීම
  3. සිතෙන් හික්මීම

මොකද්ද මහණෙනි, කයෙන් හික්මීම කියා කියන්නේ?
භික්ෂුවක් පණ ඇති සත්වයන්ට හිංසා කිරීමෙන් සහ, ඒ පණ නැසීමෙන් වැළකිය යුතුයි.
නුදුන් අන් සතු දෙයක් ගැනීමෙන් වැළකිය යුතුයි.
කාම සේවනයෙන් වැළකිය යුතුයි.
මේ තමයි කයෙන් හික්මීම කියන්නේ.

මොකද්ද මහණෙනි, වචනයෙන් හික්මීම කියා කියන්නේ?
භික්ෂුවක් බොරු කීමෙන් වැළකිය යුතුයි.
කේලම් කීමෙන් වැළකිය යුතුයි.
පරුෂ වචන කීමෙන් වැළකිය යුතුයි.
හිස් වචන කතාකිරීමෙන් වැළකිය යුතුයි.
මේ තමයි වචනයෙන් හික්මීම කියන්නේ.

මොකද්ද මහණෙනි, සිතෙන් හික්මීම කියා කියන්නේ?
භික්ෂුව තමා විසින් නුවණින් දැක ගෙන ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගත් ධර්මයට අනුව, රාග-ද්වේශ-මෝහාදී කෙලෙස් මුළුමනින්ම දුරු කර, මෙතෙක් කාලයක් ‘මම’ යයි ‘මගේ’ යයි යනුවෙන් ගොඩනගා ගත් සංස්කාරයන්ගෙන් මිදෙමින්, අවසානයට ප්‍රහීණ වෙන උද්ධම්භාගිය සංයෝජනයන්ගෙන්ද මිදී, කල යුතු සියල්ල අවසන් කර, සිතෙන්ද ප්‍රඥාවෙන් ද මුළුමනින් මිදී නිදහස් වීමයි.
මේ තමයි සිතෙන් හික්මීම කියන්නේ”.

“සිත කය වචනය හික්මවා ගැනීමෙන් ආශ්‍රවයන් දුරුකරගත්, ඒ ප්‍රඥාවන්තයා
‘සියලු කෙලෙස් දුරු කල රහතන් වහන්සේ’ යයි කියනු ලැබේ.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading