ප්‍රවර්ග
Uncategorized

පිං පැමිණවීම

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

එත්තාවතා ච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්ථා අනුමෝදන්තු සබ්බසං පත්තිසිද්ධියා

දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා භයප්පත්තා ච නිබ්භයා
සොකප්පත්තා ච නිස්සොකා හොන්තු සබ්බෙපි පාණිනො.

ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො
ඉදං මේ ඤාති ඉදං හොතු සුඛිතා හොන්තු ඤාතයො

මේ සියලු සක්වලයන්හි වැඩ වාසය කරන බුදු, පසේ බුදු,
මහරහත්, අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නය ඇතුලු ආර්යයන් වහන්සේලා සියලු දෙනාමත්,
දිව්‍ය බ්‍රහ්ම තලවල වැඩ වාසය කරන
සියලුම දෙවියන් සහ බ්‍රහ්මයනුත්,
මේ තාක් සංසාරයේ අපහට දෙමවුපියන්, සහෝදර සහෝදරියන් ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දු දරුවන්, මුනුබුරු මිනිබිරියන්, ඤාති මිත්‍රාදීන්, සතුරන්, විරුද්ධ වාදීන්, වූ සියලු දෙනාමත්,
අහසේ ජලයේ ගොඩබිම වාසය කරන අපා, දෙපා, සිව්පා, බහුපා යන සියලු සත්වයනුත්,
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ, ගන්ධබ්බ, නාග, යන අවස්ථාවල සිටින සියලු දෙනාමත්,
නිරයේ සිටින සියලු දෙනාමත්,
ඇතුළු සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා!
නිදුක් වෙත්වා! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
දුකෙන් මිදෙත්වා!

ප්‍රවර්ග
Articles

Is Buddha a Buddhist?

බුදුන් වහන්සේ බෞද්ධයෙක්ද?

කොහෙත්ම නැහැ.

ජීවිතය සතුටින් ගෙවන ආකාරය පෙන්වා දී ඇති බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව
පිළිපැදීමට බෞද්ධයෙකු වීමට අවශ්‍ය වන්නේ නැත.

එසේනම් බෞද්ධයන් යනු කවුද?
බුදුන් දවස බෞද්ධයන් යනුවෙන් හඳුන්වා ගෙන තිබිය හැක්කේ, උපතින් වෙනත් විශ්වාසයන් අදහමින් සිටි, එහෙත් බුදුන් වහන්සේගේ ධර්මය අසා අවබෝධ කරගත් තැන් පටන් උන්වහන්සේගේ ධර්මයට අනුව හැසිරුණු මනුෂ්‍යයන් පිරිසක් විය හැකිය.

වර්ථමාන බෞද්ධයන් යනු බුදුන් දවස අවබෝධයෙන් බුදුන් සරණ ගිය උපාසක උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන, ඒ නිසා මවුපිය උරුමයෙන් ලැබෙන ආගමක් අදහන බෞද්ධ යයි හඳුන්වාගන්නා පිරිසක් වන නමුත් ඉන් ගිහි සහ පැවිදි බොහෝ දෙනෙක්ම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගත යුතු පිරිසක් බව ඔවුන්ගේ හැසිරීම් වලට අනුව දකින්නට ලැබෙන කාරණයක් වනවා.

බුද්ධාගම යනු පරම්පරාවෙන් උරුම කරගත හැකි ආගමක් වුවත්, බුදු දහම යනු සිහි නුවණින් යුතුව අසා දැන ගෙන නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කරගත යුතු බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි.
බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ බුදු දහම ගැන අවබෝධයෙන් ධර්මයට අනුව තම ජීවිතය පවත්වා ගැනීමෙන් පමණක් වන අතර වර්ථමාන යුගයේ බෞද්ධයෙක් වන්නේ දෙමව්පිය උරුමයෙන් ලැබෙන ආගමක් ඇදහීම නිසා බව දැනගත යුතු වනවා.

එසේ නම් බෞද්ධයා බුදුන් සරණ ගිය ශ්‍රාවකයෙකු වන්නේ කෙසේද?
බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ දේශනා කරන ලද ධර්මය හොඳින් ශ්‍රවණය කරමින් නුවණින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කරන තැනැත්තාට පමණක් තමාගේ අනුගාමිකයෙකු විය හැකි බවයි.
තමන් දේශනා කළ ධර්මයට අනුව ක්‍රියා කරන ගිහි හෝ පැවිදි ශ්‍රාවකයකු වශයෙන් යම් පුද්ගලයකුට තිබිය යුතු ලක්ෂණ සහ හැසිරීම් මොනවාද යන්න පහත සූත්‍රවල ද පෙන්වා දී තිබෙනවා.
‘අති පූජණීය පිරිත් පොත් වහන්සේ’ තුල සඳහන් වන මා විසින් සිංහලට පරිවර්ථනය කර ඇති මුනි සූත්‍රය, නාලක සූත්‍රය, වාසෙට්ඨ සූත්‍රය, ගුහට්ඨක සූත්‍රය, ශාක්‍ය කෝලිය දිය දබරය, ආලවක සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, කසී භාරද්වාජ සූත්‍රය, පුරාභේද සූත්‍රය, සල්ල සූත්‍රය කියවන්න.
බුද්ධ දේශනාව ගැන නොදන්නා ඕනෑම ආගමක, ජාතියක, කුලයක කෙනෙකුට වුවද මෙම සූත්‍ර කියවා බුද්ධ ශ්‍රාවකයෙකු තම ජීවිතය ගත කළ යුතු ආකාරය තේරුම් ගත හැකි වනවා.

බුද්ධ ශ්‍රාවකයෙක් විසින් නුවණින් අසා දැනගත් ධර්මයට අනුව තම ජීවිතය හැඩගස්වා ගත යුතුයි.
ඔහු නොපෙනෙන ජීවියෙකුට හෝ හිංසා කරන්නේ නැහැ.
ඔහු ජීවිතය පවත්වා ගත යුත්තේ මනා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමිනි.
ඔහු ස්වභාව ධර්මයට ගරු කළ යුතු වන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම ස්වභාව ධර්මයේ යථාර්ථය පිළිබඳ වන බැවිනි.

බුද්ධ දේශනාවට අනුව ඔබ පුරුදු පුහුණු වීමට පටන් ගත් මොහොතේ සිටම එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වෙනවා.

ඔබ ඔබේ ඉන්ද්‍රියයන් නිරීක්ෂණය කරමින් ඔබේ සිතුවිලි දෙස නුවණින් බැලිය යුතු වනවා.
ඔබේ සිතුවිලි නුවණින් මෙනෙහි කරන්නේ නම් ‘තමන් කවුද’ යන්න නිවැරදිව හඳුනා ගැනීමට ඔබට හැකිවෙනවා.
ඔබ නුවණින් මෙනෙහි කළහොත්, ‘මගේ’ යැයි අල්ලා ගත් සියල්ල නිසා ඔබට දුක් විඳීමට සිදු වූ බව වටහා ගැනීමට හැකිවෙනවා.

උපාදානයක් ඇති කර ගත් සෑම මොහොතකම ඔබ තුළ ලෝභ – ද්වේෂ සහගත සිතිවිලි පහළ වූයේ ඔබ එම පුද්ගලයා හෝ වස්තුව සදාකාලිකවම හිමිකර ගැනීමට උත්සාහ කළ නිසා බව ඔබට වටහා ගැනීමට හැකිවෙනවා.
ඒ පුද්ගලයා හෝ වස්තුව හෝ ඔවුන් කෙරෙහි ඇති ඔබගේ ආශාව සදාකාලික නොවන බව නුවණින් වටහා ගැනීමට හැකිවුව හොත් ඒ පුද්ගලයන් කෙරෙහි හෝ වස්තූන් කෙරෙහි ඇති බැඳීම් අතහැරෙමින් තමන් තුල සන්සුන් සිතුවිලි ඇති වීමට පටන්ගන්නවා.
ඒ අනුව තමන් තුල හානිකර රාග – ද්වේෂ සිතිවිලි ඇතිවීමට හේතුව හඳුනාගෙන ඒවා නැති කිරීමට පියවර ගත යුතු වෙනවා.
සන්සුන් සිතුවිලි තමන් තුල ඇති වන විට ඒවා තව තවත් වඩවා ගැනීමට කටයුතු කල යුතු වෙනවා.

ප්‍රවර්ග
Articles

අනුස්සතිය

මගේ යයි කියාගත් මේ ශරීරයද, මගේ යයි කියාගන්නා මේ හිතද, සෑම ක්ෂණයකම මගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස් වෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා සේම, ඒ ඒ ක්ෂණයේ මගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය සහ සිතට හමුවන දේවල් නිසා ඇතිවන මගේ කැමැත්ත-අකමැත්තද වෙනස් වෙන බව, එළඹ සිටි සිහියෙන් සිටින විට මට දැන් වැටහෙමින් තිබෙනවා.
මෙතෙක් කාලයක් අවිද්‍යාවෙන් දෘෂ්ඨිගතව සිටි මා, ස්ථිර යයි-සදාකාලික යයි, ලෝභයෙන් උපාදානය කරගත් ලැබීම්-ජයග්‍රහණ-ප්‍රශංසා-වර්ණනා-ලාභ-සැප යන සියල්ලද, ද්වේෂයෙන් උපාදානය කරගත් අලාභ-නින්දා-කායික දුක්-මානසික දුක්-පරාජ-අවලාද යන සියල්ලද, නිසා මා තුල ඇතිවූ සතුට හෝ දුක සදාකාලික වූයේ නැති බවත්, ඒ ඇතිවූ සෑම සිතක්ම අවසානයේ මා තුල උපද්ද වූයේ නොසංසිඳීම-කළකිරීම-අසහනය-භිය-මානසික පීඩාව පමණක් බවත්, මට දැන් වැටහෙමින් තිබෙනවා.

යම් ලාභයක්-ජයක් ලැබුණු විටදී එය ආරක්ෂා කර ගැනීමට හෝ ඒ ලැබූ ලාභයෙන් තවත් ලාභ සෙවීමට හෝ මාව පෙලඹවූ, මා තුල ඇති තණ්හා-දෘෂ්ඨි-මාන නිසා,
ඒ ලබාගත් ලාභය හෝ ජය නිසාත්, ඒකාන්තයෙන්ම මට සිදුවූයේ අසහනයෙන්, පීඩාවෙන්, බියෙන් කල් යවමින් දුකට පත්වීමට බව
මට දැන් හොඳින් වැටහෙමින් තිබෙනවා.
ඒ අනුව මම මෙතෙක් ගෙවා දැමූ, ජීවිත කාලය පුරාම
ඒකාන්තයෙන්ම විඳ ඇත්තේ දුකක්ම පමණක් බව මට දැන් වැටහෙමින් තිබෙනවා.
මම ඇත්තටම දුකට කැමති නැති නමුත්
මම විසින් උරුම කරගෙන ඇත්තේ දුකම පමණක්මය.
එසේ නම් ඒ දුක ගෙන දුන් මගේ යයි කියාගත්
ශරීරය හෝ සිත මගේ වන්නේ කෙසේදැයි මම දැන් මගෙන්ම විමසමින් සිටිමි.

ඉතා දුර්ලභ වන බුද්ධෝත්පාද කාලයක, ඉතා දුර්ලභ ක්ෂණ සම්පත්තියක් සහිත මිනිසත් බවක් ලබා සිටියදීත්, මේ ජීවිතය තුලදීද මම මෙතෙක් සිදු කර ඇත්තේ අනික් මනුෂ්‍ය-අමනුෂ්‍ය-තිරිසන් යන සෑම සත්වයෙක්මත් විසින් සිදුකරන
ආහාර ගැනීම-නිදා ගැනීම-භියෙන් පසුවීම-කය සන්තර්පණය කිරීම, වැනි දේ පමණක් බව මට දැන් වැටහෙමින් තිබෙනවා.

“උක්ඛිත්තා පුඤ්ඤතෙජෙන කාමරූපගතිං ගතා
භවග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡන්ති දුග්ගතිං”

“කරන ලද පින් කම් හේතුකොට ගෙන දිව්‍ය ලෝක-බ්‍රහ්ම ලෝක වල උපත ලැබුවත්,
ඒ පින් අවසන් වූ කල්හි නටුවෙන් ගිලිහුණු ගෙඩියක් සේ
නැවතත් දුගතියටම පමුණුවනවා” යන බුදු වදන සිහියට නගමින්,
මම දැන් වීර්යය කරන්නේ බුදුහාමුදුරුවන් පෙන්වා දුන් ආකාරයට
මේ කය හෝ සිත හෝ මගේ නොවන බව අවබෝධ කරගෙන,
ඒ කය සහ සිතම උපයෝගී කරගෙන කුසල් වඩවා ගනිමින්,
මෙලොවදී මෙන්ම පරලොවදීද ශෝක නොකර ඒකාන්තයෙන්ම සතුටින් සිටීමට හැකිවන, මනුෂ්‍යයෙක් වශයෙන් පත්විය හැකි උසස්ම සහ උතුම්ම තත්වය වන
‘නිවණ’ ට පත්වීමටයි.

මෙය ගෙවෙන සෑම මොහොතකම කළයුතු, කළ හැකි භාවනාවයි.

යම් කෙනෙක් තමන්ගේ කයේ,
තමන්ට ඇතිවන වේදනාවල,
තමන්ගේ සිතේ,
තමන් තුල පවතින ස්වභාවයන්ගේ,
යථා ස්වභාවය නුවණින් හඳුනාගෙන
තමන්ගේ කය සහ සිත යනු
‘මම නොවේ-මගේ නොවේ- මගේ ආත්මය නොවේ’
යන්න තමන් විසින්ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගැනීම සඳහා බුදුහාමුදුරුවන් පෙන්වා දුන් ආකාරයට
වීර්යය කරන්නේ නම්,
ඒ ඔහුට ‘බුදුන් සරණ ගිය උපාසකයෙක්ද,
ඒ ඇයට බුදුන් සරණ ගිය උපාසිකාවක්ද’
යයි කියනු ලැබේ.

“මෙසේ කෙලෙස් තවන වීර්යයෙන් කටයුතු කර,
රාග-ද්වේෂ-මෝහ නමැති කෙලෙස් මාර සේනාව හා සටන් වැද, තෘෂ්ණාව මුළුමනින්ම දුරුකිරීම නමැති ජයග්‍රහණය
අත් කර ගැනීම නිසා, අතීතයේ ඇතිවූ සියලු භය වලින් මුළුමනින්ම මිදී සතුටින් වාසය කරන ඒ ප්‍රඥාවන්තයා,
තම ශාස්තෘන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෙකි”.

මහා සමය සූත්‍රය
ප්‍රවර්ග
Articles

දෙමව්පියන්ට කෘතගුණ සැලකීම

“ද්වින්නාහං භික්ඛවෙ! න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච”

“මහණෙනි, ඔබලාට මේ ලෝකයේදී ගෙවීමට ඇති ණයෙන් එක්තරා දෙදෙනෙකුට පමණක් ගෙවීමට ඇති ණය කිසිදා ගෙවා දමා නිදහස් වීමට පහසු නොවන්නේය.

ඒ දෙදෙනා වන්නේ, මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රතිසන්ධියක් ලබා ගැනීමට කුසල් රැස්කර ගත් ඔබට මෙලොව එළිය දැකීමට පිහිට වූ ඔබේ දෙමව්පියන්ය.
තවදුරටත් උන්වහන්සේ මෙසේ පහදා දුන් සේක”.

“යම් කිසි කෙනෙක් තම දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙමි’යි අරමුණු ඇතිව, මව දකුණු උරය උඩත්, පියා වම් උරය උඩත්, තබා ගෙන එම දෙදෙනාව නාවමින්- කවමින්-පොවමින් ඔවුන්ගේ සියලු කැත කුණු අස් කරමින් පිරිසිදු කරමින්, අවුරුදු සියයක් පුරා උපස්ථාන කළේ වී නමුදු, ඔහුට ඒ ණයෙන් නිදහස් විය නොහැක්කේය.

එලෙසම කෙනෙක් මුළු සතර මහාද්වීපයම (කරුණාකර සලකන්න – මෙයින් අදහස් කරනු ලැබ ඇත්තේ බුදුන් දවස මේ ලෝකයේ තිබී ඇත්තේ මහාද්වීප හතරක් පමණක් විය හැකි බවයි.) සත්රුවනින් පුරවා, එම රාජ්‍යයේ සක්විති රජකම තනතුරට තම දෙමව්පියන් පත්කර ඔවුන්ට පූජා සත්කාර කරන්නේද, එයද ඒ මව්පිය දෙදෙනාට කරන නිසි උපකාරයක් නොවන්නේය”, යනුවෙන්.

එසේ නම් කෙසේද එම ණයෙන් නිදහස් විය හැකි වන්නේ?
පලමුව තමන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම නුවණින් අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි. එලෙස ලබා ගන්න අවබෝධයට අනුව ඒ කෙනාට හැකිවෙනවා, තමන් මෙන්ම ලෝකයේ සිටින බොහෝ මිනිසුන්ද, තම දෙමව්පියන්ද, කෙලෙස් නිසා සසරේ අතරමංව අසරණවී සිටින බව වටහා ගැනීමට. එලෙස වටහා ගැනීමට දක්ෂ වන කෙනා උත්සාහ කරනවා ඒ අවිද්‍යාවෙන් මිදෙන්න. එවැනි වූ කෙනෙක් ඔහු වටා සිටින සතුරන්ට පවා බුදුන්ගේ ධර්මයේ වටිනා කම වටහා දීමට උත්සාහ කරනවා. ඒ ඔහු අවිද්‍යාවෙන් ගැලවීමට වීර්යය කරන අතරතුර දෙමව්පියන්ටද ඒ මාර්ගය දැකගැනීමට මග සලස්වනවා.

එහෙනම් කෙලෙසද ක්‍රියා කළ යුත්තේ?
තමන්ගේ දෙමව්පියන් ගැන අනුකම්පාවෙන් හැකි ආකාරයට කරුණු පහදා දෙන අතරම තමන්ට හැකියාවක් ඇත්නම්, දෙමව්පියන් ජීවත් වන වටපිටාවද සුදුසු පරිදි සකසා දීමෙන්, ඔවුන්ට උපකාරයක් සලස්වනවා සේම තමන්ටද බොහෝ කුසලයක් අත් කරගත හැකි වන්නේය. (කරුණාකර අවබොධ කරගැනීමට උත්සාහ කරන්න, කුසල් සහ පින් අතර වෙනස. ඒ වගේම තේරුම් කරගන්න කුසල-සංස්කාර කියා දෙයක් බුදුන් වහන්සේගේ ධර්මයේ නොමැති බව)

  • වස්තු තණ්හාව නිසා ඇතිවන විඩාව, මානසික අසහන කාරී බව ගැන තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • නොසංසිඳෙමින් දේපල වස්තුව එක් රැස් කරත්, ඒ කිසිවක් නිසා සදාකාලික සතුටක් ලබා ගත නොහැකි බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • කොපමණ දේපල ඤාතීන් පිරිවරා ගෙන සිටියත්, ඒ කිසිවකට තමන්ව ලෙඩ වීමෙන්-වයසට යාමෙන්-මරණයෙන්-ගලවා ගැනීමට හෝ ඒ කිසිවක් බෙදා හදා ගැනීමට හෝ නොහැකි බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව පහදා දීම
  • මරණය යනු ඉපදුන හෝ හටගත් සියලු සත්වයාට පොදු ධර්මතාවයක් බව තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින් දෙමව්පියන්ටද ඒ බව වටහා දී, ඒ සඳහා වර්ථමාන මොහොතේ සිටම අත්හැරීම පුරුදු පුහුණු වෙමින් සුදානම් විය යුතු ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දීම
  • මහලු බවට පත්වී සිටින මව්පියන් සිටින කෙනෙක් නම්, තමන්ට ආර්ථික වශයෙන් හැකියාවක් තිබේනම්, ඒ දෙමව්පියන්ට ජීවත් වීමට සුදුසු විවේකය ඇති පරිසරයක් සකස් කර දී, සතර බ්‍රහ්ම විහරණයන් පුහුණු කිරීමට අවශ්‍ය වටපිටාවක් ඇති පරිසරයක් සකස් කර දීම
  • බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයටම දාන-ශීල-භාවනා ගැන තමන් විසින් නිවැරදිව අවබෝධ කරගනිමින්, දෙමව්පියන්ද ඒ සඳහා යොමු කිරීම.

මේ තමයි බුදුන් වහන්සේ මව්පියන්ට සලකන නිවැරදි ක්‍රමය පෙන්වා දුන් ආකාරය. බෞද්ධ කෙනෙක් හිතනවා නම් මවුපියන්ගේ සිත සතුටු වන ආකාරයට ලෞකික සැප සම්පත් ලබා දීම සහ ඔවුන්ගේ නොනවතින ආශාවන් ඉටු කර දීම තමයි දෙමව්පියන්ට සැලකීම වන්නේ යයි කියා, එසේනම් ඒ සිතන පුද්ගලයෙකුගේත්, අනිකුත් ආගමිකයෙකුගේත් විශ්වාසයන් ඇදහීම් අතර කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. හේතුව නම්, තම දෙමව්පියන්ව ආදරයෙන් රැක බලාගෙන සලකන්නේ බෞද්ධයෝ විතරක් නොවෙන නිසා. මේ ලෝකේ පටන් ගත්ත දවසේ සිටම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු හැම තැනකම, හැම රටකම, හැම ජාතියකම, හැම ආගමකම, හැම කුලයකම, හැම ගෝත්‍රයකම ඉන්නෙ ඒ ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කළත්, නොකළත් ඔවුන් උපදින විට රැගෙන එන ආවේනික ගතිගුණ නිසයි. කෙනෙක්, තමන්ගේ ආගම මෙයයි, යනුවෙන් තමන් විසින් හංවඩු ගසා ගත යුත්තේ, ඒ ආගමික ශාස්තෘන් වහන්සේ පෙන්නා දුන් ධර්මයට අනුව ඒ පෙන්වා දුන් ආකාරයටම අවබෝධයකින් යුතුව ක්‍රියාවෙන් පිලිපදිනවා නම් පමණයි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ දාන-ශීල-භාවනා

බුදු දහමට අනුව දානය යනු අතහැරීමයි. සිතින් අතහැරීමයි. ඒ අනුව බුදුන් වහන්සේ දේශනා කළේ, මේ ලොව ඇති උතුම්ම දානය වන්නේ, තමන්ගේ සිතේ හටගන්නා සංස්කාර (අවිද්‍යාව නිසා තණ්හාවෙන් ඇතිකර ගන්නා අදහස්) මෙන්ම, තමන්ගේ කැමත්තද, තමන්ගේ කැමැත්තට අනුව නොපවතිමින් වෙනස්වන ස්වභාවය හෙවත් අනිච්ච බව අවබෝධ කරගැනීම සඳහා එක මොහොතකට හෝ සිහියෙන් සිටීමයි. එසේ සිහියෙන් සිටිමින් තමන් තුල ඇතිවන ඇලීම්-ගැටීම් වල ඇති හිස් බව වටහා ගැනීමට උත්සාහ කිරීමෙන් තමයි, අතහැරීම පුරුදු කරගැනීමට හැකිවන්නේ.

මෙම අතහැරීම (දානය) පුරුදු නොකරන තාක් කල්, නිවැරදි ශීලය පුරුදු කල හැකි වන්නේ ද නැත.

බුදුන්ගේ ඉගැන්වීමට අනුව ශීලය යනු හුදෙක් බාහිර ඇඳුමට සීමා වන දෙයක් නොවන බවත්, නිර්මාංශ වීම වුවද සිදුවිය යුත්තේ සියලු ලෝක සත්වයාටම මෛත්‍රිය කරුණාව මුදිතාව පතුරන අරමුණින් මිස මාංශ අනුභවයෙන් පවක් සිදුවේයැයි සිතා නොවන බවත්, අවබෝධ කරගත යුතු වනවා. පිළී ගඳ යනු මස් මාංශ වල ගඳ නොව, තමන් තුල ඇති රාග-ද්වේෂ-මොහ යන කෙලෙස් බව, කාශ්‍යප බුදුන් වහන්සේ විසින් සිදුකරන ලද දේශනාවක් අනුසාරයෙන් ගෞතම බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ශීලය ලෙස පෙන්වා දී තිබෙන්නේ, නිවැරදි අවබෝධය තුලින් තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කරගනිමින් තමන් තුල පවතින තෘෂ්ණාව දුරු කර ගැනීමක් මිස, කය පමණක් අරමුණු කරගනිමින් බාහිරින් පමණක් ඇතිකරගන්නා තවත් හුදු වෘතයන් නොවෙන බවද තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

රූප තණ්හාව-රස තණ්හාව-ශබ්ද තණ්හාව- ගන්ධ තණ්හාව-ස්පර්ශ තණ්හාව-කිසිදු පාලනයකින් තොරව තමා තුල පවත්වා ගනිමින්, නිර්මාංශ වීමෙන් පමණක් කෙනෙකු ශීලයක් ආරක්ෂාකරනවා යයි සිතනවා නම් එය තමන් විසින් තමන්වම රවටා ගැනීමක් බව අවබෝධ කරගත යුතු වෙනවා.

හේතුව නම් එවැනි අය මස් මාලු ආහාරයට ගැනීමෙන් වැළකුණත්, ‘මමය-මගේය- මටය’ යනුවෙන් ඇතිකරගන්නා තණ්හාව නිසා, තමන් තුල හටගන්නා වෛරී සහගත සිතිවිලි හේතුවෙන්, තමන්ගේ ජාතිය-ආගම-කුලය-රට-පවුල-ඤාති-මිත්‍රයන් ආරක්ෂා කිරීම හෝ ඒ ඔවුන්ගේ සුභ සිද්ධිය හෝ උදෙසා ඕනෑම මොහොතක අන් සත්වයෙකුට හෝ මනුෂ්‍යයයෙකුට හෝ අමනුෂ්‍යයෙකුට හෝ වෙනයම් ජීවියෙකුට හෝ හිංසා-පීඩා සිදු කිරීමට ඕනෑම මොහොතක පෙළඹිය හැකි හෝ වෙනත් කෙනෙකු විසින් පොළඹවාගත හැකි වන නිසයි.

බුදු දහමට අනුව භාවනාව යනු තමා ගැන දැනගැනීමයි. තමාගේ සිතිවිලි ගැන සිහියෙන් සිටිමින් තමන්ගේ ඇස-කණ-නාසය-දිව-ශරීරය-මනස හික්මවා ගෙන සංවර කර ගෙන ස්ථිර ලෙසම තණ්හාවෙන් අත්මිදෙමින් සංසිඳීමට පත්වීමයි. ඒ සඳහා පලමුවෙන්ම අවශ්‍ය වන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නිවැරදිව අසා දැන අවබෝධ කරගෙන, ඒ ඒ ගතවන සෑම මොහොතකම සිහියෙන් සිටිමින් තමන්ගේ සිතට එන සිතිවිලි හඳුනා ගැනීමයි. තමන්ගේ සිත නගරයකට උපමා කරගන්න, යයි බුදුන් වහන්සේ දේශනා කළේ මේ නිසයි. නගරයට ඇතුළුවන දොරටුව ළඟ සිටින දොරටු පාලකයෙකු සේ, ඔබගේ සිහිය ඔබගේම සිතට එළඹවා ගෙන ඒ සිතට එන සිතිවිලි හඳුනා ගනිමින්, රාග-ද්වේශ සිතිවිලි එන්නේ නම් ඒවා වහා ඉවත් කිරීමට නුවණින් මෙනෙහි කරමින් කටයුතු කිරීමටත්, මෛත්‍රී කරුණා මුදිතා සිතිවිලි එන්නේ නම්, ඒවා තව තවත් වඩවා ගැනීම සඳහා කටයුතු කිරීමටත්, නුවණින් සිදු කරන ක්‍රියාව තමයි, බුදුන් වහන්සේ භාවනාව ලෙස හඳුන්වා දී තිබෙන්නේ.

දානයත්, ශීලයත් පුරුදු නොකරන තැනැත්තාට නිවැරදි භාවනාව පුරුදු කළ හැකි වන්නේ නැත. එයට හේතුව නම්, බුදුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, දානය සහ ශීලය පුරුදු කර ගැනීම සඳහා තමන් තුල ඇති ලෝකයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන නිවැරදි අවබෝධයක් ඇතිව සිතින් කයින් වචනයෙන් ක්‍රියා කිරීම සිදු කළ යුතු වන නිසාය.

ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

උණුදිය හා උක්පැණි පිදූ බ්‍රාහ්මණයා

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

පුබ්බෙනිවාසං යො’වෙදි සග්ගාපායං ච පස්සති
අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි
සබ්බවොසිතවොසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.


ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

ඇතුනට බිය නො වූ අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං
අනෙජං න්හාතකං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.


ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

විශාඛ – ධම්මදින්නා දෙදෙන

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්‍ථි කිඤ්චනං
අකිඤ්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.


ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා
ඛීණාසවං අරහන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.


ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

නට පුත්‍රයා

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

චුතිං යො’වෙදි සත්තානං උපපත්තිං ච සබ්බසො
අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.


ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

නළුවෙක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

හිත්‍වා රතිං ච අරතිං ච සීතිභූතං නිරූපධිං
සබ්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.