Categories
Uncategorized

මවට සහ පියාට වන්දනා කිරීම

බුදුන් වහන්සේගේ ඉගැන්වීම නුවණින් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන කෙනාට හැකිවෙනවා තමන් මෙන්ම ලෝකයේ සිටින බොහෝ මිනිසුන්ද, තම දෙමව්පියන්ද, කෙලෙස් නිසා සසරේ අතරමංව අසරණවී සිටින බව වටහා ගැනීමට. එලෙස වටහා ගැනීමට දක්ෂ වන කෙනා උත්සාහ කරනවා ඒ අවිද්‍යාවෙන් මිදෙන්න. එවැනි වූ කෙනෙක් ඔහු වටා සිටින සතුරන්ට පවා බුදුන්ගේ ධර්මයේ වටිනා කම වටහා දීමට උත්සාහ කරනවා. ඒ ඔහු අවිද්‍යාවෙන් ගැලවීමට වීර්යය කරන අතරතුර දෙමව්පියන්ටද ඒ මාර්ගය දැකගැනීමට මග සලස්වන්නේ ඔහුට මේ මනුෂ්‍ය භවය ලබා ගැනීමට තම දෙමව්පියන්ද පිහිට වූ බව නුවණින් අවබෝධ වන නිසයි. ඔහු දෙමව්පියන්ට සළකන්නේ දස මාසයක් කුසේ තබා ලේ කිරි කර අත පය නොකඩා හැදූ නිසා නොව, ඔහුට මේ මනුසත් බවය ලබාගැනීමට පිහිට වූ නිසයි. අතපය නැති හෝ වෙනත් විකලාබාධ, ලෙඩදුක් සහිත බිහිවන දරුවන්ගේ දෙමව්පියන් විසින් එවැනි දේ සිදුනොවන බව සහ ඒවා ඒ ඒ කෙනාගේ කර්ම විපාකවල ප්‍රතිඵල බවත්, ලේ කිරි වීම සහ දස මාසයක් හෝ යම් කාලයක් කුස තබාගන්නේ ලෝක ධර්මතාවය අනුව බවත්, කෑම බීම ඇදුම් පැළදුම්, දෙමව්පිය සෙනෙහස, හිමි හෝ අහිමි වන්නේ තමන්ගේ පින් පව් අනුව බවත් ඒ කෙනාට නුවණින් අවබෝධ වෙනවා. එවිට තමන්ට නොසළකන දෙමව්පියන්ට හෝ ගෞරවයෙන් ආදරයෙන් සළකනවා.
ඒ නිසා බුදුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයටම මෙම පහත ගාථා කියමින් සහ එහි අරුත ද දෙමව්පියන්ට පැහැදිලි කර දෙමින් උදේ හවස හෝ දවසට වරක් හෝ වැඳීමෙන්, එම දෙමව්පියන්ගේද තණ්හා – දෘෂ්ඨි – මාන දුරුවෙනවා. ඔවුන්ටද සුගතිගාමී වීමට මග සැළසෙනවා.

ද්වින්නාහං ජානාමි, යෙසං අහං සුප්පතිකාරං කාතුං න සක්කොමි.
කතමෙසං ද්වින්නං? මාතු ච පිතු ච.
එකෙන අංසෙන මාතරං පරිහරෙය්‍යං, එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍යං වස්සසතායුකො වස්සසතජීවී. සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙන, තෙ ච තත්ථෙව මුත්තකරීසං චජෙය්‍යුං. න ත්වෙවාහං මාතාපිතූනං කතං වා හොමි පටිකතං වා.
ඉමිස්සා ච මහාපථවියා පහූතරත්තරතනාය මාතාපිතරො ඉස්සරාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍යං, න ත්වෙවාහං මාතාපිතූනං කතං වා හොමි පටිකතං වා.
තං කිස්ස හෙතු? බහුකාරා මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.
තස්මා අහං මාතරං ච පිතරං ච සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය සමාදපෙතුං, නිවෙසෙතුං, පතිට්ඨාපෙතුං වායමිස්සාමි. එත්තාවතා මයා මාතාපිතූනං කතඤ්ච භවිස්සති, පටිකතඤ්ච.