Categories
Uncategorized

මවට සහ පියාට වන්දනා කිරීම

මවට සහ පියාට වන්දනා කිරීම සඳහා මෙම ගාථා වල සිංහල තේරුම කියවා තේරුම් ගෙන අවබෝධයෙන් සිදුකරන්න.
මා හට කිසිලෙසකවත් ප්‍රතිඋපකාර කර නිම කළ නොහැකි පුද්ගලයන් දෙදෙනෙකු මම හඳුනමි. ඒ කවුරුන්ද යත්? මෑණියන් සහ පියාණන් යන දෙදෙනාය.

අවුරුදු සියයක් ආයුෂ ඇති කෙනෙක් සිය වසක් ජීවත් වෙමින්, තමන්ගේ එක් උරහිසකින් මවද, අනෙක් උරහිසකින් පියාද, වඩාගෙන (ජීවිත කාලය පුරාම) උපස්ථාන කරමින්, ඒ මව්පියන් එම උරහිස් මතදීම මළමූත්‍ර පහ කළද, ඔවුන්ගේ ඇඟ සේදීම්, පිරිමැදීම්, නෑවීම් සහ තැවීම් කරමින් බලාගන්නේ වුවද, එපමණ තරම් සැලකීම් වලින්වත්, මව්පියන් තමන්ට කළ උපකාරයට නිසි පරිදි ප්‍රති උපකාර කළා වන්නේ නැත.

නොයෙක් රත්න වර්ගවලින් පිරී පවතින මේ මහා පොළොවෙහි ඇති සියලු සම්පත්වලට අධිපති රජකමෙහි මව්පියන්ව පිහිට වූවද, එපමණකින්ද, මව්පියන් තමන්ට කළ උපකාරයට නිසි පරිදි ප්‍රතිඋපකාර කළා වන්නේ නැත.

ඊට හේතුව කුමක්ද? මව්පියන් දරුවන්ට බොහෝ උපකාර කරන බැවිනි. ඔවුහු දරුවන්ට මනුෂ්‍යයන් ලෙස මේ ලෝකයට පැමිණීම පිණිස පිළිසිඳ ගැනීමට මෙන්ම, පෝෂණය වීමටත්, මෙලොව එළිය දැකීමටත් උපකාර වන්නේය.

එබැවින් මම මගේ මවද පියාද යහපත අයහපත වටහා ගැනීමේ ඥානයෙහි (තණ්හා- දෘෂ්ඨි- මාන නිසා ඇතිවන අකුසල් පිලිබඳ නුවණ) සමාදන් කරවීමට, එහි පිහිටුවීමට, සහ රඳවා තැබීමට උත්සාහ කරන්නෙමි. මෙපමණකින් මා විසින් මව්පියන්ට කළ යුතු උපකාරය සහ ප්‍රතිඋපකාරය සම්පූර්ණයෙන්ම කරන ලද්දේ වෙයි.